Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුන් වහන්සේ ලොව පහළ වූවත් නො වූවත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් ධර්මයට හෝ එසේ පැවතිය නොහැකි ය. අපට ප්‍රශ්නය ගැටලුව මතු වී ඇත්තේ නැසීම ප්‍රශ්නය පිළිබඳව නොව ආයු කාලය වසර 5000 ක් ද යන්න පිළිබඳව ය. ශාසනයේ ආයුෂ අවුරුදු 5000 ක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නො වදාළහ.එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිදු තැනක සඳහන් නොවේ.

සම්බුදු දහම පිළිබඳව කිසිදු අවබෝධයක්, එහි ගැඹුරක් නොදත් අයෙක් පවා, සද්ධර්මයේ ආයු කාලය කෙතෙක්දැයි කීමට හොඳින් දනිති. බොහෝවිට ධර්ම දේශනාවන්හිදී බහුතරයක් දේශකයන් වහන්සේලා ද පවසන්නේ බුද්ධ ශාසනය වසර පන්දහසක් කල් පවතින බව යි. ඉතින් අපිත් විනිශ්චයකින් තොරවම එය පිළිගනිමු.

කවරදාකවත් ඔබ සිතුවාද බුදුදහම වසර පන්දහසක් කල් පවතින බව කීවේ කවුද? කොතැනදී ද? කවදා ද? කියා. බහුතරයක් බෞද්ධයන් සිතන්නේ මෙය බුද්ධ දේශනාවේම සඳහන්ව ඇති බවයි.

තුන්කල් දැකිමේ නුවණ ඇති බුදුන් වහන්සේට හැර මේ දියත තුළ වෙනත් කිසි ජගතකුටවත් ධර්මය පිළිබඳ මෙවැනි ප්‍රබල අනාවැකියක් පැවැසීමටද නො හැකි ය. ඉතින් අපි කවුරුත් සිතන්නේ මේ සම්බුදු දහම වසර 5000 ක් කල් නොනැසී පවතින බව බුදුන් වහන්සේ වදාළ බවකි. එහෙත් එසේ වදාළා යැයි සොයන්නට හෝ විමසන්නට හෝ නොයන තරමට එය අපගේ ජීවිත හා මුල් බැසගෙන ඇත. නමුත් මේ ආයුකාලය පිළිබඳ ප්‍රශ්නය සැක හැර ප්‍රත්‍ය වශයෙන්ම දැන ගත යුතු නො වෙමු ද? එසේ කිරීම වෙනත් ආගම් වලට වඩා බෞද්ධ දර්ශනයට ඉතා අනුකූල ය. බුද්ධියට ගෝචර වූ බෞද්ධාගම, යමක් ගැන විමසීමේ දී එය විශ්වාස මත පදනම් නොවී සැක හැර නිරවුල්ව අවබෝධකර ගත යුතු බව පවසන අන්ධ භක්තියෙන් ගතානු ගතිකත්වයෙන් තොර වූ පිවිතුරු දහමකි.

ඉතින් අපි මේ ගැටලුව ලිහා නිරවුල් කර ගැනීමට අපේක්‍ෂා කරමු. සම්බුදු දහමේ ආයුකාලය පිළිබඳ ගැටලුව විමසීමට අපි රත්මලාන ධර්ම පර්යේෂනාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සී හිමියන් සමඟ සංවාදශීලී වෙමු.

අවසරයි අපේ හාමුදුරුවනේ, වසර පන්දහසක් සම්බුදු දහම පවතියි. මෙම වාක්‍ය අප සෑම කෙනකුම වාගේ අසා තිබෙනවා. කියවා තිබෙනවා. ඒ තරමට මේ වාක්‍ය කාණ්ඩය සෙල්ලිපියක අක්‍ෂර වගේ ඉතා ස්ථිරසාර වූ වදනක් ලෙස ජන විඤ්ඤානයේ බැඳී පවතිනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් කරුණු දැන ගැනීමට කැමැතියි.

