Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බක බ්‍රහ්ම දමනය

මාරය, නුඹට හිතෙනවා ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් කෙනෙකුට ධර්මය දේශනා කරනවාද ඒ ධර්මය ඇසූ අය මාගේ වසඟයෙන් ගැලවී යනවා නේද කියා. මාරය, මේ ලෝකයේ සම්මා සම්බුද්ධ නොවී අරහත්වයට පත්නොවී ඇතැම් ශ්‍රමණයන් බ්‍රහ්මයන් අරහත්, සම්මා සම්බුද්ධ යි කිවුවා තමයි. නමුත් තථාගතයන් වහන්සේ අරහත්, සම්මා සම්බුද්ධ ලෙස ප්‍රතිඥා දෙන්නේ අවබෝධ ඤාණය තුළිනුයි

බ්‍රහ්මයාගේ අදහස අසා භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔව්බ්‍රහ්මය ඒක හරි. මම දන්නවා පඨවි, ආපෝ, තේජෝ,වායෝ ධාතුවේ බැසගෙන සිටියොත් සත්ත්වයන් තුළ, ප්‍රජාපති තුළ බ්‍රහ්මයා තුළ බැසගෙන සිටියත් ඔය කියූ දේ තමයි සිදුවන්නේ. ඒ වගේම බ්‍රහ්මය මම දන්නවා ඔබට කෙතරම් බලසම්පන්නකමක් ආනුභාවයක්, මහේශාක්‍යකමක් තිබෙනවාද කියා.

නිදුකාණෙනි, මා කොතරම් බලසම්පන්න ද කියා ඔබ දන්නේ කොහොමද?

බ්‍රහ්මය, තථාගතයන් වහන්සේ සත්ත්වයන් හට ගැනීම අවබෝධ කළා. දෙවියන් කවුද, ප්‍රජාපති කවුද අවබෝධ කළා. සියලු ලෝක අවබෝධ කළා. ඒ සියලු ලෝක කෙරෙහි සිත බැස ගන්නේ නැහැ. ඒ කිසිවක් මමය, මාගේය, මගේ ආත්මය ලෙස ගන්නෙත් නැහැ. ඒ නිසා බ්‍රහ්මය ඔබේ අවබෝධය යි තථාගතයන් වහන්ස්ගේ අවබෝධය යි අතර විශාල වෙනසක් තිබෙනවා. ඒ වගේම බ්‍රහ්මය, සාමාන්‍ය කෙනෙකුගේ විඤ්ඤාණය බීජයක් වගේ. බීජය පොළොවේ තිබෙනවා වගේම මේ විඤ්ඤාණය සතරමහ, ධාතුන්ගෙන් හටගත් රූප, වේදනා, සංඥා, සංස්කාරයන්හි බැසගෙන තිබෙන්නේ. එහි පැලවෙන මේ බීජය තෙත් කරන්නේ තණ්හාවයි. සාමාන්‍ය මනුස්සයෙකුගේ, දෙවියන්ගේ ප්‍රජාපතිගේ, මහ බ්‍රහ්මයාගේ විඤ්ඤාණය ස්වභාවයත් මේ වගෙයි. කර්මය තමා කුඹුර. විඤ්ඤාණය බීජයයි. තෘෂ්ණාව තමයි තෙත් කර දෙන වතුර. මේ ස්වභාවයෙන් යුතු දේ වෙනස් කර දෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින්. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සොයා ගෙන අවබෝධ කර ගෙන එය අනුගමනය කර ප්‍රගුණ කිරීම නිසා මාගේ ආර්ය මාර්ගය සම්පූර්ණ වුණා. ආර්ය මාර්ගය සම්පූර්ණ වී විමුක්තියට පත් වූ නිසා විඤ්ඤාණ බීජ ස්වභාවය නැතිවුවා. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් වැසුණු විඤ්ඤාණයට අනන්තයක් පනවන්න බැහැ. හැම අයුරින්ම ප්‍රභාස්වරයි. නො ඇලෙන සිතින් යුක්තයි. දෙවියන්ගේ දිව්‍ය භාවය සමඟ හෝ ප්‍රජාපතිගේ ප්‍රජාපතිභාවය සමඟ හෝ, බ්‍රහ්මයාගේ බ්‍රහ්ම භාවය සමඟ හෝ එකතු වී නැහැ. එනිසා තථාගතයන් වහන්සේ සියල්ලන්ගෙන්ම නිදහස් වෙලා සියල්ලටම අයත් නොවී සිටින්නේ. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය විනාශවෙලා මහ රහතන් වහන්සේ පිරිනිවී යන්නේ පහනක් නිවී යන ලෙසයි.

