UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් කැකුළු

අත් අකුරු තරඟයෙන් ජය නේපාල සාමණේර නමකට

නේපාලයේ කත්මණ්ඩු නගරයෙහි ස්වයම්භු ආනන්දකුටි විහාරාධිපති නේපාලයේ කුමාරකාශ්‍යප නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වන නේපාලයේ සාමණේරයන් වහන්සේ උඩරට අමරපුර මහා නිකායේ අනුනායක ධුරන්ධර සාහිත්‍යාචාර්ය මහෝපාධ්‍යාය අත්තරගම වජිරජෝති නාහිමියන් වහන්සේගේ භාරකාරත්වය යටතේ මහනුවර හරන්කහවේ හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් විද්‍යායතනයේ වැඩ වෙසෙමින් වලගම නාරද මාහිමියන් වහන්සේගේ ආධිපත්‍යයෙන් පවත්වාගෙන යනු ලබන මහනුවර හරන්කහවේ පතිරාදේ ශ්‍රී සංඝානන්ද මූලික පිරිවෙනේ ඉගෙනීම ලබමින් සිටියි.

උන්වහන්සේ පාරිවෙණික සිසුන්ගේ අත්අකුරු පරීක්‍ෂණය පිළිබඳ දිස්ත්‍රික් තරගයෙන් ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය ලබා සමස්ත ලංකා පාරිවේණික සිසුන්ගේ අත්අකුරු පරීක්‍ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත් වී ප්‍රථම ස්ථානය දිනා ගත්හ. ලංකාවට පැමිණි නොබෝ කලකින් සිංහල උගත් සාමණේරයන් වහන්සේ දැක්වූ දක්ෂතාවය අගේ කරන අතර මේ කුඩා ස්වාමීන් වහන්සේට දිගාසිරි ලැබේවා කියා ද ප්‍රාර්ථනා කරමු.


සමිඳුනි, දළදා

දළදා සමිඳුන් හරි කරුණාවෙන්
වැඩ හිඳිනා වාගෙයි
බුදු සමිඳුන් දෙසු දහම් කඳ
සිතට අරන් වාගේ

සසරින් එතරට – යන්ට සිතේ මට
දලඳා හිමියන්! – වැද වැටිලා
වැඩිය අගෙයි නොවැ - සමිඳු දෙසූ බණ
නිදි මෙත් සරහන – මගේ සිත දැකලා
 


මගේ දහම් පාසල

මගේ දහම් පාසල හල්පෙ ශ්‍රී ධම්මවංස ධර්ම විද්‍යාලයයි. එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මගේ දහම් පාසලේ ගුරුවරු සහ සිසුන් ගොඩක් සිටිති. මා දහම් පාසල් යන්න හරිම ආසයි.


කල්‍යාණ මිතුරන් ඇසුරු කරමු

‘අසේවනාච බාලානං
පණ්ඩිතා නංච සේවනා’

මේ බුදු වදනයි

ලොව ජීවත්වන අප කිසිවෙකුටත් තනිව ජීවත් විය නොහැකිය. කුඩා කල සිටම ඉතා සමීප වන්නේ මාපියන් හා සහෝදර සහෝදරියන්ය. පාසල් සමය ඇරැඹුණු පසු ගුරුවරු මෙන්ම මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට ලැබේ. මිතුරන් වශයෙන් ඇසුරු කරන අය දුක, හා සැපතේදී එක්වී සිටින අයයි.

අපේ උදවු උපකාර හා වෙනත් ලාභ ප්‍රයේජන බලාපොරොත්තුවෙන් අප සමඟ මිතුරුකම පවත්වනවා නම් ඔවුන් අසත්පුරුෂයන්ය. කල්‍යාණ මිතුරෝ අප පිරිහීමකට පත් නොකරති. අප විනාශයට පත් කරන මිතුරන්ගෙන් අප දුරස් විය යුතුය. උගත් ධනවත් දරුවන් පවා මෙවැනි මිතුරන්ගෙන් පිරිහීමට පත්වෙයි. කල්‍යාණමිතුරෝ පි‍්‍රය වචන කතා කරති. එලොව මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමට නම් කල්‍යාණ මිතුරන් ඇසුරු කළ යුතුය.


අනේපිඬු සිටුතුමා

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමයේ ඉතාමත්ම වැදගත් චරිතයක් ගත කළ උත්තමයෙකු ලෙස අනේ පිඬු සිටුතුමා හැඳින්විය හැකිය. සැවැත් නුවර ජීවත්වූ අනේපිඬු සිටාණෝ එක් දිනක රජගහ නුවරට පැමිණි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගැන අසා පසුදා හිමිදිරියේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සීත වනයට ගොස් බුදුහිමි දැක දහම් අසා සෝවාන් විය.

බුදු හිමිට සැවැත් නුවරම වැඩ වාසය කිරීමට ආරාමයක් සෑදීමට සුදුසු තැනක් සෙවූ අනේ පිඬු සිටුතුමා ජේත නම් කුමරාට අයිති එම භූමියේ කහවණු අතුරා එම කුමරා සතුටුකොට ඒ වෙනුවෙන් ඇතුරූ දහ අට කෝටියක් කහවණු ජේත කුමරාට පරිත්‍යාග කොට ඒ භූමියේ තවත් කහවණු දහඅට කෝටියක් වැය කොට ජේතවනාරාමය කරවීය. සිය ගණන් ගැල් යොදවා නගරයෙන් නගරයට ගොස් ධාර්මික වෙළඳාම මගින් විශාල ධනස්කන්දයක් මොහුට හිමිවුවත් මොහුගේ නිහතමානීකම ජීවිතයටම වෙනස් නොවීය.

