Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බලවත් සමාධිය උපදවා ගැනීමට නම්

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

බලවත් සමාධි ඇති කර ගැනීම පිණිස උපකාර වන්නා වූ ධර්මයන් හඳුනාගෙන ඒ ධර්මයන් පුරුදු කරගන්ට දක්‍ෂ වුණොත්, අපට පුළුවන්කමක් තියෙනව බලවත් සමාධි ඇති කර ගැනීමට. ඒ නිසා අප කැමැති වෙන්ට ඕනෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මේ ගම්භීර වූ ධර්මය පුරුදු කර ගැනීමට. අප මුලින් කිව්ව කාරණා තුනක් ගැන. සමාධියට සමවැදීම, සමාධිය පැවැත්වීම, සමාධියෙන් නැඟී සිටීම කියන මේ කාරණා අපට පුරුදු කරගන්ට වෙන්නේ, බලවත් සමාධි ඇති වීමෙන් පසුයි


 

භාවනාව සාර්ථක කරගෙන බලවත් වූ සමාධි ඇති කර ගැනීම පිණිස උපකාර වන ඉතා වැදගත් කාරණා කිහිපයක් අපි අද කතා කරන්නට කල්පනා කළෙමු. අංගුත්තර නිකායේ සතර වන නිපාතයේ තිබෙනව ‘බල සූත්‍රය’ කියල සූත්‍ර දේශනාවක්.

ඒ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අපට පෙන්වා දෙනවා. ‘පින්වත් මහණෙනි, කරුණු හයකින් යුක්ත භික්‍ෂුවකට බලවත් සමාධි උපදවා ගැනීමට හැකි වන්නේ නෑ. බලවත් සමාධි ඇති කරගන්ට එයා සුදුස්සෙක් වෙන්නෙ නෑ කියල. මොනවද ඒ කාරණා හය? භික්‍ෂුවක් ඉන්නවා සමාධියට සමවඳින්ට දක්‍ෂ නෑ. ඊළඟට, ඒ භික්‍ෂුව සමාධිය පවත්වන්ට දක්‍ෂ වෙන්නෙත් නෑ. ඊළඟට, සමාධියෙන් නැඟී සිටින්ට දක්‍ෂත් නෑ. පිළිවෙළකට සමාධිය වඩන්නෙත් නෑ.

සකසල වඩන්නෙත් නෑ. ඊළඟට, ඒ භික්‍ෂුව නිතර සමාධිය පුරුදු කරන්නෙත් නෑ. ඊළඟට සමාධියට, ඒ බණ භාවනාවට හානි පමුණුවන්නා වූ, අයෝග්‍ය කටයුතු කරනව. මෙන්න මේ කරුණු හයෙන් යුක්ත කෙනාට බලවත් සමාධියක් ඇති කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ කියල පෙන්වා දෙනවා.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, ‘පින්වත් මහණෙනි, කාරණා හයකින් යුක්ත භික්‍ෂුවකට බලවත් සමාධි ඇති කර ගැනීමට පුළුවන් කමක් තිබෙනව‘ කියල. මොනවද ඒ කාරණා හය? යම් භික්‍ෂුවක් ඉන්නවා, සමාධියට සම වැදීමේ කුසලතාව තියෙනව. ඒ වගේම සමාධිය පවත්වන්ට දක්‍ෂයි. ඒ වගේම සමාධියෙන් නැඟී හිටින්ටත් දක්‍ෂයි. ඒ හැකියාව පුරුදු කරගෙන තියෙනව. ඊළඟට සමාධිය නැත්නම් බණ භාවනා පිළිවෙළකට කරනව, සකසල වඩනව.

ඊළඟට සමාධිය නිතර පුරුදු කරනව. සමාධියට නැත්නම් භාවනාවට හානි පමුණුවන්නා වූ කාරණා සිදු කරන්නෙත් නෑ. මෙන්න මේ කරුණු හයෙන් යුක්ත භික්‍ෂුවකට බලවත් සමාධි ඇති කරගන්ට පුළුවන් කියන කාරණාව සිද්ධ වෙන දෙයක් කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. එතකොට අප කැමැති වෙන්ට ඕනෑ ඒ බලවත් වූ සමාධිය ඇති කර ගැනීම පිණිස. එහෙම නැත්තම් අප උපදවා ගන්නා වූ සමාධිය බලවත් භාවයට පත් කර ගැනීමට අප කැමැති වෙන්ට ඕනෑ. යම් කෙනෙකුට යම් සමාධියක් ඇති වෙන්ට පුළුවන්, ඒ සමාධිය බලවත් ස්වභාවයට පත්කර ගැනීම පිණිස කටයුතු කරන්ට ඕනෑ. ඒකට වුවමනා කරන ධර්මයන් අප පුරුදු කරගන්ට ඕනෑ.