විපස්සී හාමුදුරුවෝ - ඔව් මේ පිළිබඳව ධර්මයට අනුකූලව කරුණු පැහැදිලි කිරීමට මම උත්සාහ ගන්නම්. මෙය පුරාණයේ සිට පැවැත එන සුප්‍රකට ප්‍රවාදයක්. මෙසේ ආයු කාලය ගණනය කිරීම සිදුවන්නේ කාගේ හෝ හිතට ආපු පලියටම නොවේ. යම් හේතු කාරණා උඩ එය නිර්මාණය වී තිබේ. මේ පිළිබඳව අපි විමසා බලමු.

එසේම වසර පන්දහසේ ආයු කාලය ගෙන බැලුව හොත් සම්බුද්ධ ශාසනයේ ආයු කාලයෙන් අඩක් පමණ මේ වන විට ගෙවී අවසාන යි. මේ අප ගත කරන්නේ බුද්ධ වර්ෂ 2555 වසර යි. එය වසර පන්දහසකින් අඩු කළ විට ධර්මය පවතින්නේ තවත් වසර 2447 ක් පමණි. එනම් ක්‍රි.ව. 4455 වෙසක් මාසයේ දී සම්බුදු දහම අන්තර්ධානය විය යුතු යි. මෙසේ අපට කාල වකවානු නිශ්චය කර ගත හැකි ද?

සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත. එසේ නම් සසුනට ද එම අනිත්‍ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූවත් නො වූවත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් ධර්මයට හෝ එසේ පැවතිය නොහැකි ය. අපට ප්‍රශ්නය ගැටලුව මතු වී ඇත්තේ නැසීම ප්‍රශ්නය පිළිබඳව නොව ආයු කාලය වසර 5000 ක් ද යන්න පිළිබඳව ය. ශාසනයේ ආයුෂ අවුරුදු 5000 ක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නො වදාළහ.එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිදු තැනක සඳහන් නොවේ.

එසේ නම් අපේ හාමුදුරුවනේ මෙම ප්‍රවාදය මෙතෙක් දුරක් පැවැත ආවේ කෙසේ ද? එම ප්‍රබල මතය ගොඩනැඟුණේ ඇයි?

විපස්සී හාමුදුරුවෝ - බුදුන් වහන්සේ වදාළේ නැතිවද ථෙරවාද මහායාන ග්‍රන්ථයන්හි නොයෙක් වර ශාසන ආයුෂ පිළිබඳව සාකච්ඡා කොට ඇති බව පෙනෙ යි. එසේ වුවත් තීරණාත්මක නිශ්චිත විවරණයක් මෙම සාකච්ඡාවන්හි අන්තර්ගත නොවේ. මෙම මතය ගොඩනැඟීමට හේතු වූ පසුබිම නම් ත්‍රිපිටකාගත සූත්‍රයන්හි සඳහන් වෙයි. චුල්ල වග්ග පාලියේ, භික්‍ෂූණීක්ඛන්ධනය, අංගුත්තර නිකාය, අට්ඨක නිකාය, ගෝතමී සුත්‍රයේ දී බුදුන් වහන්සේ මෙසේ වදාරති. ආනන්දයනි, මාගම (කාන්තාව) ගිහිගෙයින් නික්ම තථාගත ශාසනයේ පැවිදි නොවූ යේ නම් මෙම සසුන් බඹසර දීර්ඝ කාලයක් පවතින්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේ ය. ආනන්දයනි, යම් හෙයකින් මාගම ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වූයේ ද එහෙයින් දැන් මෙම සසුන් බඹසර දීර්ඝ කාලයක් නො පවතින්නේ ය. දැන් කාන්තාව පැවිදි වූ දා පටන් පන්සියයක් වසරක් ශාසන සද්ධර්මය පවතින්නේ ය. මෙම දේශනාව ධර්මයේ ආයුෂ ප්‍රමාණය නිශ්චය කිරීමට කළ දේශනාවක් නොවේ. ආයු කාලය පිරහීම පෙන්වීමට ගත් නිදර්ශනයකි. එයින් ශාසනයේ ආයුෂ ප්‍රමාණාත්මකව අඩුවීම පැහැදිලි වෙයි.