ඒ සමඟ මේ බක බ්‍රහ්මයාට තේරුණා තමා ඉදිරියේ සිටින භික්ෂුව සමඟ වාද කර දිනන්නට බැරි බව. ඔහු කියනවා නිදුකාණෙනි, මම දැන් මෙතැනින් අතුරුදහන් වෙනවා. ඔබ පුළුවන්නම් නවත්වන්න. එවිට තථාගතයන් වහන්සේ උන්වන්සේගේ බලයෙන් මහ බ්‍රහ්මයාව වසඟ කොට වදාළා හොඳයි ඔබ අතුරුදහන් වන්න කියා. බක බ්‍රහ්මයා සිතුවා ගෞතමයන් ඉදිරියෙන් මා නොපෙනේවා කියා. නමුත් එසේ වූයේ නැහැ.

ඔබට බැරි වූ දේ මා කරන්නම් කියා ඒ සැනෙකින් තථාගතයන් වහන්සේ නොපෙනී ගියා. අධිෂ්ඨාන කළා මේ පිරිසට මා නොපෙනී කියන දේ පමණක් ඇසේවා කියා. එවිට බ්‍රහ්මයන්ට ඇසෙනවා “මේ ඉපද ඉපද මැරෙමින් යන භවයේ ඇත්ත ස්වභාවය, භයානක ස්වභාවය, අන්තරාදායක ස්වභාවය දැක මේ භවයෙන් නිදහස් වන්න. නැවත නැවත භවයට වැටෙන ස්වභාවය මම කඩා දැම්මා. මේ භවයට ඇලුම් කරන්නේත් ආශා කරන්නේත් නැහැ. මේ කිසිවෙකුගේ ග්‍රහණයට හසු නොවී මම නිදහස් වුණා.

ඒ වදන් අසා මහ බ්‍රහ්මයයි බ්‍රහ්මයෝ සියලුම දෙනායි මහ පුදුමයට පත්වුණා. ඒ අයට කියවුණා “භවත්නි මෙය මහා ආශ්චර්යක්. ශ්‍රමණ ගෞතමයන්ගේ මහ සෘද්ධි මහානුභාවය නම් හරිම පුදුම සහගතයි. මනුස්ස ලෝකයේ උපන්, මිනිසුන් අතර හැදී වැඩුණු ආශ්චර්යවත් වූ මනුස්සයෙක්. මේ භවයට ඇලුන භවයේ ගිලුණු භවයෙන් සතුටු වන ලෝකයේ සියලු භව තෘෂ්ණාව උදුරා හළ ශ්‍රමණයන් වහන්සේ නමක් ගැන අප මීට පෙර දැක හෝ අසා නැහැ නෙව’’ කියමින් ඔවුන් කථාවුණා.

