Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාධිගත සිතින් සත්‍යාවබෝධයට

බුද්ධ ධර්මයේ විශේෂ වචනයක් තිබෙනවා “ඉන්ද්‍රිය සමතාවය” කියා. ඒ තමයි ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගැනීම. කුසල සිතෙහි ප්‍රමුඛව ක්‍රියාත්මක වන සිතිවිලි පහක් තමයි මෙහිදී ඉන්ද්‍රිය ධර්ම කියා සඳහන් කරන්නේ.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත් ඒ ගාම්භීර ධර්මයේ සඳහන් වන ‘සෝණ සූත්‍රය’ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වර්ගයට අයත්.

තථාගතයන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වසද්දී සෝණ නමින් හිමිනමක් දැඩි වීර්යකින් භාවනා පුරුදු කළා. දැඩි කැපවීමකින් සක්මන් භාවනාවේ යෙදෙන මේ හිමියන්ගේ යටිපතුල් පැලී ලේ ගැලුවා. යටි පතුල් පැලුණත් උන්වහන්සේ උත්සාහය අත නොහැර දණ ගාමින් භාවනා කළා. එසේ කෙතරම් වීර්ය කළ ද කිසිදු මාර්ගඵලයක් උපදවා ගන්නට උන්වහන්සේට නොහැකි වූණා.

දිනක් සෝණ හිමියන් සිතනවා මේ ලෝකයේ බුද්ධ ශාසනය තුළ යම්තාක් වීර්යවන්ත භික්ෂූන් වහන්සේ කවුරුන් හෝ ඇත්නම් ඒ අතරින් මමත් එක් අයෙක්. නමුත් මෙතරම් වීර්යයකින් කැපවීමෙන් භාවනා සිදු කළත් මට තවමත් මාර්ගඵලයක් ලබා ගන්නට නො හැකි වුණා. එනිසා මම සිවුරු හැර ගිහි ගෙදර ගොස් පින් දහම් කරගෙන සුවසේ ජීවත්වෙනවා යැයි සිතා සිත මන්දෝත්සාහයට පත් කර ගත්තා.

මේ සිතිවිල්ල භාග්‍යවතුන් වහන්සේ දිවැසින් දුටුවා. උන්වහන්සේ මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යාඥයා. මේ හිමියන්ගේ මානසිකත්වය තේරුම් ගෙන බොහෝ අනුකම්පාවෙන් හැකුලු අතක් දිග හරින්නට යන කාලයකදී සෝණ හිමියන් වාසය කළ සීත වනයේ ඒ හිමියන්ගේ ඉදිරියේ පෙනී සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා

’පින්වත් සෝණ ඔබ ගිහි කළ දක්ෂ වීණා වාදකයෙක් නේද?’’

‘’එසේය ස්වාමිනි!’’

‘’සෝණ වීනා වාදනය කරන ලද කල්හී වීණාවෙහි තත් ඉතා තද වූ විට හොඳින් වීණාව වාදනය කළ හැකිද?”

“ස්වාමිනී එසේ වූ කළ වීණාව හොඳින් වාදනය නොවේ”

“සෝණ වීණාවෙහි තත් ඉතා ලිහිල් වූ කල්හි හොඳින් වාදනය වේද?”

“එසේත් කළ නො හැකියි ස්වාමිනි!’’

‘’සෝණ වීණාවෙහි තත් ඉතා තදත් නැති කල්හි ඉතා ලිහිලුත් නැති කල්හී වීණාව හොඳින් වාදනය කළ හැකියි. ඒ ආකාරයට සෝණ මේ සාසනයෙහි ප්‍රතිපත්ති පුරන භික්ෂූන් වහන්සේ කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරන විට එය සම මට්ටමෙන් පවත්වා ගත යුතුයි අවවාද කළා.

බුද්ධ ධර්මයේ විශේෂ වචනයක් තිබෙනවා “ඉන්ද්‍රිය සමතාවය” කියා. ඒ තමයි ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගැනීම. කුසල සිතෙහි ප්‍රමුඛව ක්‍රියාත්මක වන සිතිවිලි පහක් තමයි මෙහිදී ඉන්ද්‍රිය ධර්ම කියා සඳහන් කරන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන පංච ඉන්ද්‍රිය ධර්මයන් පහයි.

යම් සිතක් කුසලයට නැඹුරු කරන්න නම් ඒ සිත තුළ ශ්‍රද්ධාව තිබිය යුතුයි. තුණුරුවන් කෙරෙහි කරුණු අවබෝධයෙන් ඇතිකර ගන්නා වූ ප්‍රසාදය විශ්වාසය ශ්‍රද්ධාවයි. විරිය ඉන්ද්‍රිය යනු - නිවන පිණිස මෙහෙයවන කැපවීමත් , වීර්යයත්. වීර්යය සිතිවිල්ලක් නොමැති නම් ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට අපහසුයි. සති ඉන්ද්‍රිය සිහිය දියුණු කිරීමයි. සිත, කය, වචනය හසුරුවන විට සිහියෙන් කල්පනාවෙන් පරිහරණය කළ යුතුයි. සමාධි ඉන්ද්‍රිය යනු මානසික ඒකග්‍රාතාවයි. කුසල සිතක සිත එකඟකර ගැනීම සමාධි ඉන්ද්‍රියයි. ප්‍රඥා ඉන්ද්‍රිය යනු අවබෝධය, දැනුම හොඳ මට්ටමක තිබීම. කුසල සිතක මේ සෑම ඉන්ද්‍රියක්ම එක මට්ටමක තිබිය යුතුයි. එක මට්ටම යැයි සඳහන් කළේ ඒ සිතිවිලි පහම එක මට්ටමේ තිබීමත් නොවේ.

