Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වරකාව ශ්‍රී සුන්දරාරාම පුරාණ විහාරය


සැතපෙන බුදු පිළිම වහන්සේ

කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ආසනයේ පස්බාගේ කෝරලේට අයත් ශතවර්ෂයකට වඩා පැරැණි විහාරස්ථානයකි ශ්‍රී සුන්දරාරාම පුරාණ විහාරය. මෙය 1898 ආරම්භ කර ඇත. නාවලපිටිය මහනුවර මාර්ගයේ වරකාව ගම්මානයේ පිහිටා ඇති සුන්දරාරාම විහාරයේ දර්ශනීය විහාර මන්දිරය ඉදිකිරීමට මුල්ගල තබා ඇත්තේ 1931 වසරේ දී ය. පිළිමයන්හි නේත්‍රා ප්‍රතිෂ්ඨාපණය කිරීම 1944 සිදුකර ඇත.


චෛත්‍ය රාජයා

මෙම විහාරස්ථානයේ ප්‍රධාන මූලස්ථානය ගම්පොල කොබ්බැවල පුරාණ විහාරස්ථානයි. බඹරගල ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස පන්සල් වත්ත නිදහස් කර ගෙන විහාර මන්දිරයක් බෝධි ප්‍රාකාර බැම්ම ඉදිකර ඇත. පසුව උන්වහන්සේ දුනුකේවිල ශ්‍රී ස්වර්ණජෝති හිමියන්ට කොබ්බැවල විහාරය භාර දී වරකාව සුන්දරාරාම විහාරයට පැමිණ අපවත්වන තුරුම එහි වැඩ වාසය කළහ.

1949 ශ්‍රී සුමංගල හිමියන් අපවත් වීමෙන් පසු දුනුකේවිල ස්වර්ණජෝති හිමියෝ වරකාව සුන්දරාරාම විහාරාධිපති බවට පත් වූහ. 1959 විහාරස්ථානයේ ධර්ම ශාලාව ඉදිකර ඇත. දානශාලාව සාදා ඇත්තේ 1970 දී ය. මෙහි වැඩ සිටි බඹරගල ශ්‍රී රතනජෝති හිමි ශ්‍රී සුධර්ම දහම් පාසල ආරම්භ කර ඇත.


පිවිසීමේ දොරටුව

1971 දී පූජ්‍ය දුනුකේවිල ස්වර්ණජෝති හිමි අපවත්වීමත් සමඟ විහාරාධිපති ලෙස බඹරගල ශ්‍රී රතනජෝති හිමියෝ පත් වූහ. උන්වහන්සේ මුළු ප්‍රදේශයේ ජනතාවගේ ගෞරව උපහාරයට පාත්‍ර වෙමින් වසර 67 ක් ශාසනික සේවය සිදු කරමින් 2007 දී චෛත්‍ය රාජයා ගොඩනංවා ඇත.


බෝධීන් වහන්සේ

එම වර්ෂයේම අලි ඇතුන් සහිත විචිත්‍රවත් පොසොන් පෙරහරද පවත්වන ලදී. කැන්දගොල්ල සුධර්මානන්ද හිමියන් සමඟ එකතුව වාහල්කඩ සඳහා මුල්ගල තබා 2008 උඳුවප් මස එය විවෘත කරන ලදී. වරකාව සුන්දරාරාම විහාරය නාවලපිටිය නගර සීමාවේ කාගෙත් සිත් ඇද ගන්නා පින් බිමකි. ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් බවට මෙය පතවී තිබේ. පස්හිගේ කෝරලේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සහ සංවර්ධන කටයුතු භාර විහාරාධිකාරී ලෙස පූජ්‍ය කැන්දගොල්ල සුධම්මානන්ද හිමියන් මෙම විහාරස්ථානය දිනෙන් දින සංවර්ධනය වෙත යොමු කරවයි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.