Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආතුර වූ සමාජයක අනාතුරව විසීම

බු ද්ධදේශනාවට අනුකූ®ලව මුලික දුක් සතරක් පිළිබඳ සඳහන් වේ. එනම් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක සහ මරණ දුකයි. එම දුක් සතරට ඇතුළත් එක් දුකක් වන්නේ ව්‍යාධි දුකයි. එයින් මූලික වශයෙන් පැහැදිලි වනුයේ, කායික වූ ද මානසික වූ ද නානාවිධ රෝග නිසා හට ගන්නා දුක ගැනයි. ඒ කායික, මානසික දුක්ඛයන්ට, රෝගයන්ට නානා හේතු ද පැහැදිලිව දේශනාවේ දක්නට ලැබේ.

සෙම්හ සමුට්ඨානං, වාත සමුට්ඨානං, පිත්ත සමුට්ඨානං ආදී වශයෙන් ව්‍යාධී හේතු දක්වා තිබේ. එහෙත් මෙහිදී ආතුර වීම යනුවෙන් විග්‍රහ වන්නේ ඊට එහා ගිය පුළුල් අරුතකින් බව තේරුම් ගත යුතු ය. ඒ පුළුල් අර්ථය නම්, කෙලෙස් නිසා ඇතිවන්නා වූ ආතුරභාවයි. ඒ කෙලෙස් නිසා සිදුවන ආතුර බව නිසාම ඉපදීමත් සම්මත මරණයත් අතර පවත්නා සියලු දුක් සමූහය පමණක් නොව සංසාරික නානා විධ භවවල සංසරණයද යන සියලු දුක් හිමි කර ගනී.

අපේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

සුසුඛං වන ජීවාම – උස්සුකෙසු අනුස්සුකා
උස්සුකෙසු මනුස්සෙසු - විහරාම අනුස්සුකා

කෙලෙස්වලින් ආතුර වූ මිනිසුන් වාසය කරන මේ ලොව අනාතුර වූ කෙනකු ලෙස ජීවත් වීමේ ශ්‍රේෂ්ඨත්වය එසේ පැහැදිලි කළ සේක.

දුක නිර්මාණය වන්නේ කෙලෙස්වල උපකාරයෙනි. මුළු සංසාර ප්‍රවෘත්තියම ආවරණය කොට අප එහි බැඳ තබා තිබෙන්නේ කෙලෙස් මාර්ගයෙනි. කෙලෙස් යනු කුමක්දැයි තරමක් හෝ පැහැදිලි කර ගැනීම වැදගති. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මන යන ආයතනයන් හැසිරවීමේ දී ආගන්තුකව ඇති කරගන්නා වූ ධර්මයෝ කෙලෙස් වෙති. ආගන්තුක යනුවෙන් සලකන්නේ තත්ත්වාකාරයට පිටින් මනැස තුළ පහළවන නිත්‍ය,සුඛ, ආත්ම වශයෙන් හෝ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් හෝ වන්නා වූ චිත්තන ධාරාවය.

ලෝකයේ ඇති තත්ත්වාකාරය නම්, ඇති වී, නැති වී යන ස්වභාවයි, අනිත්‍යතාවයි. එහි මමෙක් හෝ මා සතු කරගත් දෙයක් ඇත්නම් එය මනැසේ ම ඇති කර ගනු ලැබූ මායාවක් මිස පවතින ස්වභාවයක් නොවන්නේ ය. එබැවින් පින් පව් ද කෙලෙස්වලින් ම ජනිත වූ ධර්මයෝ ය. පින්, පව් නිසා සසර දිගු වන්නේ එබැවිනි. බුදුදහමේ මූලික අපේක්‍ෂාව පව් නවතා පින් කිරීම ම නොවන බව ඉන් පැහැදිලි ය. කුසලය යනු මේ අකුසල ආගන්තුකයනට ප්‍රතිවිරුද්ධව, අවබෝධාත්මක පිළිගැනීම තුළ මෙම පංචස්කන්ධයෙහි තත්ත්වාකාරය අවබෝධ කිරීමේ මාර්ගයයි.

සැබෑව වසංවන හැම මොහොතකම ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා අරමුණු සමඟ බද්ධ වෙමින් කෙලෙස් උපදින බව නොරහසකි. කෙසේ නමුත් කෙලෙස් සමග ගෙවන දිවිය ආතුරව විසීමක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. පෘතග්ජන මනැසකින් යුක්ත සත්වයා උම්මත්තක ස්වභාවයෙන් යුතු බව දේශනා කළේ ද එබැවිනි. කෙලෙස් වලින් ආතුර වූ තැනැත්තා තව පැත්තකින් ගිලන් බැවින් ද යුක්තය. ගිලන් බව යනුවෙන් සලකන්නේ ඉන්ද්‍රිය ආරම්මණයේ ඇති වෙහෙසකර බවත් මනැසේ නිතර පවත්නා නොසන්සිඳුණු බවත් ය.

