Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතයට අලුත්වීමක් අවශ්‍යයි

ස්වාමියා රැකියාවට යන විට භාර්යාව පිබිද සිටිය යුතුයි. ඔහුගේ ආහාර පාර්සලය පිළියෙල කර දිය යුතුයි. පෙර දිනයෙන් වූ සිදුවීමක් මත හිඳ එය නොසලකා සිටියහොත් කුමක් සිදුවේ ද?

2012 ජනවාරි 08 පත්‍රය හා සම්බන්ධයි

ඔබ පළමුව රැකියාවට ගිය දිනය සිහි කර බලන්න. එදින කොයිතරම් සුපරික්ෂාකාරීව, සැලකිල්ලෙන් කඩිසරව කටයුතු කළාද? ඇඳුම් පැළඳුම් ආදිය ගැන කොයිතරම් උනන්දු වුණාද?

සෑම දිනක්ම රැකියාවට යන මුල්ම දිනය ලෙස සිතීමට පුළුවන් නම්.....එයම අලුත්වීමක් වනවා. අලුත්වීම දෛනිකව වෙනස්වීමයි වැදගත් වන්නේ. විවාහ ජීවිතයේත් මේ හා සමාන තත්ත්වයකින් පවත්වා ගැනීමට පුළුවන්නම් අපේ තරුණ ජීවිත කොයිතරම් හොඳින් බබළයිද? හරියටම පුන් සඳක් සේ බබලාවි.

විවාහ ජීවිතයේ තරුණ කාලයේ සිටම සිදු කෙරෙන වරදක් තමයි අඹුසැමියන් පසුගිය දේ කතා කරමින් ඒ ගැන පසු තැවීම, දබරවීම අනාගතය ගැන කතා කරමින් දබරවීම පසුතැවීම. අපි වර්තමානයේ ජීවත් විය යුතුයි.

බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම වදාළේ ‘අතීතය ගැන හෝ අනාගතය ගැන හෝ ශෝක නොකර වර්තමානයේ ජීවත් විය යුතු බවයි .

දැන් මේ මොහොතේ ගත කරන ජිවිතය තව ස්වල්ප වේලාවකින් අතීතයට යන බව අප තේරුම් ගත යුතුයි. මේ මොහොතේ හොඳ ප්‍රතිඵලය අනාගතයේ යහපතට හේතුවනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ සෑම මොහොතකම කුසලයක්ම කරන්න කියා.

‘සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා’

හැම මොහොතකම කළ යුත්තේ කළ යුතු දේ කිරීමත් නොකළ යුතු දේ නොකර සිටීමත් බවයි, බුදුරජාණන් වහන්සේ වදාළේ. අලුත්වීමට අපට මීට වඩා තවත් දෙයක් තිබෙනවාද? මේ තුළ ජීවත්වන තරුණයාට ලැබෙන්නේ මොනවාද?

උට්ඨානවතෝ සතිමතෝ
සූචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සංඤතස්සසච ධම්ම ජීවිනෝ
අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති

උත්සාහයක් ඇති කරගන්නා තැනැත්තාට ළඟා කර ගැනීමට නොහැකි සැපයක් නැහැ.

අද තරුණ පරපුරේ විවාහ රැසක් දිනපතාම පාහේ සිදුවනවා. විවාහයෙන් පසු අලුත් වෙන්නේ කොහොමද? අප මුලින් කීවාක් මෙන් සෑම දවසක්ම අලුත් දවසක් සේ සිතීමට පියවර ගත යුතු වන්නා සේම තම ස්වාමියා බිරිඳ ගැන අලුත් ලෙසකින්ම සිතිය යුතුයි.

ස්වාමියා රැකියාවට යන විට භාර්යාව පිබිද සිටිය යුතුයි. ඔහුගේ ආහාර පාර්සලය පිළියෙල කර දිය යුතුයි. පෙර දිනයෙන් වූ සිදුවීමක් මත හිඳ එය නොසලකා සිටියහොත් කුමක් සිදුවේද?