ඉහත පාඨය අර්ථකථනය කරන අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පවසන්නේ මුල් වසර දහස තුළ දී සිව් පිළිසිඹියා (අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන) ලාභී රහතන් වහන්සේ ඇති වන බවත් ඊට අනතුරුව වසර දහස තුළ දී සුක්ඛවිපස්සක රහතන් වහන්සේලා ද ඊට අනතුරුව වසර දහස තුළ දී අනාගාමී මාර්ග ඵල ලාභීන් ද ඒ තත්ත්වයද අතුරුදහන් වී ඊට අනතුරුව වසර දහස තුළදි සකෘදාගාමී මාර්ග ඵල ලාභීන් ද ඒ තත්ත්වයද පිරිහී ඊට අනතුරු වසර දහස තුළ දී සෝතාපන්න මාර්ගඵල ලාභීන් ද සිටින බවයි. මේ ආකාරයෙන් ප්‍රතිවේද සද්ධර්මය පන්දහසක් කල් පවතින්නේ ය. පර්යප්ති සාසනය ද ඒ තාක්ම පවතින්නේ ය. පර්යප්ති නැති කල්හි ප්‍රතිවේද ද නැති වෙයි.

එසේ වුවත් පර්යප්ති ශාසනය අතුරු දහන් වීමෙන් පසුව ශාසන ලිංග අන්තර්ධානය බොහෝ කාලයක් පවතින්නේ ය. බුද්ධ ඝෝෂ හිමියන්ගේ මෙම විවරණය හේතු කොට ගෙන ශාසනයේ ආයු කාලය වසර පන්දහසක් කල් පවතීය යන ප්‍රවාදය ගොඩනැඟීමට ඉවහල් වන්නට ඇතැයි සිතිය හැකි ය. හුදෙක් මේ මතය බුද්ධඝෝෂ හිමියන්ගේ තනි මතයම නොවේ. ක්‍රි.ව. පළවන සියවසට අයත් මිලින්ද ප්‍රශ්නයේ සද්ධර්මය අන්තර්ධාන ප්‍රශ්නය සාකච්ඡා කර ඇත. එහි ඇත්තේ වසර දහසක් තුළ දී අධිගම අන්තර්ධානය ප්‍රතිපත්ති අන්තර්ධානය හා ලිංග අන්තර්ධානය පිළිබඳව ය. මෙම ත්‍රිවිධ අන්තර්ධානය පස්වැදෑරුම් ආකාරයට වර්ධනය කොට දීර්ඝ විස්තරයක් “මනෝරථ පූර්ණී” නම් අංගුත්තරනිකායට්ඨ කතාවේ, ඒකක නිපාත වර්ණනාවේ දශම වර්ගයේ ඇතුළත් වෙයි.

කරුණාපුණ්ඩරීක, මහා සන්නිපාත, මහාමායා වැනි මහා යාන සූත්‍රයන්හි වර්ෂ එක්දහස් පන්සියයකින් පසු ශාසනය අතුරුදහන් වන බව සඳහන් වෙයි. චන්ද්‍ර ගර්භ සූත්‍රයේ වර්ෂ දෙදහසකින් ද මහා සන්නිපාත සූත්‍රයේ වර්ෂ දෙදහස් පන්සියකින් ද ශාසනය විනාශ වන බව අන්තර්ගත වෙයි. සමන්තපාසාදිකාව, සුමංගල විලාසිනී, අත්ථ සාලිනී මනෝරථ පූර්ණි ආදී අටුවාවල මෙන්ම මහාවංශය වැනි පාලි වංශකතාවලත් රසවාහිනී, රථවහස්සුවත්ථුප්පකරණ සද්ධර්මාලංකාර ආදී කෘතිවලත් ශාසනයුෂ වසර පන්දහසක් කල් පවතී යන මතය ඉදිරිපත් කොට ඇත. පාලි සමන්තපාසාදිකාවේ මෙය වසර පන්දහස වුවත් චීන සමන්තපාසාදිකාවේ එම වර්ෂ ගණන දහස දක්වා දීර්ඝ වෙයි. මෙසේ ඉතිහාස වංස කතාවන් එකිනෙක පවසන ආයු කාලය විවිධ වෙයි.