රෝගියකුට අතපය වේදනා, වාරු නැති බව, ආහාර අරුචිය ආදි නානාවිධ ඉන්ද්‍රිය වෙහෙසක් පවතින බව අපි දනිමු. එහෙත් මෙහිදී අදහස් කරන්නේ කෙලෙස්වලින් ආතුර වූ තැනැත්තකුට ඉන්ද්‍රියන්හි පවත්නා වෙහෙසකර බවයි. උපන්දා සිට මරණය තෙක් රූප, ශබ්ද ආදී අරමුණු විෂයෙහි වේග ආවේග පදනම්ව සැප සොයන්නට වෙහෙසෙන පෘතග්ජන මනුෂ්‍යයාට අවසානයක් නිමාවක් තබන්නට බැරි මේ ඉන්ද්‍රියන් පිනවීමේ ක්‍රියාව අධ්‍යාත්මිකව ලබා ඇති ගිලන් බවක් ම මිස අන් කවරක් ද?

ගිලන් උවටැන උතුම් පූජාවක් මෙන්ම, ගිලාන උපස්ථානය බුදුන්ට කරන ලද උපස්ථානයක් ලෙසද හැඳින්වූයේ කුමන අරුතකින් දැයි මෙතැනදීම පැහැදිලි කර ගැනීම වඩාත් උචිතය. සම්මත අර්ථයෙන් එය විමසන විට මෙවැනි අදහසක් පළ නොකරම බැරිය. අසමසම වූ බුදු කෙනකුට කරන උපස්ථානයත්, සමහර විට පන්සිල්වත් නැති ගිලනකුට කරන උපස්ථානයත් සම වන්නේ කෙසේදැයි යනුවෙනි. අපගේ පුද්ගලික අදහස නම් එය එකක් නොව දෙකක් බවයි. එහෙත් අප මෙහිදී කරනු ලබන සාකච්ඡාවට අදාළව අධ්‍යාත්මිකව ආතුර වූ නැතහොත් ක්ලේශ පරිදාහයෙන් හෙබි තැනැත්තකු යම් දවසක, යම් අවස්ථාවක අධ්‍යාත්මික ලෝකය තුළ වාසය කරන මේ ගිලනා නැතහොත් ආතුරයා, තමාම දැක එයට පිළියම් කොට නිදහස් වන්නේ නම් සැබැවින්ම එය පරම වූ ආරෝග්‍ය උදාවීමක් පමණක් නොව පරම ගිලාන උපස්ථානයක් ද වේ.

ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ බුදුන් වහන්සේ දැකගත හැකි වන්නේ ධර්මය දැකීම මඟින් ය යන අදහස මුල් අවධියේ සිටම පැවැත එයි. එහිදී බුදුන් දකිනවා යනුවෙන් සලකන්නේ මේ බඹයක් පමණ වූ ලෝකය, පංචස්කන්ධය තුළ ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. යෝනිසෝමනසිකාරයෙන් යුතු විදර්ශනානු යෝගියා අධ්‍යාත්මික ලෝකය තුළ වාසය කරන ගිලනාගේ ස්වරූපය හා ක්‍රියාකාරකම් මැනැවින් අවබෝධ කිරීම නිසා හේතුව සහ ඵලය යන දෙයාකාරයෙන් ම නිරෝධ කිරීමට හැකියාව ලැබීම, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට හේතුවන බැවින් එය බුදුන්ට කරන ලද උපස්ථානයක් සේ සැලකීම නිවැරැදිය.

මේ පෘථිවිය හා එහි ඇති සම්පත් පිළිබඳ ගණනය කිරීමට මෙන්ම එහි සීමාවන් තේරුම් ගැනීමට ද නවීන මිනිසාට හැකියාව ලැබී ඇත. එසේ වුවත් මිනිස් මනැස තුළ ක්‍රියාත්මක වන අසීමිත ආශාවන් සහ බලාපොරොත්තුවල නිමාවක් සහ ගණනයක් දැක්විය නොහැකිය. ඒ වූ බැවින් ම සීමිත සම්පත් විෂයෙහි කෑදර මිනිසා නානාවිධ බෙදීම්වලට මාර්ගය සකසා ගැනීමක් මිස මිනිස් මනැසේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමක් හෝ එමඟින් ලැබෙන චාම් සරල ජීවිතයක් ගැන බලාපොරොත්තු තබා කටයුතු කිරීමක් හෝ දක්නට නොලැබේ. මේ අත්‍යවශ්‍ය කටයුත්ත මඟ හැරීම නිසා, පුරාණ මිනිසාටත් වඩා වත්මන් මිනිසා අධ්‍යාත්මිකව ආතුර වී අතරමං වී සිටින ආකාරය දැකිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ සෑම විටම දේශනාව යොමු කළේ අධ්‍යාත්මික ලෝකය වෙනස් කිරීමෙන් සැප දායක බාහිර ලෝකයක් පහළ වන ආකාරයටය. වැඩි දෙනකුගේ බලාපොරොත්තුව භෞතික ලෝකය ගොඩනැඟීම වන බැවින්, කිසිදා සුඛනම්‍ය ලෝකයක් ගොඩනැඟීම මායාවක් පමණි. සතුට, සාමය අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය බිඳ වැටුණු සමාජයක් තුළ භෞතික හුවමාරුවන්ගේ ක්‍රියාකාරකම් කෙසේ ගොඩනැඟුනත් අසහනය, කලකිරීම, පසු තැවීම, සියදිවි හානි කර ගැනීම හා මිනිස් මනැසේ ආවේග යනාදිය වර්ධනය වීම නොවැළැක්විය හැකි ය. අනතුරුව එම ප්‍රතිවිපාක සමනය පිණිස වෙනම සංවිධාන පිහිටුවීමේ අවශ්‍යතාව ගැන ලෝකයා සිතුවා මිස රෝග නිධානයට ඉන් පිළියම් ලැබී නැත. රෝග නිධානය වූ කලී කුඩා අවධියේ පටන් මිනිස් මනැස, අධ්‍යාත්මික ජීවිතය තුළින් නිසි අයුරින් හැඩ ගැස්වීමට නොහැකි වීම බව තේරුම් ගත යුතු ය.

