Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සුඛකාමානි භූතානි,
යො දණ්ඩෙන විහිංසති,
අත්තනො සුඛමෙසානො,
පෙච්ච සො න ලභතෙ සුඛං.

පින්වත්නි,

අද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේ අද වැනි පුන් පොහෝ දිනක ප්‍රථම වතාවට ලංකාවට වැඩම කළ බව ශාසන ඉතිහාසය කියයි. මනුෂ්‍ය ජීවිතයේත් සෙසු සත්ව හා ශාක ලෝකයන්ගේ ජීවිතවලත් වටිනාකම අවබෝධ කරගත් තථාගතයන් වහන්සේ එදා ලක්දිව තුළ ජීවත් වූ ගෝත්‍රික පිරිසක් දමනය කිරීම පිණිස ලක්දිවට වැඩි බව පුරාවෘත්තයන්හි සඳහන් ව ඇත.

ගාථාව හා බැඳෙන නිදාන කථාව දක්වන අන්දමට මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් දඟකාර ළමුන් පිරිසකට දෙන ලද ධර්මාවවාදයකි.

බුදුදහම පුද්ගල හැසිරීම පිළිබඳ දැඩි අවධානයක් යොමුකොට ඇති දර්ශනයකි. බෞද්ධ ඉගැන්වීමට අනුව පුද්ගලයාගේ සංසාරික පැවැත්ම මෙන් ම නිර්වාණය ශාක්ෂාත්කිරීම හා සම්බන්ධයෙන් ද එකසේ වැදගත් මාධ්‍යයක් ලෙසට පුද්ගල හැසිරීම් සඳහන් කිරීම නිවරදය.

මෙනිසාම පුද්ගල ක්‍රියාකාරකම් සිත, කය සහ වචනය ඔස්සේ සිදුවන ආකාරය පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ එම හැසිරීම් කරණකොට ගෙන පුද්ගලයාගේ පැවැත්ම මෙන් ම විමුක්තිය ද සිදුවන ආකාරය පැහැදිලි කොට දුන්හ. මේ නිසා පුද්ගලයකු තම ක්‍රියා සිදුකිරීමේ දී වඩා සාවධාන වී, අවධියෙන් යුක්ත ව ( සම්පජානකාරී ) එම ක්‍රියා සිදු කළයුතු බව තථාගතයන් වහන්සේ නොයෙක් විට අවධාරණය කොට ඇත.

මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ භික්ඛුවග්ගයෙහි එන අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි සඳහන් වන පරිදි වරක් බුදුරජාණන් වහන්සේ රාහුල පොඩිහාමුදුරුවන්ට මෙසේ ධර්මාවවාද දෙති : “ රාහුල ඔබ කුමක් සිතන්නෙහි ද, කැඩපතෙහි ප්‍රයෝජන කවරේ ද “ “ ස්වාමීනි, කැඩපත ප්‍රත්‍යවෙක්ෂණය පිණිසයි” රාහුල පොඩිහාමුදුරුවෝ පිළිතුරු දෙති. “ ඒ අයුරින් ම රාහුල, ඔබ සෑම සිතිවිල්ලක් ම සිතනවිට, සෑම වචනයක් ම කියනවිට, සෑම ක්‍රියාවක් ම කරණවිට නැවත නැවත සිතා බැලිය යුතුය, මැනවින් සිතා බැලිය යුතුය ප්‍රත්‍යවේක්ෂණය කළ යුතුය”.

මෙම උපදෙසින් අනතුරුව එසේ ප්‍රත්‍යාවේක්ෂා කිරීමෙන් අත්වන මහත්ඵල මහානිසංශ ද බුදුරජාණෝ ගෙනහැර දක්වති. තථාගතයන් වහන්සේගේ මෙම උපදෙසින් අපට පෙනී යන්නේ අපගේ දෛනික ක්‍රියාකාරකම්වලදී මැනවින් සිතා, විමසා බලා කටයුතු කිරීම ජීවිතය වඩාත් නිවැරදි ව හැඩගස්වා ගැනීමට මහෝපකාරී වන බවයි. සාමාන්‍ය දෛනික ජීවිතයේ මෙන් ම ආධ්‍යාත්මික පාරිශුද්ධියේ දී ද මෙම ප්‍රත්‍යවේක්ෂණය මහාර්ඝ ප්‍රතිඵල ගෙනදෙන හැඩගැසීමක් ලෙස බුදුසමය අපට උගන්වයි. මනා අවධානයෙන් තොර කවර මිනිස් ක්‍රියාකාරකමක් වුව ද අනර්ථය පිණිස හේතුවිය හැකි බව මින් පැහැදිලි වේ. අනෙක් අතට සියලු මිනිස් ක්‍රියාකාරකම් කවරාකාරයකින් හෝ පොදු සමාජ පැවැත්මට ද බලපාන බව නොරහසක් බැවින් සමාජය පිළිබඳ අවිඥානක ව, නොඑසේ නම් පුද්ගලචර්යාව සමාජ චර්යාවෙන් බැහැරකොට විශ්ලේෂණය කිරීමක් හෝ අගය කිරීමක් බුදුසමයේ දක්නට නැත. එහෙයින් ප්‍රත්‍යවේක්ෂණය පුද්ගල සුබසිද්ධියට මෙන් ම සමාජ සුබසිද්ධියට ද මග සළසන යහපත් හැසිරීමක්ය යන්න පිළිබඳ කිසිම විවාදයක් මතුවිය නොහැක.

