UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විනීතකම හොඳම විලාසිතාවයි

අපේ රටේ දියණිවරුන් සිටින පවුලක පියා හෝ උඩුකය නිරාවරණය කර නිවෙසේ සිටියේ නැහැ. ඒ විධියටයි ආදර්ශය ලබා දුන්නේ. දියණිවරුන් ද ඒ ආකාරයෙන්ම තම ඇඳුම් සම්බන්ධව හොඳින් දැනුම්වත් වුණා. මව, පියා ඒ දැනුම දියණිවරුන්ට, පුත්‍රයන්ට ලබා දුන්නා


පෙර රජ දවස පටන්ම අපේ සංස්කෘතිය හැඩ ගැසී තිබුණේ සංවරකමට, විනීතබවට මුල් තැනක් ලබා දෙමින්. අපේ හැදියාව සකස් වුණේ බෞද්ධ දර්ශනය අනුවයි. අප කටයුතු කළේ බුදු දහමට අනුකූලවයි.

ධම්ම පදයේ මේ ගාථාව බලන්න.

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඥාති
නිබ්බාණං පරමං සුඛං

ලොව තිබෙන ලොකුම ලාභය, පරම ලාභය ලෙස හඳුන්වා දී ඇත්තේ නිරෝගීකමයි. නිරෝගීකම, මනා පැවැත්ම උදෙසා බුදුරජාණන් වහන්සේ සිවුපසයක් අනුදැන වදාළා. භික්ෂූන් වහන්සේ උදෙසා සිවුපසය ලෙස හඳුන්වා දී ඇත්තේ චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලන්පසයි. මෙය ගිහියන්ගේ පැත්තෙන් බලනවිට ඇඳුම්, ආහාර, නිවාස සහ ඖෂධ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ සිවුපසය පමණ දැන නිසිපරිදි පරිභෝග කළ විට උතුම් වූ නිරෝගීකම රැකගත හැකියි. ඒ ආකාරයෙන් සිවුපසය හඳුන්වාදීමේදී මුලින්ම සඳහන් කර ඇත්තේ චීවර නැත්නම් ඇඳුම්. ආහාරයක් කුසට ගත්තත් නැතත් මේ ඇඳුමේ අවශ්‍යතාව ඉන් මැනැවින් වැටහෙනවා.

ඇඳුමේ ප්‍රධානම අරමුණ, අවශ්‍යතාව වන්නේ විලි වසා ගැනීමයි. තවත් ආකාරයකින් මෙය සීලය රැක ගැනීමටත් වන උපකාරයක් ලෙස පෙන්වා දිය හැකියි. සීලය කියන්නේ ‘ හීලෑ’ බවයි. කය, වචනය දෙකෙහි සංවරකමයි. අපගේ කය හීලෑ කර නොගතහොත් ප්‍රාණඝාතය, අන්සතු දේ ගැනීම සහ කාම මිථ්‍යාචාරය වැනි වැරැදි සිදුවීමට පුළුවන්. මෙසේ කයෙහි හීලෑ බව පමණක් නොවෙයි වචනයේ හීලෑ බව ඇති කර ගැනීමත් ඉතා වැදගත්. මේ සිල් ගුණය ඇතිකර ගත්තොත් තමයි මනැස හික්මවීමට, ඒ කියන්නේ භාවනාවට කෙනකුට යොමුවෙන්න පුළුවන් වෙන්නෙ. බුදුදහමේ ප්‍රධාන අරමුණු වන නිවනට ළඟා වෙන්න හැකියාව ලැබෙන්නෙත් එහෙම අයකුට පමණය.

දැන් මේ හීලෑකම, ශික්ෂණය අපෙන් ගිලිහී ගියොත් සිදුවන්නේ කුමක්ද ? තමන්ගේ මව, පියා, සහෝදරියන්, සහෝදරයන් හඳුනන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. මිනිසත් බවෙන් පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේ අපට ශීල සංවරය ඇති කර ගැනීම සඳහා මඟ පෙන්වීම සිදුකර තිබෙනවා. ඒ සඳහා උපකාරවත් වන එක් අංගයක් වන්නේ ඇඳුමයි. භික්ෂුන් වහන්සේ සඳහා නම් සිවුරු පරිභෝගයේදී කටයුතු කළ යුතු විධිය පෙන්වා දී තිබෙනවා.