අප මෙහිදී අවධානයට ලක් කළ යුතු කාරණය නම් ආතුර වීමෙන් වැළැකී, අනාතුරවීමේ වැදගත්කමයි. බුදුදහමේ පැහැදිලි කෙරෙන ආතුර වීම යන කාරණය සරල වුවක් නොවන බව මෙහිදී අප තේරුම් ගත යුතු ය. බාහිර රෝගාබාධයන්ගෙන් අත්මිදීමට කොතෙක් අවධානය යොමු කළත් බුදුදහමේ උගන්වන කෙලෙස් සහ කෙලෙස් නිවාරණය තේරුම් නොගතහොත්, ආගම, භාෂාව, දේශය යන සියල්ල ඉක්මවා සෑම සත්වයකුටම අප්‍රමාණ දුක්ඛ වේදනාවන්ට මුහුණ දීමට සිදුවන බව තේරුම් ගත යුතු ය.

මිනිසා ආතුර වීමට මූලික හේතුව කෙලෙස් නම්, ඒ කෙලෙස්වලින් නිදහස්වීම අනාතුර වීමයි. ඒ සඳහා බුදුදහම කෙලෙස් සම්බන්ධව, කෙලෙස් නිවාරණය පිණිස ආකාර දෙකකින් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් උගන්වා ඇත. එහි පළමු පියවර අලුතෙන් කෙලෙස් හට ගැනීම වළක්වාලීමයි. දෙවැනුව තවදුරටත් ස්වසන්තානය තුළ පවත්නා වූ කෙලෙස් ඉවත් කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ක්‍රියා කිරීමයි. කෙලෙස් නැසීම සඳහා විදර්ශනා මඟ බුදුන්වහන්සේ විසින් දේශිතය.

අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය

නූපන් අකුසල් නොඉපදීම පිණිස බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවර ශීලය අපට උගන්වා තිබේ.

උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහීයන්තී

කලින් ඉපදී ඇති අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස දෙවැනුව කටයුතු කළ යුතු ය. ඒ සඳහා බුදුදහමේ අනුදැන වදාළ භාවනා ක්‍රම නිසි අයුරින් ප්‍රගුණ කළ යුතුය. ගිහි කාමභෝගී ජීවිතයක් ගෙවන අයකුට මෙවැනි විරාගී දහමක් ප්‍රගුණ කිරීමේ අපහසුව නැවත නැවැත සාකච්ඡාවට භාජනය වන ආකාරය දැකිය හැකි ය. සපුරාම අනගාරික ජීවිතයකට උරදුන් පැවිදි ජීවිතවල ද අද සංකීර්ණ සමාජය තුළ ගැටලු රාශියක් මතු වී තිබෙන බව නොරහසකි. එහෙත් අප මෙහිදී තේරුම් ගත යුතු වන්නේ එකිනෙකා අතර ඇති සීමාවන් හා අඩුපාඩුකම් නොව බුදුරජාණන් වහන්සේ යම් සංසිඳීමක් පිණිස දේශනා කළ දහමක් වේ නම්, එය කිසියම් ක්‍රමයකින් ප්‍රගුණ කිරීමට කටයුතු කරන ආකාරයයි. එමඟින්ම ආතුර වීම දුරු කිරීමට හැකියාව ලැබෙන අතර එකිනෙකා අතර සීමාවන් හා අඩුපාඩුකම් සාකච්ඡා කිරීම මේ ගිනි ගන්නා ලෝකය තුළ බොළඳ ක්‍රියාවක් බව පැහැදිලි ය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.