UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසූමහා ශ්‍රාවක චරිත 3

බුදුරදුන් ගොඩ නැඟු ධර්ම රාජ්‍යයෙහි මහ ඇමැතිවරු

අගසව් මුගලන් තෙරණුවෝ

මව්පියන් රථයක නංවාගෙන ගොස් කැලයක් මැද දී සොරුන් විසින් පහර දෙන්නේ යි හඟවමින් මව්පියන්ට ගසා තලා මරා දැම්මා. ඒ පහර දෙන අවස්ථාවෙහි මව්පියන්ගේ කටින් නිකුත් වූයේ වයසක අප මැරණාට කමක් නෑ පුතේ. නුඹේ ජීවිතය රැකගෙන පැන දුවපන් යන ආදරණීය වචන කීපයයි බලන්න මව්පිය සෙනෙහසක මහත!

සම්බුදුරදුන් ප්‍රථමයෙන් ම පූජා ලැබූ රජගහ නුවර වේළුවනාරාමයෙහි දහසක් පමණ භික්‍ෂූන් පිරිවරා ගෙන වැඩ සිටිය දී නවම් මස පුර පෑලවිය දා කෝලිත උපතිස්ස දෙදෙන පැමිණුනු බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ පැමිණි උපතිස්ස පිරිවැජියා සාරිපුත්ත නමිනුත් කෝලිත පිරිවැජියා මොග්ගල්ලාන නමිනුත් පැවිද්ද ලබා ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුලුල්ලේ පෙරුම්දම් පිරීමේ පුණ්‍ය මහිමයෙන් අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න තරම් වාසනාවන්ත වුණා. රූපසාරි මවගේ නමින් කොටසක් ගෙන සාරිපුත්ත යන නම තැබීමත්, මොග්ගලී මවුතුමියගේ නම ගෙන මොග්ගල්ලාන නම තැබීමත් ගැන ගැඹුරින් සිතන විට පැහැදිලි වෙනවා. හොඳ දරුවන් සාදන මවුපියන්ට ලැබෙන සැනසීම හා සතුට මොන තරම් උසස් ද කියා.

අග්‍රශ්‍රාවක තනතුරු ලැබූ මුගලන් හිමියන් “ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්‍ඛූනං ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානෝ “ යනුවෙන් මහණෙනි මාගේ ඍද්ධිමත් භික්‍ෂූන් අතර මුගලන් භික්‍ෂූ නම ඍද්ධියෙන් අග්‍ර වන්නේයි උසස් තනතුරක් ලබා දීම වැදගත්.මේ තතත්වය උදාකර ගැනීම සඳහා බොහෝ අවස්ථාවල අග්‍ර ශ්‍රාවක දෙනම එකට එකතුව අනෝමදස්සී බුදුරදුන්ගේ කාලයේ පටන් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරුවා. මුගලන් හිමියන් එදා ඒ අනෝමදස්සි බුදුරදුන් ප්‍රධාන සංඝ රත්නයට දින හතක් නොකඩවා මහා දන් පූජා පවත්වා අවසානයේ දී ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි ප්‍රාර්ථනා ඉටුවන බවට නියත විවරණ ලැබූහ.

