Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටමස්ථානය – 7

ස්වර්ණමාලී මහා සෑරජුන් වහනසේ

අප මාතෘ භූමිය සම්බුද්ධ ධර්මයෙන් පාරිශුද්ධ වූ දහම් දීපය යැයි විරුදාවලිය ලැබීමෙන් පසුව ඒ බව වඩාත් තීව්‍ර ලෙස බොදු දන හදට කා වැද්දීමට සමත් වූයේ විහාරස්ථානය වර්ණවත් කළ ස්තූපය ය.

ලක්බිමේ මේ මහා ස්තූප මාලා ඔටුන්නෙහි සිළුමිණ සේ සුවිශේෂ වූ ද ප්‍රධාන වූද ස්තූපය බවට පත්ව ඇත්තේ රුවන්වැලි මහ චෛත්‍යය රාජයාණන් වහන්සේ ය. එය ලංකාවේ ප්‍රධානම චෛත්‍ය නොහොත් මහා ස්තූපය බවට පත්වී තිබීම පිළිබඳව වාදයක් විවාදයක් හෝ කුකුසක් නොමැත.

සෙනරත් පරණවිතාන ශූරීන් ගේ 'ලංකාවේ ස්තූපය නම් ග්‍රන්ථයේ රුවන්වැලි මහා සෑය පිළිබඳව කෙරෙන සඳහනෙන් එහි සුවිශේෂත්වය පිළිබඳව හැඟීමක් ඇති කරගත හැක.

අනුරාධපුරයේ පිහිටි පසු කාලයට අයත් ස්තූප දෙකක් ප්‍රමාණයෙන් රුවන්වැලි චෛත්‍ය අභිබවා සිටී. එහෙත් රුවන්වැලි සෑය කළ තැනැත්තාගේ නාමය කෙරෙහි බැඳී පවත්නා අපූර්ව ගෞරවය සහ නොයෙකුත් හේතූන් නිසා මෙම ස්තූපයට ලංකාවේ ස්තූප අතර ප්‍රධාන ස්ථානය ගැනීමට හැකි වී ඇති බව සිංහල බෞද්ධයන්ගේ පිළි ගැනීමය'.

රුවන්වැලි සෑය ඉදිකරන ලද්දේ අපගේ මහාවංශ කතාවේ මහත් වූ කීර්ති නාමයක් ලැබූ අදත් අභිමානයෙන් අනුස්මරණය කෙරෙන දුටුගැමුණු මහ රජතුමාය. (ක්‍රි. පූර්ව 161 - 137) මෙම මහා ස්තූපය ඇත්තේ ශූද්ධ වූ අනුරාධපුර භූමියේ මහමෙව්නාව නම් පිවිතුරු උද්‍යානයේ ය. මහසෑය කළ බිමෙහි වූ තෙළඹුගස නො කැපුවහොත් සෑය සෑදීමට නොහැකි වූ නිසා තෙළඹු ගස සිඳලීමට අවශ්‍ය විය. එයට අධිගෘහිත වූ ස්වර්ණමාලී නම් වෘක්ෂ දේවතාවිය කළ පරිත්‍යාගයට ගෞරවයක් වශයෙන් මෙම මහ ස්තූපයට ස්වර්ණමාලී මහ සෑය නොහොත් රුවන්වැලි මහ සෑය වශයෙන් නම් තැබූ බවට මතයක් පවතියි. රුවන්මළුව නම් බිමෙක ඉදිකළ බැවින් රුවන්වැලි සෑය ලෙස නම් තැබූ බව තවත් මතයකි.

මහාවංශය සඳහන් කරන පරිදි මෙම කල්පයේ බුද්ධත්වයට පත් සිව්මහා බුදුරදුන්ගේ පහසින් මේ බිම පූජනීයත්වයට පත්වී ඇත.

එදා මිහිඳුමහ රහතන් වහන්සේ දෙවන පෑතින් නිරිඳානන්ට අටමස්ථානය හඳුන්වා දීමේදී සත්වැනි ස්ථානය ලෙස මේ මහා සෑය අනාගතයේ දී පිහිටන තැන පෙන්වීය. මහ රහතන් වහන්සේ සපුමලින් මෙම පිවිතුරු බිම පුදන විට මහපොළොව කම්පා වූ බවත් පොළව කම්පා වූයේ ඇයිදැයි ඇසූ රජතුමාට මහරහතන් වහන්සේ පැවැසුවේ මහා රජිඳානන්ගේ මුනුපුරකු විසින් මෙම ස්ථානයේ මහ ස්තූපය ගොඩනගන බවය. එපවත ලියවා රුවන්වැලි සෑය පිහිටුවන ස්ථානයේ ගල්ටැඹක් එස වූ බවත් මහා වංශයේ සඳහන්ව තිබේ.