අපේ හාමුදුරුවනේ බුද්ධඝෝෂ හිමියන් මෙන්ම වෙනත් පැරැණි වංශ කතාවල විභාග කරන කොටස් උපුටා දක්වමින්, ඔබ වහන්සේ කරුණු ගෙනහැර දක්වනවා. එසේ බුදුන් වහන්සේගේ දේශනාවන්හි ආයු කාලය නිශ්චිතව නො දැක්වූව ද, බුද්ධ ශාසනයේ ආයු කාලය ක්‍ෂය වීම පිළිබඳ සූත්‍ර දේශනාවන් පිළිබඳව ත්‍රිපිටකයේ කරුණු වදාළ තිබෙනවා නොවේද?

විපස්සී හාමුදුරුවෝ - මාගමුන් (ස්ත්‍රීන්) පැවිද්ද ලද නිසා සද්ධර්මය දිගුකල් නොපවතින බව පිළිබඳ පාඨය චුල්ල වග්ගය තුළින් මෙන්ම අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රාදී තැන්වල ද තිබේ. ඒ වාගේම ශාසන විනාශයට බලපාන විවිධ දේශනාවන් ත්‍රිපිටකයේ බහුලව ඇත. එනිසා චුල්ලවග්ග පාලිය ආදී කොට ඇති විවිධ දේශනාවන් අළලා පෙරපර දෙදිග පඬිවරුන්ගේ විවිධ මත දක්නට ලැබේ. කෙසේ වුවත් ශාසන අන්තර්ධානයේ ඉතිහාසය ඇරැඹෙන්නේ බුද්ධ දේශනාව පදනම් කොට ගෙන ය. එහෙත් අසවල් වර්ෂ ප්‍රමාණයන් අනුව ශාසන අන්තර්ධානය සිදුවන බව බුදුන් වහන්සේ දේශනා කර නැත. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500 කට පමණ පසුව ඇති වූ මිහිඳු නාගසේන සංවාදයේ දී එන අධිගම අන්තර්ධානය, පටිපත්ති අන්තර්ධානය, ලිංග අන්තර්ධානය කතා ප්‍රවෘත්තීන් පදනම් කොට ලියන ලද සමන්තපාසාදිකා විවරණ හේතු කොට ගෙන පන්දහසක් කල් පවත්නා බුද්ධ ශාසනය යන ව්‍යවහාරය ගොඩනැඟී ඇතැයි අනුමාන කළ හැකි ය.

ඊට සාක්‍ෂියක් වශයෙන් අටුවාවලට වඩා පැරැණි දීප වංශය බුද්ධ ශාසනයේ ආයු කාලය පිළිබඳ ඉදිරිපත් කර ඇති අදහස් පෙන්වා දිය හැක. ‘එනම් යම්තාක් කල් සද්ධර්ම සංග්‍රහය විනාශ නොවන්නේ ද ඒ තාක් ශාස්තෘවහන්සේගේ ශාසනය ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ වෙයි.’ යනුවෙන් එහි සඳහන්ව තිබේ. මුල් බුදුසමයට අයත් මජ්ඣිම නිකායේ භද්දාලී සූත්‍ර වැනි දේශනාවලට අනුගතව මෙම විවරණය කර තිබේ.

ඔබ වහන්සේ පවසන පරිදි බුද්ධ ශාසනයේ අන්තර්ධානය සිදුවීමට අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්ති ලිංග අන්තර්ධානයයන් සිදුවිය යුතු බව පැවසසෙනවා. මෙම ගැටලුව තවත් පැහැදිලි කර ගැනීමට ඒ පිළිබඳ සාරාංශ වශයෙන් හෝ හැඳින්වීමක් කළහොත් හොඳ යැයි සිතෙනවා.

විපස්සී හාමුදුරුවෝ - මේ පිළිබඳවම කෙටියෙන් පවසන්නම්. ඒ පිළිබඳව පාලි සිංහල මූලාශ්‍රයන්හි අන්තර්ගත වේ.