බොහෝ විට ශ්‍රද්ධා ඉන්ද්‍රියට ප්‍රතිවිරුද්ධව ප්‍රඥා ඉන්ද්‍රිය නැගෙන්නට පුළුවන්. ශ්‍රද්ධාව - ප්‍රඥාව ධර්ම මාර්ගයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ශ්‍රද්ධාව තුළ තිබෙන්නේ ආමිස පූජා කොටසයි. ප්‍රඥා මාර්ගයට අයත් වන්නේ භාවනා කොටසයි.

අප තේරුම්ගත යුතුයි අපේ සිතේ නීවරණ ධර්ම පහක් ක්‍රියාත්මක වෙනවා. කාමච්ඡන්දය (කාම අරමුණුවලට සිත ඇදී යාම) ව්‍යාපාද (තරහව), ථීනමිද්දය (නිදිමත ගතිය), උද්දච්ච කුක්කුච්චය (නොසන්සුන්තාව), විචිකිච්ඡා (සැකය).

යම් පුද්ගලයෙක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය පුරුදු කරන විට ඔහුගේ සිතේ තිබෙන සැකය දුරුවෙනවා. ඒ වගේම වීර්ය ඉන්ද්‍රිය තුළින් සිතේ තිබෙන නිදිමත ගතිය නැතිවෙනවා. සති ඉන්ද්‍රිය මඟින් තරහව, වෛරය ආදිය සිතට එනවිට ඒවා වැටහෙනවා. සමාධි ඉන්ද්‍රිය තුළින් සිතේ ඇතිවන මානසික එකඟතාව දියුණු වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය විසින් සිතේ ඇතිවන නොසන්සුන්තාවය වගේම සැකයත් පාලනය වීමට උදව් කරනවා.

මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සමබර කර නොගත්තොත් එතැන අසමතුලිතභාවයක් ඇතිවෙනවා. ඒ අසමතුලිතභාවය සත්‍යාවබෝධයට බාධාවක්. අපේ සමාජයේ සමහර පිරිසට ශ්‍රද්ධාව වැඩිවී ප්‍රඥාව අඩුවෙනවා. තවත් පිරිසකට ප්‍රඥාව වැඩි වී ශ්‍රද්ධාව අඩුවෙනවා. මේ දෙකම සත්‍යාවබෝධයට බාධාවක්. මේ ඉන්ද්‍රියන් සමබර වන්නේ සති ඉන්ද්‍රිය තුළින්.

ඊළඟට වීර්ය සහ සමාධිය සම කරගත යුතුයි. සමාධිය කියන්නේ මානසික ඒකාග්‍රතාවය යි. උත්සාහය වැඩි වූවිට මානසික ඒකාග්‍රතාවය අඩුවෙනවා. මානසික ඒකග්‍රතාවය වැඩි වූ විට උත්සාහය අඩු වී සිතෙහි කුසීතකම නොසන්සුන්තාවය ඇතිවෙනවා.

තවත් පිරිසක් සිටිනවා සමාධිය වැඩියි. වීර්ය අඩුයි. වීර්ය අඩු අය සමාධිය වැඩි කරන විට සිදුවන්නේ නිදිමතට සිත යට වීමයි. එවිට උත්සාහය අඩුවෙනවා. සමාධිය අපේක්ෂාවෙන් සිටියට එවිට සිදුවන්නේ නින්දට සිත යටවීමයි.

ඒ වගේම වීර්යයත් සමාධියත් සමබරව තිබෙන්නට ඕන. වීර්ය අධිකකම සමාධියට බාධාවක්. අයහපත් මානසිකත්වය නිසා වැඩ කටයුතු අවුල්වෙනවා. ඒ වගේම සමාධිය සඳහා දැඩි වීර්යයක් යොදන විට නිදිමත ඇතිවෙනවා. සමාධිය දියුණුකර ගැනීමට නුවණින් විමසා බලා කටයුතු කළ යුතුයි. නිදිමත එනවිට එය පාලනයට සජ්ක්‍ධායනාව, සක්මන, ආලෝක කසිණය ආදිය දියුණු කිරීම සුදුසුයි. තමාගේ සිතේ ඇතිවන පංචනීවරණ දැන ගැනීමට සති ඉන්ද්‍රිය බලවත් විය යුතුයි.

මේ සියලු දෙයට ඉන්ද්‍රිය සමතාවයකින් භාවනා කිරීම අවශ්‍යයි. එසේ භාවනා කිරීම තුළින් අවසාන ඉලක්කයට ළංවීමට හැකියාව තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ ‘’පින්වත් සෝණ භාවනා කරන විට මේ ඉන්ද්‍රිය ධර්ම සමාන කර ගන්න යැයි’’ දේශනා කර ගිජ්ජකූට පර්වතයට වැඩියා.

සෝණ හිමියන් ඒ ආකාරයට භාවනාවේ යෙදී සුළු කලකින් චිත්ත සමාධිය දියුණු කර විදර්ශනා නුවණින් සංස්කාරයන් විමසා සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට මහරහත් උතුමන් වහන්සේ නමක් බවට පත්වුණා.

සාකච්ඡා කළේ
නයනා නිල්මිණී


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.