ඊයෙ කෑම එක දාල ගියා, මං දෙන කෑම එක තව අය එක්ක බෙදාගෙන කයි, මේ වදන් සිතීම තුළින් අනිවාර්යයෙන්ම තාරුණ්‍යයේ කැදලි දෙදරා යාමට ඉඩකඩ තිබෙනවා. අපේ පරිසරය දිහා බැලුවොත් සත්ව ලෝකය දිහා බැලුවහොත් සිදුවන වෙනස්වීම් අපට වටහා ගැනීමට පුළුවන්. පොල්අතු වියළී වැටෙනවා, පුවක් අතු වැටෙනවා ගස් අලුත් වෙනවා, සතුන්ගේ අං තට්ටු හැලෙනවා . හැව අරිනවා සත්තුත් අලුත් වෙනවා.ඇයි අපට අලුත් වෙන්න බැරි? මස් කටුවකට පොර කන සුනඛයන් දෙන්නෙක් විනාඩි ගණනකට පසු මිතුරු වී සෙල්ලම් කරන හැටි බලන්න. සමහර විට පොර කෑමෙන් එක් සුනඛයකුගේ ලේ වැගිරිලා තුවාල . ඒත් ඔවුන් මිතුරු වෙලා. ඒත් උසස් මනසක් ඇති මිනිසුන්ට අලුත් වෙන්න බැරි වෙලා.

බුදුරජාණන් වහන්සේ අපට වදාරා ඇත්තේ එක ගඟකින් දෙපාරක් නාන්න බැහැ කියලා . එක් වරක් බැහැලා ස්නානය කර යළිත් බහිනකොට ඒ දිය පාර ගලා ගිහින්.

මගේ විවාහය මම නිවැරැදිව ඉදිරියට පවත්වා ගන්න ඕනෑ. මම මින්පසු වෙනත් ගැහැණියක් නැත්නම් පිරිමියකුගේ ඇසුර පතන්නේ නැහැ. මේ විවාහවන තරුණ තරුණියන් මූලිකවම සිතට නංවා ගත යුතු සිතිවිල්ලක්.

ඒ වගේම නිවසක් තැනීමේදී ද මේ ගැන නිවැරැදිව සිතිය යුතුයි. මට පුළුවන් විදිහටයි මම නිවස තනන්නේ. අපි නිවසක් හදන විට අවුරුදු 100 ක් ඉස්සරහට හිතලයි ඒ නිවසේ වැඩ කරන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න. අපේ අම්ම,තාත්ත නැත්නම් සීයලා, ආච්චිල හදල දීපු ගෙවල් වලට අද අපි මොකද කරන්නෙ කියල. ඒව පරණ නිසා කඩල අලුත් කරනව. ඒ වගේම අපි අද ලක්ෂ කෝටි ගණන් දීල බැංකුවලට ණය වෙලා නොකා නොබී හදන ගෙවල්වලට අපේ දු පුතුන්ට අවුරුදු 20 කින් 30 කින් මොනව කරයිද? ඇයි මේ යථාර්ථය අපි තේරුම් නොගන්නේ.

තව අවුරුදු 20 කින් 30 කින් තියෙන්නෙ අලුත් ලෝකයක් අපිත් ඒ ලෝකයට හැඩ ගැසිය යුතුයි.

ගෑස් ලිපෙන්, මයික්‍රොවේව් අවන් එකෙන්, වායු සමීකරණයෙන් නොව අපේ සිතිවිලිවලින් අප අලුත්විය යුතුයි. සාම්ප්‍රදායික දේටම යොමු නොවී අලුතින් හිතලා යමක් කරන්න පුළුවන් නම් අපට කොයිතරම් සතුටු වෙන්න පුළුවන්ද?

පන්සලට පහන්වැට, බෝධි ප්‍රකාරය හදන ගමන්ම ගමේ ඉන්න අසරණ වැඩිහිටියො දහ දෙනෙකුට පන්සල හා සම්බන්ධ වෙලා ඉන්න ආශ්‍රමයක් හදලා දෙන්න පුළුවන්නම් ,අපේ තරුණ පරපුරට පුළුවන් මේ දේට මුල් වෙලා වැඩ කරන්න. එහෙම කරන්න පුළුවන් වුණොත් වැඩිහිටි නිවාස සංකල්පය අයින් කරන්න පුළුවන් වේවි. ඒ වගේම තරුණ පරපුර පන්සල හා සම්බන්ධ වීම ඉහළින් සිදුවෙනවා. පන්සලේ තණකොළ ගහක් උගුල්ලන්න බෝ මළුව අතුගාන්න වැඩිහිටියෙක් ඉදීවි.

ගමේ වැඩිහිටියො ගමෙන් ඈත් කරල නැහැ. තමන්ට පුළුවන් තරම් කාලයක් උඩු වියන් බැදල පාවඩ දාල සඟ සතු දාන දීපු මේ වැඩිහිටියො ගැන හොයල බලන එක අපේ විහාරස්ථානවලත් වගකීමක්. මේ තත්ත්වය අප හොඳින් තේරුම් ගත යුතුයි.

අපහසු වෙන්න පුළුවන්. හැම දවසක්ම අලුත් දවසක් ලෙස අලුත් සිතිවිල්ලකින් අවදි වෙමු.

සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.