අනේපිඬු සිටුතුමා තිස්හය කෝටියක් වැය කර ජේතවනාරාමය සෑදීමට පෙළඹුනේ සැවැත් නුවර කෝටි හතක් ජනතාව විසූ බවත් එයින් කෝටි පහක් මාර්ගඵල ලැබූ බවත් මෙයින් වැඩි පිරිසක් ජේතවනාරාමය ඇසුරු කොටගෙන ඇති බවත් පැවසේ. ගැල් සිය ගණනක් සතු මහා වෙළඳ ව්‍යාපාරයක් හිමි සැවැත් නුවර ලොකුම ධනවතා මොහු වුවද එය පසෙක දමා දිනපතාම බුදු හිමි බැහැ දැකීම මොහුගේ සිරිතවන අතර බුදුරදුන් ප්‍රමුඛ මහා සඟ රුවනට දුගී මගී යාචකයන්ට නිතරම දන් දීමද මොහුගේ සිරිත විය.

සියලු දේ අනියත බව පෙන්වමින් මෙතුමාගේ අවසාන කාලයේ ධන සම්පත් හීනවී සේවක සේවිකාවන් ඉවත් වී එක සේවකයෙකු පමණක් ඉතිරි වූ බවත් තමන් රෝගී අවසාන අවස්ථාවේදී එම සේවකයා බුදු හිමි හමුවට යවා තමන් ගිලන්ව සිටින බව බුදුහිමියන්ට දන්වා සිටුවරයාගේ අවසාන අවස්ථාවට සැරියුත් මහ රහතන් වහන්සේ හා ආනන්ද හිමියන් වැඩම කරවා ගත් බව පැවසේ. දන් දෙන්නන් අතර අග්‍ර ස්ථානය ලැබූ අනේපිඬු සිටුතුමාගේ නාමය අමරණීයයි.


දුවේ ! පුතේ !

තෙරුවන් නමදිමු

දයාබර දුවේ, පුතේ මල් වැනි පුංචි ඔබ විටක මලින් මලට පියාඹන සමනළ පැටවු වගෙයි. ඔබේ දඟකාර බව පුංචි කමට උරුම දෙයක්.

ආදරණීය දුවගේ පුතාගේ පුංචි සිත් සන්සුන් කරගෙන දොහොත් මුදුන් තබා උදේ, සවස බුදුන් නමදින්න. සිප් සතර හදාරන බොදු දරුවෙක් වූ ඔබට තෙරුවන් නැමදීමෙන් ලැබෙන ආශිර්වාදය ජීවිතයට මහත් ආලෝකයක් වේවි.

නමාමි බුද්ධං ගුණ සාගරන්තං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

නමාමි ධම්මං සුගතෙන දේසිතං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

නමාමි සංඝං මුණිරාජ සාවකං
සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජි ගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

මෙම ගාථා කියමින් එහි තේරුම සිතෙහි දරා ගන්න. පුතේ දුවේ බුදු සමිඳුගේ ගුණ මහා සාගරයකටත් වඩා වැඩියි. ‘බුදු ගුණ අලංකාරය’, ‘ලෝ වැඩ සඟරාව‘ බුදු ගුණ අගයනවා.

මහා කාරුණික වූ බුදුරදුන් නැමැද බුදු මැදුරක් සේ තැන්පත් වූ ඔබ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා’යි සිතමින් මෙත් වඩන්න. කුලාවක ජාතකයේ දැක්වෙන ඇතුන් ලවා පාගවා මරවන්න හැදූ මඝ කුමාරයා ඇතුළු ඔහුගේ යාළුවෝත් මෙත් වැඩීමේ බලයෙන් ජය ලැබුවා.

ආදරණීය දුවේ, පුතේ මේ කය කෙතරම් බාහිරව පිරිසුදු කළත් මේ සිරුර හරිම පිළිකුල් සහගතයි. ඒ පිළිකුල් සහගත සිරුරේ වන ඔබගේ සිත තුණුරුවන්ගේ ගුණ මෙනෙහි කර සුවපත් කර ගන්න. පිරිසුදු රෙදි කඩක් ගෙන ‘රජෝ හරණං’ කියමින් පිරිමැද එය කිලිටු වන දෙස බලා කයේ අපිරිසුදු බව හොඳින් වටහා ගත් චුල්ල පන්ථක පොඩි හාමුදුරුවෝත් කුඩා කලදීම රහත් වුණා.

ඔබ තෙරුවන් නැමැද, බුදු සමිඳුට පුදා පරවෙන මල් දෝත මෙන් ඉපදුන සෑම කෙනෙක්ම මරණයට පත්වන බව සිතන්න. ජීවිතයේ අනියත බව පහදා දුන්න බුදුසමිඳුන් පිරිනිවන් පාලා වසර 2555 ක් ගතවෙලා. ඒත්, දුවේ, පුතේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය, සංඝරත්නය තවමත් ජීවමානයි. මේ ගැන සිතන තුණුරුවන් කෙරෙහි පැහැදුන ඔබ කිසි විටක පාපයට නැඹුරු වන්නේ නැහැ. මල් සුවඳට වඩා සිල් සුවඳ බලවත් බව බුදුන් වහන්සේත් දේශනා කළා. මේ ගැන සිතමින් තෙරුවන් නමදින ආදර්ශවත් ගුණාංගයන්ගෙන් සුවඳවත් වූ පින්වත් දුවට, පුතාට තුණුරුවන්ගේ සරණ ආශිර්වාදය ලැබෙනවා.


ඔබේ ළමා නිර්මාණ සහ චිත්‍ර
දහම් කැකුළු
‘බුදුසරණ’ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස්, කොළඹ ලිපිනයට යොමු කරන්න

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 22 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]