බුද්ධ වර්ෂ 382 දී රාජ්‍යත්වයට පත් දුටුගැමුණු රජතුමා එම ටැඹ දැක එතැන මහ සෑය කරවූ බව කියැවෙයි. මේ මහා ස්තූපය ඉදිකිරීමට අවශ්‍ය අඩිතාලම දැමීමට සත් රියනක් යටට පොළොව හාරා යෝධයින් ලවා ගෙන්වන ලද හුනුගල් කුළු ගස්වා එය ශක්තිමත් වීමට සමින් වැසූ පතුල් ඇති ඇතුන් ලවා පෑගවීය. රහත් සාමණේරයන් වහන්සේ විසින් ගෙනෙන ලද වෙඬරු මැටි (නවතීන නම් ඉතා සියුම් මැටි වර්ගයක්) ඒ මත අතුරා ඒ මත ගඩොළු ද අතුරන ලදී. ගඩොලු මතුයෙහි ශුද්ධ වූ කරගල් ද කරගල් මතුයෙහි කුරුවින්ද පාෂාණ ද ඒ මත යදෙල් ද ඇතිරවීය. (යකඩ දැල්) සාමණේරවරුන් හිමාලයෙන් ගෙනෙන ලද සුවඳ මරුම්බ (තවත් විශේෂ ගල් වර්ගයක් විය හැක) ඒ මත පළිඟු ගල් ද ඉන් පසුව ස්ථරයේ රස ජලයෙන් මිශ්‍ර‍්‍ර කළ ගිවුලු මැලියමින් (දිවුල් මැලියම්) අඟල් 8 ක් පමණ ලෝහ පටක්ද ඒ මත තල තෙලින් හනන ලද රන් සිරියෙලින් අඟල් 7 ක පමණ ඝන රිදී පටක්ද ඇතිරවීය. මෙය ගෙන හැරපෑවේ මහා වංශයේ සටහන අනුවය. එසේම චෛත්‍යය ගොඩනැගීමට අවශ්‍ය ගඩොළු සඳහා මැටි සකසා ඇත්තේ වනේ දමා කොටා කුල්ලෙන් හලා වල් ඇට ඉවත් කර මනා තත්ත්ව පාලනයකිනි.

මහා සෑයේ ආකෘතිය නිශ්චය කර ගැනීමද අපූර්වත්වයක් ගෙනෙන කතාවකි. නිර්මාණ ශිල්පියා රන් තලියක් ජලයෙන් පුරවා අතින් දිය ස්වල්පයක් ගෙන දිය මතු පිට ගැසීය. එවිට අර්ධ ගෝලාකාර හැඩැති පළිඟුවක් සේ දිය බුබුළු දිස්විය. එම හැඩයට ස්තූපය ගොඩනැගීමට රජතුමා කැමැති විය. ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප්‍රමුඛ කොට පැවැති බව දීප වංශය පවසයි. බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෙම දා ගැබෙහි වීම සුවිශේෂත්වයකි. මහා වංශයට අනුව ද්‍රෝණයක් ධාතූන් (මෙය දළ වශයෙන් ගිනිය හැක්කේ නැලි දහසක් - ලාස් හතරක්) මෙම ස්තූපයේ නිධන් කර ඇත.

ලෝක විනාශයකදී සම්බුද්ධ ධාතු සියල්ල රුවන්වැලි මහා සෑයට එක්වී පෙළහර පා පිරිනිවන් පානා බව අට්ඨ කතාවන්හි සඳහන් වේ.

දුටුගැමුණු රජතුමාට මෙම මහා ස්තූපයේ වැඩ අවසන් කිරීමට නොහැකි විය. එම චෛත්‍ය කර්මාන්තයේ අවසන් අදියරට නිම කළේ සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ ය. සෑය වටා ඇති ඇත්පවුර සාදන ලද්දේ සද්ධාතිස්ස රාජ්‍ය සමයේ ය. මෙහි දිග අඩි 475 කි. පළල අඩි 477 කි. පවුරේ උස අඩි 9 ක් පමණ වෙයි.

පසු කලෙක විවිධ රජවරුන් යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ අතර අවසන් වරට පරිහානියට පත්ව තිබුණ චෛත්‍ය ගොඩනංවන ලද්දේ පළමුවන පරාක්‍රමබාහු රජතුමාය. (ක්‍රි. ව. 1153 - 1186) පසු කලෙක රුවන්වැලි මහ සෑය ගරා වැටී ජරාවාසයට පත්විය.

1873 වසරෙහි නාරන්විට සුමනසාර නම් ස්වාමීන් වහන්සේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹුවේ අපමණ වූ දුෂ්කරතා මධ්‍යයේ සුමනසාර හිමියන්ගේ ආවාස ගෘහය වූයේ බරකරත්ත අඹරාවකි. මේ මහා සෑයට කොත පළඳවන ලද්දේ 1940 වසරේදී ය. 1912 වසරේ වලිසිංහ හරිශ්චන්ද්‍රයන් පලකළ ''සිතියම් සහිත පුරාවිද්‍යාව" ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට මේ මහා සෑයේ උස අඩි 155 කි. චෛත්‍යයේ වට අඩි 500 ක්ද සළපතළ මළුවේ දිග පළල අඩි 480 ක් ද වෙයි.

වසර 1873 වනවිට පස් ගොඩැල්ලක්ව පැවැතුණු මේ මහ ස්තූපය පියවි ඇසින් දුටු එසමයෙහි ලක්බිමේ ආණ්ඩුකාර ධූරය ඉසුලූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි 1876 පෙබරවාරි 15 වනදින එංගලන්ත ආණ්ඩුවට ලියවිල්ලක් ඉදිරිපත් කරයි. ‘රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි... නාරන්විට සුමනසාර උන්නාන්සේ විසින් කරවා ඇති වැඩ ප්‍රමාණය දැක අතිශයින් පුදුම වීමි... මේ දැගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස් ශිල්ප ශාස්ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක් මෙන්ද ලක්දිව රාජ්‍යාභිෂේකය ලත් ඉතා බලසම්පන්න ශ්‍රේෂ්ඨ රජතුමා සිහිපත්වීමේ ලකුණක් මෙන්ද පවති’.

වික්‍රමාන්විත මහා නරපතියකුගේ උත්තුංග අසිරිමත් නිර්මාණයක් සේ ගැනෙන රුවන්වැලි මහා සෑ රදුන් මේ දහම් දීපයේ සිරස මත තැබූ මහාධාතු කරඬුව නො වන්නේ ද?


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.