භික්ෂූන් වහන්සේ සිවුරක් පොරවා ගැනීමේ මූලික අවශ්‍යතා වන්නේ මොනවාද ? මැසි මදුරු උවදුරුවලින් මිදීම, සර්ප දෂ්ඨ ආදියෙන් බේරී සිටීම මෙන්ම ශරීරය ආවරණය කර ගැනීමත් මූලික අරමුණු අතර වනවා.

ඇඳුම් ඇඳීමේදී ආවරණය විය යුතු අංග පහක් දක්වා තිබෙනවා. ඉන් පළමුවැන්න ගෙල පෙදෙසයි. එසේම දෙඅතේ වැළමිට සහ දෙපයේ දණහිස යන අංග සතර ද ආවරණය විය යුතුයි. මේ අංග පහ වැසී යන ආකාරයෙන් ඇඳුම් ඇඳීමට ආසියාකරයේ ජනතාව හුරුවී සිටියා. රජ දරුවකු වුවත් උඩුකය නිරාවරණය වූ විට ආභරණ මඟින් හෝ උඩුකය වැසීයෑමට සැලැස්වුවා.

අපේ බෞද්ධ දර්ශනයේ දැක්වෙන්නේ පෙර දැක්වූ අංග පහම වැසී යන ආකාරයෙන් ඇඳුම් ඇඳීම මඟින් තවත් අයකුගේ හැඟීම් උද්දීපනය වීම වළක්වා ලිය හැකි බවයි. ඇඳුමක් ඇඳීමේදී අප ඒ ඇඳුම නිසා සංවරයට හානියක් වේදැයි සිතා බැලීම වැදගත්.

පන්සලකට යෑමේදී සුදුවතින් සැරැසී යා යුතු නිසා බොහෝ දෙනා සුදුවතින් සැරැසී යනවා. එහෙත් සමහරු, විශේෂයෙන්ම ඇතැම් කාන්තාවන් තමන්ගේ මුළු සිරුරම පිටතට පෙනෙන දුහුල් ඇඳුමෙන්, නැත්නම් කිටි කිටියේ ඇඟට හිරවුණු ඇඳුමෙන් සැරසිලා යනවා. මේවා දකින අයගේ කාමාස්වාදයන් උද්දීපනය වනවා. සිතේ සැනසුමක් ඇතිකර ගන්නට පන්සලට එන පිරිස තුළ තමන් නිසා ඕනෑකමින්ම කාම විතර්ක මතු කිරීමට උත්සාහ කිරීම ගෞරවනීයකමක් නොවෙයි. ඒ ආකාරයේ අසංවරකමක් ඇඳුමේ තිබෙනවා නම් ඒ ඇඳුම සුදුපාට වීමෙන් පමණක් වැඩක් තිබෙනවාද ?

ලෝකයේ සම්මත අදහසක් තමයි ඇඳුම් නොමැති වූ විට අවලස්සනම සත්වයා මිනිසා බව. අනෙක් කිසිම සතකුට ඇඳුම් ඇන්දුවාට ලස්සන නැහැ. එහෙත් ඇඳුම අත්‍යවශ්‍යම මිනිසා තම ඇඳුම නිසියාකාරව පරිහරණය නො කළහොත් සිදුවන්නේ ගැටලු මතුවීම පමණයි. එසේනම් අපේ අවලස්සන, නැත්නම් කැත පෙන්වීමට උත්සාහ දරන්නේ ඇයි ? අනිවාර්යයෙන්ම වසාගෙන සිටියයුතු ශරීරාංග අප ආවරණය කරගත යුතුයි නේද ?

හින්දි නළු නිළියන් ආකාරයෙන් ඇඳුම් පරිහරණය කිරීමට යෑමෙන් ඇතැම් විට අපගේ තරුණ දූ දරුවන් තම අවලස්සනකම ප්‍රදර්ශනය කරන අවස්ථා තිබෙනවා. අපට අනුකරණය අවශ්‍යයි. එහෙත් එය අපේ රටට, සංස්කෘතියට ගැළැපෙනවා ද යන්න සිතා බැලීමේ බුද්ධිය අපට තිබිය යුතුයි.

