Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොළොස් මහේ ස්වර්ණමාලි දන්වැට...


අනුරාධපුරය දොළොස්මහේ ස්වර්ණමාලි දන්වැට (දන්සල) වෙත පසුගියදා පැමිණි මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් බැතිමතුනට ආහාර බෙදා දුන් අවස්ථාව.

“සිය සුවසෙත - සැම සතවෙත” යන උදාර පාඨය තේමාව කරගනිමින් සිව්හෙළ බෞද්ධ පදනම මගින්, පසුගිය නොවැම්බර් මස 18 වෙනි දිනට යෙදී තිබූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්මදින සැමරුම හා දෙවන පදවි ප්‍රාප්තිය උළෙලට සමගාමීව ආරම්භ කළ දොළොස්මහේ ස්වර්ණමාලි දන්වැට (දන්සල) වෙත පසුගියදා පැමිණි මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් එදින බැතිමතුනට ආහාර බෙදා ඔවුන් සමග සුහද පිළිසඳරක නියැළුනේය ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශය මෙන්ම එස්.එම්. චන්ද්‍රසේන පදනම එක්ව සිව්හෙළ බෞද්ධ පදනම මෙසේ ආරම්භ කළ දොළොස් මහේ ස්වර්ණමාලි දන්වැට පිළිබඳ ජනපතිතුමන් සිය ප්‍රශංසාව පළකළේය. රටේ සියලු කටයුතු සාර්ථක කරගැනීම සඳහා පසුගියදා (31) අනුරාධපුරයට පැමිණ, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමන් හා ශිරන්ති රාජපක්‍ෂ ආර්යාව මෙන්ම තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාද ආගමික කටයුතු වලින් අනතුරුව දන්වැට වෙත පැමිණියහ.


මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් බැතිමතුනට ආහාර බෙදා දෙමින්..

එහිදී ජනාධිපතිතුමන් දන්වැට පිළිබඳ ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගෙන් අදාළ තොරතුරු විමසා සිටි අතර අනතුරුව දන්සල වසරක් පුරා නොකඩවා පවත්වාගෙන යාම සඳහා පියවර ගැනීම පිළිබඳ සිය සතුට ප්‍රකාශ කළේය. ස්වර්ණමාලි මහා සෑ රජුන් ආසන්නයේ සිට උතුම් වූ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ වෙත පැමිණීමට ඇති පෙත්මගට යාබදව ඉදිකර ඇති මේ දන්වැට සුවිශේෂ වන්නේ එය වසරේ තුන්සිය හැටපස් දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි. දශක තුනක් තිස්සේ පැවැති කුරිරු යුද්ධය විනාශ කළ මිල කළ නොහැකි ජීවිත හා වටිනා දේපළ ප්‍රමාණය අතිවිශාලය. එයින් නොනැවතී ඒ කුරිරු යුද්ධය අනාදිමත් කලෙක සිට අප විසින් සුරකින ලද සාරධර්ම යහපැවැත්ම ආදී යහපත් සංස්කෘතික හරදපද්ධතීන් යම් තරමකට සසල කිරීමටද හේතුවිය. ඒ නැතිවි ගිය අපේකම, අපේ දේ නැවත ජාතියට සමීප කරලන්නට සාමයේ අරුණළු සමගින් ආරම්භ කළ දෑ බොහෝය. ඒ අතරින් සුවිශේෂ වූ වැඩසටහනකි මේ දොළොස්මහේ දන්වැට. ජාති, ආගම්, ආදි කිසිඳු භේදයකින් තොරව සියලු දෙනාට දැනෙන කුසගින්න නිවාලන උදාරතර පරමාර්ථය පෙරදැරිව ආරම්භ කළ මේ මහාර්ඝ පින්කම පිළිබඳ අදහස් දක්වන රුවන්වැලි චෛත්‍යාරාමාධිපති නුවර කළාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියෝ “කුසගින්න කියන දෙය සෑම දෙනාටම පොදුයි. කෙනෙකුගේ කුසගින්න නිවන්න කටයුතු කරනවානම් එය උතුම් පින්කමක්. එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමා සිව්හෙළ බෞද්ධ පදනම සමග වසරක් පුරා සිදුකරන්නට යන මේ පින්කම ඉතාම වටිනා කාලෝචිත දෙයක්. යැයි පැවැසූහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.