එතකොට අප සමාධිය බලවත් කර ගැනීම පිණිස, එහෙම නැත්තම් බලවත් සමාධි ඇති කර ගැනීම පිණිස උපකාර වන්නා වූ ධර්මයන් හඳුනාගෙන ඒ ධර්මයන් පුරුදු කරගන්ට දක්‍ෂ වුණොත්, අපට පුළුවන්කමක් තියෙනව බලවත් සමාධි ඇති කර ගැනීමට. ඒ නිසා අප කැමැති වෙන්ට ඕනෑ. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මේ ගම්භීර වූ ධර්මය පුරුදු කර ගැනීමට.

අප මුලින් කිව්ව කාරණා තුනක් ගැන. සමාධියට සමවැදීම, සමාධිය පැවැත්වීම, සමාධියෙන් නැඟී සිටීම කියන මේ කාරණා අපට පුරුදු කරගන්ට වෙන්නේ, බලවත් සමාධි ඇති වීමෙන් පසුයි. එහෙම නැත්නම්, පළමුවැනි ධ්‍යානය, දෙවනි ධ්‍යානය, තුන්වෙන ධ්‍යානය, මේ ආදී ඉහළ සමාධි උපදවා ගත්ත කෙනෙකුට තමයි සම වැදීමේ කුසලතාව, සමාධිය පැවැත්වීමේ කුසලතාව, නැඟී සිටීමේ කුසලතාව, මේ ආදී කුසලතාවයන් පුරුදු කරගන්ට අවශ්‍ය වෙන්නේ. ඊට කලින් අපට බණ භාවනා කරද්දී, ඒ කියන්නෙ ධ්‍යාන සමාධිය ආදී බලවත් සමාධියක් ඇති වෙන්ට පෙර එයාට සම වැඳීමේ කුසලතාව, සමාධිය පැවැත්වීමේ කුසලතාව, නැඟී සිටීමේ කුසලතාව කියන ඒ කුසලතා සියල්ල පුරුදු කරගන්ට හැකි වෙන්නෙ නෑ.

මතක තියාගත යුතු කරුණක් තමයි භාවනාව පුරුදු වෙන්ට පටන් ගත්ත දවසේ ඉඳලම අපට සමාධියක් තිබුණා හෝ නැති වුණා හෝ සමාධියෙන් නැඟී හිටීමේ හැකියාව අප පුරුදු කරගත යුතුයි. ඒකට හේතුව තමයි අප භාවනාවක් පුරුදු කරන්ට පටන් ගැනීමේ දී පටන් යම් විදියකින් සිත එකඟ වෙන්ට පටන් ගන්නව. සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර වෙලා සිත පවත්වන්ට පුරුදු වෙනව.

භාවනාවක් පුරුදු වෙන වෙලාවකදී සිත සාමාන්‍ය ස්වභාවයේ නෙමෙයි තියෙන්නෙ. විශේෂ ස්වභාවයකට සිත පත්වෙනව. විශේෂ අරමුණක සිත පවත්වත්වනවා අප භාවනාවෙන් නැඟිටින්ට කලින් අප සිත පවත්වමින් හිටපු අරමුණෙන් ඉවත් කරගෙන සාමාන්‍ය ස්වභාවයට පත් කරගන්ට ඕනැ. එහෙම නැති වුණොත් භාවනාව ඉහළට දියුණු කර ගැනීමේදී යම් යම් ගැටලු ඇති වෙනව. යම් යම් ආබාධ ඇති වෙන්ට පුළුවන්.

ඒ නිසා අප ආරම්භයේ ඉඳලම සමාධියක් තිබුණා හෝ නොතිබුණා හෝ භාවනාවෙන් ඇස් ඇරල නැඟිටින්ට කලින් සිතේ පවත්වන අරමුණෙන් සිත බැහැර කරගන්ට ඕනැ. ඒක කරන්නෙ කොහොමද? අප භාවනාවෙන් අයින් වෙන්ට ඕන කියල සිතන කොට භාවනා මනසිකාරය නතර කරනව. කලබල කරගන්නෙ නෑ.

භාවනා මනසිකාරය නතර කරල එක පාරට ඇස් අරින්නෙ නෑ. අප සිතනව සමාධියෙන් නැඟී සිටිමි කියල, එහෙම නැත්තම් සමාධිය බැස යත්වා කියල හිතනව. අපි සිත එක අරමුණක පවත්වන්ට නේ මහන්සි වුණේ. මේ විදිහට හිතපුවම ඒ අරමුණෙන් අප බැහැර වෙලා සාමාන්‍ය ස්වභාවයට සිත පත්වෙනව.