එවිට මාරයා නැවත එක් බ්‍රහ්මයෙකුට ආරූඪ වුණා. ඔහු කියනවා නිදුකාණෙනි, ඔබ කියන කථාවේ ඇත්තක් තිබෙනවා. ඔබ බුද්ධත්වය ලැබු බව මේ කරුණු වලින් පේනවා. දැන් එය ඔබට පමණක් තබා ගන්න. ශ්‍රාවකයෝ හදන්න යන්න එපා. ශ්‍රාවකයන්ට, පැවිද්දන්ට ධර්මය කියන්නත් එපා. ශ්‍රාවකයන්ට, පැවිද්දන්ට ඇලෙන්නත් එපා. භික්ෂුව ඔබට පෙරත් ශ්‍රමණ බ්‍රහ්මවරු සිටියා. ඒ අයත් කිව්වා තමා අරහත් සම්මා සම්බුද්ධ යි කියා. ඒ අයත් ශ්‍රාවකයෝ සොයා ගෙන ගොස් ධර්මය කියා ඔවුන්ට ඇලුම් කළා. ශ්‍රාවකයන්ට ඇලුම් කර ගෙන වාසය කළ නිසා ඒ අය මරණෙන් පසු අපාගත වුණා.

ඒ වගේම භික්ෂුව අතීතයේ අරහත් සම්මා සම්බුද්ධයි කියා තවත් ශ්‍රමණ බ්‍රාහ්මවරු සිටියා. ඒ අය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළේ නැහැ. ශ්‍රාවක පිරිස සසරින් එතෙර කරවන්න ඕන කියා සිතුවේ නැති නිසාත්, ශ්‍රාවකයන් කෙරෙහි ඇල්මක් නැතිව සිටි නිසාත් ඒ පිරිස මරණෙන් මතු සුගතියේ ඉපදුනා. එනිසා භික්ෂුව මම ඔබට කියන්නේ අනෙක් අයට අවබෝධ කරන්නට උත්සාහ ගන්න එපා. සුවසේ වාසය කරන්න’’ යැයි මාරයා වැසුන බ්‍රහ්මයා තථාගතයන් වහන්සේට පැවසුවා.

පවිටු තැනැත්ත මම ඔබගැන දන්නවා. නුඹ තමයි මාරයා. නුඹ ඔය කියන්නේ මා කෙරෙහි අනුකම්පාවෙන් නොවේ. අයහපත් ඇති කරන අදහසින්. මාරය, නුඹට හිතෙනවා ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් කෙනෙකුට ධර්මය දේශනා කරනවාද ඒ ධර්මය ඇසූ අය මාගේ වසඟයෙන් ගැලවී යනවා නේද කියා. මාරය, මේ ලෝකයේ සම්මා සම්බුද්ධ නොවී අරහත්වයට පත්නොවී ඇතැම් ශ්‍රමණයන් බ්‍රහ්මයන් අරහත්, සම්මා සම්බුද්ධ යි කිවුවා තමයි. නමුත් තථාගතයන් වහන්සේ අරහත්, සම්මා සම්බුද්ධ ලෙස ප්‍රතිඥා දෙන්නේ අවබෝධ ඤාණය තුළිනුයි. එනිසා මාරය, තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළත් ධර්මය දේශනා නො කළත් සම්මා සම්බුද්ධමයි. ශ්‍රාවකයන් සොයාගෙන ගියත් ශ්‍රාවකයන් සොයා නො ගියත් සම්මා සම්බුද්ධමයි. එයට හේතුව නුඹ දන්නවා ද? තථාගතයන් වහන්සේට නැවත භවයේ උපද්දවන දුක් කරදර සහිත ජරා මරණ හට ගන්න ආශ්‍රව නැහැ. ඒ ආශ්‍රව මුලින්ම සිඳලයි තිබෙන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම “අරහං සම්මා සම්බුද්ධ”යි කියා ඒ බ්‍රහ්ම පිරිස ඉදිරියේ වදාළා. මේ ආකාරයට තථාගතයන් වහන්සේ බොහෝ ධර්ම කරුණු විවෘත කොට බක බ්‍රහ්මයාගේ දෘෂ්ඨියත්, මාන්නයත් බිඳ ඔහු ඇතුළු පිරිස දමනය කොට මනු ලොවට වැඩියා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.