අප ගෞතම බුදුරදුන් අවදියේ දී කලින් සඳහන් කල අන්දමට වේළුවනාරාමයට පැමිණ පැවිදි බිමට පත්ව පත්වන දිනයේදී මගධ රට කල්ලවාල නම් ගම වැඩ වසමින් ධාතු කර්මස්ථානය වඩත් දී උතුම් වූ රහත් භාවයට පත් වුණා. එතැන් පටන් බුදු සසුනේ ආරක්‍ෂාව හා ව්‍යාප්තිය සඳහා උන්වහන්සේ සිදු කළ සේවය විශාලයි මහා ධනවත් සිටුවරුන් වස්තු තණ්හාවෙන් මියගොස් අප්‍රමාණ දුකට පත් පේ‍්‍රත ආත්ම ලබාගෙන ගිජ්ඣකූට පර්වතය අසබඩ වසන ආකාරය ඍද්ධියෙන් වැඩම වූ මුගලන් හිමියන් දැක අවුත් බුදුරදුන් ප්‍රධාන සිවු පිරිස හමුවේ පැහැදිලි කොට පෙන්නා දීමෙන් අප්‍රමාණ දෙනා තුළ සසර භය ඇති කළා පමණක් නොවෙයි කුසලයට නැඹුරු වීමටද තදබලපෑමක් ඇති කළ බොහෝ අවස්ථාවල ඍද්ධි බලයෙන් දෙව්ලොව වැඩමවා සමහර දෙවිවරුන් විවිධ සැප සම්පත් ලැබීමට හේතුව මුගලන් හිමියන් විමසා බැලුවා. එහි දී සමහර අය මල් ටිකක් පැන් හෝ ආහාර ටිකක් පිදීමෙන් මහත් සම්පත් ලැබූ බව ප්‍රකාශ කළා. එපමණක් නොවෙයි ලෙඩෙකුට නැති නම් මවුපියන්ට උපස්ථාන කොට මෙවැනි සම්පත් ලැබූ බව ඒ ඒ දෙවිවරුන් ගෙන් ම දැනගෙන බොහෝ අවස්ථාවල බුදුරදුන් හමුවේ සිව්වනක් පිරිසට දැන ගන්නට සැලැස්සුවා. දහස් සංඛ්‍යාත මිථ්‍යාදෘෂ්ටික ජනතාව පරිත්‍යාගශීලි සදාචාරාත්මක ජීවිත ගත කිරීමට පටන් ගත්තා.

මුගලන් හිමියන් නිසා වඩාත් පහර වැරදුනේ තීර්ථකයන්ටයි. ඒ නිසා වෛර බැඳගෙන පලිගැනීමට බලා සිටි ඔවුන්ට මුගලන් රහතන් වහන්සේ සිදු කොට තිබූ බලවත් අකුසලයක් මෙහි දී අවස්ථාව කොට ගත්තා . මුගලන් හිමියන් පෙර ආත්මයක පුදුම තරම් ආදරයෙන් වයසක මවුපියන් රැන ගෙන උපස්ථාන කරමින් සිටියා. ටික කලකට පසුව දුෂ්ඨ භාර්යාවගේ ද්වේෂ සහගත වදන් පිළිගත් ස්වාමි පුරුෂයා ඥාතීන් බැලීම සඳහා යැ යි පවසා මව්පියන් රථයක නංවාගෙන ගොස් කැලයක් මැද දී සොරුන් විසින් පහර දෙන්නේ යි හඟවමින් මව්පියන්ට ගසා තලා මරා දැම්මා. ඒ පහර දෙන අවස්ථාවෙහි මව්පියන්ගේ කටින් නිකුත් වූයේ වයසක අප මැරණාට කමක් නෑ පුතේ. නුඹේ ජීවිතය රැකගෙන පැන දුවපන් යන ආදරණීය වචන කීපයයි බලන්න මව්පිය සෙනෙහසක මහත!

මුගලන් හිමියන් කාලසිලාවේ වසද්දි තීර්ථකයන් කහවනු දහසක් සොරුන්ට දී මුගලන් හිමියන් මරණයට පත් කිරීමේ කාර්යය සඳහා මෙහෙය වූව ද එය දැනගත් මුගලන් හිමියන් ඍද්ධි බලයෙන් දෙවරක් බේරී ගියත් කළ කර්මයේ විපාකයෙන් බේරීමට නොහැකි බව වටහා ගත්තා. තෙවැනි වර සොරුන් මුගලන් හිමියන්ට පහර දී ඇට කුඩු කොට මරණීය තත්වයට පත් කළා. පසුව ඍද්ධි බලයෙන් බුදුරදුන් වෙත වැඩමවා අවසර ගෙන නැවත කාලසිලාවට වැඩමවා පිරිනිවන් පා වදාලා. අජාසත් රජතුමා එය දැන පරික්‍ෂා කොට සොරුන්ටත් ඔවුන් මෙහෙය වූ නිවටුන්ටත් තදබල දඩුවම් දී අවසානයේ ඒ සැම පුළුස්සා මැරුවා. ඍද්ධි බලයෙන් අග්‍ර වුවත් කළ කර්මයෙහි විපාක වැලැක්විය නොහැකි බව බුදුරදුන් මෙහි දී පෙන්වා දී වදාලා.අපේ ජීවිතය නියම මඟට යොමු කර ගැනීමට මුගලන් හිමියන්ගේ චරිතය උපයෝගි කර ගනිමු.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]