ඒකයි වෙන්නෙ. කලකදී සමාධිය තුළ ටික ටික සිත එකඟ වෙන්ට වෙන්ට අප සිද්ධ වෙන දේ තේරෙනවා. එතෙක් අප ආරම්භයේ ඉඳලම සමාධිය තිබුණා හෝ නොතිබුණා හෝ භාවනාවෙන් නැගිටින්ට කලින්, ඇස් අරින්ට කලින් සමාධිය බැස යත්වා කියල සිතල ඇස් අරින්ට පුරුදු වෙන්ට ඕනැ. එතකොට අපිට සමාධියෙන් නැඟී සිටිමේ කුසලය ඒ විදිහට මුල ඉඳල පුරුදු කරන්ට පුළුවන්කමක් තියෙනව.

ඊට පස්සෙ යම් විදියකින් අපට පළවන ධ්‍යානය, දෙවන ධ්‍යානය මේ ආදී බලවත් වූ සමාධියකට සිත දියුණුකර ගන්ට පුළුවන් වුණොත්, සමථය බලවත් කරගන්ට පුළුවන් වුණොත්, අන්න ඒ වගේ වෙලාවකදි සමාධියට සම වැදීමේ කුසලතාව, සමාධිය පැවැත්වීමේ කුසලතාව, ඒ වගේම නැඟී සිටීමේ කුසලතාව කියන කුසලතාවන් තුනම පුරුදු කරගන්ට ඕනැ. ඒක පුහුණු වීමත් එක්ක කරන්ට පුළුවන් දෙයක්.

බලවත් සමාධි ඇති කර ගැනීම පිණිස උපකාර වන ඊළඟ කාරණාව තමයි ‘සකසල වඩනවා’ කියන එක. ඊළඟ එක මොකක්ද? නිතර පුරුදු කරනවා කියන එක. ඊළඟ එක, සමාධියට හානි කෙරෙන දේවල් නොකර සිටීම.

එතකොට අප අන්න ඒ කරුණුත් ඉගෙන ගන්නට ඕනැ. විශේෂයෙන් මතක තියා ගන්ට අප මුලින් කිව්ව කාරණා. සමාධියට සම වැඳීම, සමාධියෙන් නැඟී සිටීම, සමාධිය පවත්වන්ට හැකි බව, මෙන්න මේ කුසලතා යම් කෙනෙකුට නැත්තම්, එයාට අරූප සමාධි වල දී නේවසඤ්ඤාණනා සංඤ්ඤායතන සමාධිය උපදවා ගන්ට බෑ. එයා නොකළ යුතු යි. මතක තියාගන්ට එතනින් එහාට නිරෝධ සමාධියට යන්ටත් එයාට බෑ. එයත් නොකළ යුතු යි.

එයාට ඊට මෙහා සමාධියකට සමහර විට යන්ට පුළුවන්. සම වැදීමේ කුසලතාව . සමාධිය පවත්වන්ට පුළුවන් හැකියාව, සමාධියෙන් නැඟී සිටීමේ හැකියාව, කියන මේ හැකියා දුබල කෙනෙකුට වුණත් ආකාසඤ්ඤායතනය, විඤ්ඤාණංචායතනය, ආකිඤ්චඤ්ඤායතනය වගේ සමාධි වලට යන්ට පුළුවන් වෙයි. නමුත් එතනින් එහාට එයා යන්ට උත්සාහ නොකළ යුතුයි. මොකද ඒ සමාධි ඉතා සියුම්, බලවත් සමාධි. සමාධි කුසලයන් එයා තුළ නැත්නම් ඒ වගේ බලවත් සමාධියකට එහා ගිහිල්ල ඒවා දියුණු කර ගන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

සමාධියෙන් නැඟී සිටින්ට නොහැකි වීම නිසා ලොකු ගැටලු ඇති වෙනවා. ඒ නිසා, තමන්ට ඒ කුසලතාවන් නැත්තම්, ඒ වගේ සමාධිවලට සමවදින්ට උත්සාහ නොකර ඉන්ට මතක තියා ගන්ට ඕනෑ. ඊළඟට මෙතනදි බලවත් සමාධි කියල කිව්වහම සිතමු යම් කෙනෙකුට ධ්‍යාන හතර උපදව ගන්ට පුළුවන්කම තියෙනව. අරූප සමාධිත් උපදවා ගන්ට පුළුවන් කියලා සිතමු.

මතු සම්බන්ධයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.