අධිගම යනු - මාර්ග ඵල, ප්‍රතිසම්භිධා, ත්‍රිවිද්‍යා, අභිඥාය යන මේවායි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර දහසක් මුළුල්ලේ භික්‍ෂූන් වහන්සේ සිව්පිළිසිඹියා (පටිසම්භිධා) සහිතව රහත්වෙති. කල්යත්ම එසේ නොකොට ෂඩ් අභිඤා, ත්‍රිවිද්‍යා සහිතව රහත් වෙති. අනතුරුව එසේ විශේෂතා ලබා ගැනීමට නොහැකිව සුක්ඛ විපස්සකව රහත් වෙති. ඊට පසුකාලයන්හිදී ක්‍රමයෙන් පිරිහී, අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න වර්ගයෝ පමණක් මාර්ගඵල ලබති. එසේ අවසානයේ සෝතාපන්නයාගේ අභාවයෙන් අධිගම අන්තර්ධාන වෙයි.

එසේම මාර්ගඵල නිපදවා ගත නොහැකි වූ කල්හි භික්‍ෂූන් චතු පාරිශුද්ධ ශීලයම රකිති. කල්යත්ම කුඩා අනුකුඩා ශික්‍ෂා පද උල්ලංඝනය කරති. සතර පාරාජිකා පමණක් රකිති. එබඳු භික්‍ෂූන් සිටින කලත් ප්‍රතිපත්ති ශාසනය පවතියි. අන්තිම භික්‍ෂුවගේ ශීල භේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය ද අතුරුදහන් වෙයි. පර්යප්ති යනු අටුවා ටිකා සහිත බුද්ධ වචනය ඉගෙන ගැනීම, ඉගැන්වීම ධාරණය කර ගැනීමයි. කල්යත්ම කලියුගයේ රජවරු අධාර්මික වෙති. ඇමැතිවරු රටවැසියන ද අධර්මික වන හෙයින් රට සශ්‍රීක නොවෙයි. ඒ නිසා ඇතිවන දුර්භික්‍ෂයන් හේතු කොටගෙන භික්‍ෂූන්ට ද සිවුපසය හිඟ වී පර්යප්ති ධාරණය අධ්‍යාපනයට නොහැකි වෙයි. ඉන්පසු සූත්‍ර පිටකය පිරිහෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාකාමී භික්‍ෂූන් ජාතක පමණක් ධරති. කල්යත්ම ඒවාද පිරිහී විනය පිටකයන් ද යටත් පිරිසෙන් සතර පදයක ගාථාවක් පවා දන්නා තේරුම් කර දිය හැකි භික්‍ෂුවක් සොයා ගැනීමට නො හැකි වෙයි. මෙසේ වී පර්යප්ති පිරිහුණු කල්හි, භික්‍ෂූන්ගේ පාත්‍ර, සිවුරු ගැනීම්, ඉරියව් ආදී චාර්යා ප්‍රසාද ජනක නොවේ. බමුණෝ නිගණ්ටයන් මෙන් ඇවිදිති. පසුව කහ පටියක් අතේ හෝ කරේ බැඳ, අඹු දරුවන් රකිමින් ගොවිතැන් බත් කරමින් හෝ වෙළහෙළඳාම් කරමින් හෝ විවිධ රැකියා කරමින් ජීවත් වෙති. මෙසේ හැසිරෙන භික්‍ෂූන් කාසාවකණ්ඨක යනුවෙන් මජ්ක්‍ධිම නිකායේ දී හඳුන්වයි. කල්යත්ම කහකඩ (පටි) ද ඉවතලා සිටියි. එය ලිංග අන්තර්ධානය ලෙස හඳුන්වයි.