මෙම කරුණ වඩාත් පැහැදිලි ව වටහා ගැනීමට උපකාරවන තථාගතයන් වහන්සේගේ තවත් ඉගැන්වීමක් නම් ප්‍රත්‍යවේක්ෂණයේ දී සැළකිය යුතු කරුණු තුනක් ඇතැයි අංගුත්තරනිකාය තික නිපාතයේ බ්‍රාහ්මණවග්ගයෙහි සහ තවත් බොහෝ තැන්වල එන තුන්දොර ක්‍රියාකාරකම්වලදී ඒවා ( 1 ) තමන් ට අයහපත පිණිස පවතින්නේ ද ( අත්තබ්‍යබාධාය සංවත්තති ) ( 2 ) අනුන් ට අයහපත පිණිස පවතින්නේ ද ( පරඛ්‍යාබාධාය සංවත්තති ) ? ( 3 ) මෙකී උභය පාර්ශවයන්ට ම අයහපත පිණිස පවතින්නේ ද ( උභයභ්‍යාබාධාය සංවත්තති ) යි විමසා බලා එසේ අයහපත පිණිස පවතී නම් ඒවා නොකළ යුතු බවත්, ප්‍රත්‍යවේක්ෂණයට බඳුන් වන ක්‍රියා මෙහි සඳහන් සියලු පාර්ශවයන්ට යහපත පිණිස පවතී නම් ඒවා කළයුතු ක්‍රියා ලෙස තීරණය කළයුතු බවත් දක්වා ඇති නිර්ණායකය යි.

තථාගතයන් වහන්සේගේ මෙම ප්‍රත්‍යවේක්ෂණය පිළිබඳ ඉගැන්වීමෙන් අපට පෙනී යන්නේ බුද්ධදේශනයේ දී පුද්ගල සුබ සිද්ධිය සේ සමාජ සුබ සිද්ධිය ද අතිශය වැදගත් සේ සළකා ඇති බවයි.

ඉහත දැක්වු දේශනාවේ මෙන් ම තවත් බොහෝ බුද්ධ දේශනාවන්හි මෙසේ සන්සන්දනාත්මක ඇගයීමකින් තීරණය කොට අයහපත බැහැර කිරීම අවධාරණය කරයි. පුද්ගල ජීවිතයේ මෙන් ම සමාජ ජීවිතයේදී ද මෙබඳු වටිනාකම් අවබෝධ කොටගෙන කටයුතු කිරීම හැසිරීම සහ ජීවත් වීම පොදුවේ යහපත් සමාජයක් ගොඩනගා ගැනීමට සපයනුයේ ඉමහත් ශක්තියකි. උපන් සෑම මිනිසකුගේම අපේක්ෂාව සිය ජීවන අවශ්‍යතා සහ අභිලාශයන් සපුරාගෙන අභිමානයෙන් ජීවත්වීමයි. අන් ජීවීහු ද තම සිතිවිලි මට්ටමේ සිට එසේ සිතනවාට සැක නැත. බුදුසමය උගන්වන්නේ මෙම අපේක්ෂාව මුදුන් පමුණුවා ගත හැක්කේ පුද්ගල මට්ටමේ සිට මෙම වටිනාකම අවබෝධ කොටගෙන තම චර්යාවන් වෙනස් කොට එය සමාජ මට්ටම දක්වා පුළුල් කර ගැනීමට මිනිස් සමාජය උත්සුක වියයුතු බවයි.

නව වසරක් උදාවීම යනු ඒ සඳහා උචිත සන්ධිස්ථානයකි. එබැවින් උදා වූ නව වර්ෂයේ අපි සියල්ලන් උක්ත බුද්ධදේශනාවේ හරය ජීවිතවලට බද්ධකර ගැනීමට උත්සුක වෙමු.

සැමට ධර්මාවබෝධය වේවා.
තෙරුවන් සරණයි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.