නාන කාමරයේ ඇඳුම බස් රියේ ඇඳගෙන යනවනම්, රාත්‍රි ඇඳුම පොළේ ඇඳගෙන යනවනම්, පිහිනුම් තටාකයේ ඇඳුම තවත් තැනක අඳිනවනම් කුමක්ද සිදුවන්නෙ? අපේ රටේ දියණිවරුන් සිටින පවුලක පියා හෝ උඩුකය නිරාවරණය කර නිවෙසේ සිටියේ නැහැ. ඒ විධියටයි ආදර්ශය ලබා දුන්නේ. දියණිවරුන් ද ඒ ආකාරයෙන්ම තම ඇඳුම් සම්බන්ධව හොඳින් දැනුම්වත් වුණා. මව, පියා ඒ දැනුම දියණිවරුන්ට, පුත්‍රයන්ට ලබා දුන්නා.

කාව්‍යශේඛරයේ පහත සඳහන් කවියෙන් දක්වා ඇත්තේ ද දියණියකට ලැබුණු උපදෙස් පෙළක්.

නොකියා සිය හිමිට
නැතිව ද උතුරු සළුපට
ගමන් ඉක්මන් කොට
නොයන් නුඹ වසන ගෙන් පිටතට

උතුරු සළුව නැතිව ගෙයින් පිටතට යෑම ද එවකට අශීලාචාර බවක් පෙන්නුම් කර ඇතැයි මෙම කවෙන් වටහා ගත හැකි වනවා. අද නිවෙසේ සිටින මවත් පියාත් කොට කලිසම් ඇඳ සිටිනවා නම්, ඇතැම් විට ඒ ආකාරයෙන්ම ගෙයින් පිටතටත් යනවානම් දුවට, පුතාට ඔවදන් දෙන්නේ කෙසේද ? මුලින්ම මව, පියා ඇතුළු වැඩිහිටියන්ගේ ඇඳුම්වල සංවරයක් තිබිය යුතුයි.

අපේ විලාසිතා නිර්මාණය කරන අයත් මේ ගැන සිතා බැලීම අවශ්‍යයි. වැඩිදුර නො සිතා, නො බලා ඒ විලාසිතා කර තබා ගන්නා පිරිසත් මේවැනි ඇඳුම් පැලැඳුම් තමන්ට, රටට, සංස්කෘතියට ගැළැපෙනවාද කියා කල්පනා කර බැලිය යුතුයි. චිත්‍රපටයක් වුණත් එළි දක්වන්න කලින් මණ්ඩලයක් මඟින් එහි සදාචාරාත්මක බව ගැන හොඳින් සොයා බලනවා. එහෙත් අපේ රටේ කොතැනද ඇඳුම් සම්බන්ධව, විලාසිතා සම්බන්ධව අධීක්ෂණයක් තිබෙන්නෙ? රටේ ඕනෑම තැනක ඇඳුම් මෝස්තර වැඩසටහන් පවත්වන්න නිදහස තිබෙනවා. මේ ආදී නොයෙක් වැඩසටහන්වල සදාචාරාත්මක පාර්ශවය ගැන නිසි සොයා බැලීමක් තිබෙනවාද ? මේ ක්‍රමවේදය රටට, සංස්කෘතියට ගැලැපෙනවා ද කියා බලන්නෙ කවුද ?

අනෙක් කරුණ, අපේ තරුණ තරුණියන් වගේම ඇතැම් වැඩිහිටියනුත් අවුරුද්දක් ළං වෙනකොට නත්තලක් ළං වෙනකොට රෙදි කඩ සොයාගෙන යන්නෙ කවදාවත් ඇඳුම් ඇන්දේ නැති ගණනටයි. අපි වාණිජත්වයට හසු නොවී අපට තිබෙන විධියට ඇඳුම් පැලැඳුම් ඇන්ද පැලැන්ද යුතුයි. විලාසිතා කරන්න එපා කියන අදහසක් නොවෙයි මෙයින් ඉදිරිපත් කරන්නේ. මේ කරන විලාසිතා අපේ සංස්කෘතියට රටට ගැළැපෙන ආකාරයට යොදා ගැනීමයි බෙහෙවින්ම වැදගත්.

 
නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 11.35 ට ලබයි.
15 වන දා බදාදා පූර්ව භාග 9.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 21 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]