සදහම් මඟ අතුරුදහන් වීමට හේතු විශාල සංඛ්‍යාවක් දේශනාපාලියේ සඳහන් වෙයි. සද්ධම්ම ප්‍රතිඥපක සූත්‍රයේ සඳහන් වන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවක් ය. “කාශ්‍යප සත්වයන් ප්‍රතිපත්ති පිරීමෙන් පිරිහෙද්දී සද්ධර්මය, ශාසනය අන්තර්ධාන වෙද්දී සික්‍ෂා පද වැඩිවෙයි. රහත්වීම අඩුවෙයි. සද්ධර්ම මෙන් පෙනෙන දේ ලොව පහළ නොවන තුරු සද්ධර්මය අතුරුදහන් නොවේ. සද්ධර්මය මෙන් පෙනෙන දේ පහළ වූ දා සද්ධර්මය නැති වී යයි. අහන දකින විට ඒවා වගේ පෙනෙන ප්‍රතිපත්ති පෙනුම ඇති දුෂ්ප්‍රතිපත්තීත් ධර්ම පෙනුම ඇති අධර්මයත් විනය පෙනුම ඇති අවිනයත් ලොව ඇති නොවන තුරු ඒවා නොනැසී පවතී. ශ්‍රමණ පෙනුම ඇති අශ්‍රමණයන් මහණකම නැති කරගෙන පෙනුමෙන් වේෂයෙන් මහණුන් වගේ පෙනෙමින් “අපිත් ශ්‍රමණයම්හයි” කියමින් මහණුන් අතර හැසිරෙන ශ්‍රමණ ප්‍රතිරූපකයන් පහළ වූ විට මහණකමත් අතුරුදහන් වෙයි. මේ පෙනුම ඇති දේ පහළ වූ විට ඒ ඒ දේ නැති වෙලා යයි.” තවද ශාසන විනාශයට හේතු වශයෙන් බුදුන් වහන්සේ වදාළේ, අනාගත කාලයේ ගැඹුරු අරුත් ඇති සූත්‍ර පැහැදිලි කරන ධර්මය ගිහියන් පමණක් නොව පැවිද්දන් ද ශ්‍රවණය නොකරයි. අවබෝධ කර නොගනියි. එහෙත් ජනකවියක් සේ විසිතුරු ලෙස කියන වැරදි දහම් ශ්‍රවණය කිරීමට රුචි කරන, එයින් සතුටු වන බව පෙනේ. “අනාගත කාලයේ බොහෝ ගිහි පැවිද්දෝ ගැඹුරු ධර්ම විනය ගැන නොදැනුවත්ව එහෙත් දන්නෝ යැයි සිතමින් බොහෝ වැරදි අර්ථ කථන දෙති. විනය බණ දහම් කණපිට පෙරළමින් කෙළසන්නෝ වෙති.” එසේම ථෙර ගාථා පාලියේ සඳහන් වන පරිදි ධර්ම විනය ගැන දැන උගත්කම් නැතත් ලාභ සත්කාර නිසා එඩිතරව සඟ මැද ධර්මය අධර්මය ලෙසත් විනය අවිනය ලෙසත් අධර්මය ධර්මය ලෙසත් අවිනය විනය ලෙසත් ප්‍රකාශ කරති. ගුණවත් ධර්මධර භික්‍ෂූහු ධර්මය විනය යථා තත්ත්වයෙන් ඉදිරිපත් කරතත් දුර්වල වී යන්නාහුය. “කාශ්‍යප - සද්ධර්මය අන්තර්ධාන කෙරෙන්නේ පඨවි ධාතුව හෝ ආපෝ ධාතුව හෝ තේජෝ ධාතුව හෝ වායෝ ධාතුව හෝ නොවෙයි. කාශ්‍යප සද්ධර්මය අන්තර්ධානය කරන්නේ හිස් මිනිසුන්, තුච්ඡ පුද්ගලයන් ය. එවන් මිනිස්සු මේ ශාසනයේ ම ඇති වී පර්යප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සංඛ්‍යාත ත්‍රිවිධ ශාසනයම නසා වනසා දමති.”

හෑගොඩහිමි - මේ අනුව අවසන් වශයෙන් කිව හැක්කේ මෙයයි.බුද්ධ ශාසනයේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ ප්‍රතිපත්ති පුරණ පැවිද්දන් හෝ ගිහියන් විසින් බවයි.

විනය ඇතත් නිවන් මඟ තිබුණත් ප්‍රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්ම ශාසනය පිරිහී යයි. ඉතින් බුද්ධ ශාසනය යම්තාක් දුරට පිළිපදී ද ඒතාක් දුරට ශාසනයේ ආයු කාලය තීරණය වන්නේ ය.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.