Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා කාරුණික වූ බුදුන් වහන්සේ ලක්දිව් තලයේ මනෝරම්‍ය වූ මහවැලි නදිය අසබඩ මිනිපේ සරු දනව්වට ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් වැඩම කළේ පින්බර දුරුත්තේ අද වැනි පුර පසළොස්වක පොහොය දිනකය

මෙයට 2600 වසකට පෙරැ සම්මා සම්බුදු පහසින් ලක්දිව් තලයම පිවිතුරු වෙමින් සද්ධර්ම ප්‍රදීපයෙන් ඒකාලෝක කළා වූ සම්මත වසරේ ආරම්භක පොහොය වන්නේ දුරුතු පුර පසළොස්වක පොහොය දිනයි.

බෝසතාණන් වහන්සේ ලොවුතුරා බුද්ධත්වයෙන් අභිසෙස් ලබා නව මසකින් තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් සවුවන් සදහම් මගට යොමු කර ආර්යන් වහන්සේලාගේ කසාවතින් උරුවෙල් දනව්ව බැබළවූයේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනකය.

අනාගතයේදි ලක්දිව් තලය සද්ධර්මයේ ආලෝකයෙන් බැබළවීමට පිනැති බව ලෝකවිදූ ගුණයෙන් යුක්ත වූ බුදුන් වහන්සේගේ බුද්ධ ඤාණයට පසක් වූ සේක.

මහා කාරුණික වූ බුදුන් වහන්සේ ලක්දිව් තලයේ මනෝරම්‍ය වූ මහවැලි නදිය අසබඩ මිනිපේ සරු දනව්වට ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් වැඩම කළේ පින්බර දුරුත්තේ අද වැනි පුර පසළොස්වක පොහොය දිනකය.

යක්‍ෂ සේනාවන්ගේ පරිවේණි උරුමය වූ තුන් යොදුන් දිග එක් යොදුන් පුළුල් වූ මහා නාග යුද භූමියට බුදුන් වහන්සේ කේසර සිංහ රජකු විලසින් වැඩම කළ සේක.

එසේ වැඩම කළ බුදුන්වහන්සේ ආපෝ කසිණ සමාපත්තියට සම වැදී සිව් දිගින් මේඝ වර්ෂා වස්සවා යක්‍ෂ සේනාවන් මවිත කළ සේක.

එහිදී අසම සම මහා බලැති ගෞතම බුදුන් වහන්සේ තේජෝකසිණ පඤ්චමධ්‍යානයට සම වැදී තම පත්කඩ අග්නි ජාලාවන්ගෙන් සතර අත දවමින් විහිදුවා ලු සේක.

ජලයෙන් හා අග්නියෙන් පෑ යමා මහා ඤාණපෙළහරේ විශ්මැති දසුනේ බලයට බිය වී තෙද බල බිද ලූ යක්‍ෂ සේනාවෝ බුදුරදුන්ගෙන් අභය ඉල්ලමින් හෙළ දිවයින භාරකර ගිරි දිවයිනට පළා ගියහ.

මහා කාරුණික වූ භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ තම පත්කඩ හකුළා පුන්සඳ මඩලක් සේ දිදුළමින් සවණක්ගණ බුදු රැස් මාලාවන් දස අතර විහිදුවා නිර්මල වූ ශ්‍රී සද්ධර්මය අමෘතයක් සේ සුමිහිරි නාදයෙන් දේශනා කළ සේක.

මේ අසිරිමත් බුදු රැස් මාලාවන්ගේ දර්ශනයෙන් ඔද වැඩුණු සමනොළ පව්වට අධිපති සුමන සමන් දෙව රද සමාධි සුවයෙන් ධර්මාවබෝධය ලබා උතුම් වූ සෝවාන් මග ඵල ලැබූහ.

අපරිමිත පී‍්‍රතියට පත් සුමන සමන් දෙව් රද බුදුන් වහන්සේගේ කේශධාතුන් රන් සුමුහෙකින් පිළිගෙන මහියංගණ පුද බිමේ අමා වැසි වස්සවා සත් රියනක සෑයක් නැංවූයේ දෙව්, මිනිසුන්ගේ සාධූනාදය මධ්‍යයේය. මේ මියුගුණ සෑය බදින ලද්දේ බුදුරදුන් බුදු වූ පළමුවන වර්ෂයේදීය.

බුද්ධස්පර්ෂයෙන් පාරිභෝගික වෙමින් දෙව් බඹුන් ගෙන් පූජනීය වූ මනෝරම්‍ය භූමියට ‘මහියංගණ’ නාමය ලැබී ඇතැයි එලු අත්තනගලු වංශයේ සටහන්ය.

කෙලෙස් ගිනි දැල් වලින් වෙලී අඳුරේ සිටි ලක්වැසියාට භයානක සංසාර සාගරයෙන් එතෙර වන මග පෙන්වා දුන් මෛත්‍රියේ මූර්තිය වූ භාග්‍යවතුන් වහන්සේ දස දහසක් සත්වයන්ගේ අමනුෂ්‍ය බිය දුරු කළ සේක. “කෙළ ගණන් සත්වයෝ සෝවාන් මග ඵල ලබා සංඛ්‍යාපථාතීත සත්වයෝ ධර්මාවබෝධය ලබමින් තිසරණ සරණ ගියැයි” මහාවංශයේ සඳහන් වේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය දැවෙද්දී ගෞරව බහුමානයෙන් ලබා ගත් ගී‍්‍රවා ධාතුව ධර්මසේනාධිපති සැරියුත් තෙරුණුවන්ගේ අතවැසි සරභු මහරහතන් වහන්සේ මහියංගණ සෑයේ දොළොස් රියනක වර්ණ පාෂාණ සෑයක් කරවා ආමිස පූජාවෙන් පිදුම් කළ සේක.

දේවානම්පියතිස්ස නිරිදාණන්ගේ මලණුවන් වූ උද්ධචුල්ලාභය කුමරු තිස් රියනක් කර වූ මියුගුණ සෑය සියක් වසකදී දුටුගැමුණූ රජුගේ විශිෂ්ඨ රාජ්‍ය අනුග්‍රහයෙන් අසූරියනක කංචුක චෛත්‍යයක් ලෙස ගොඩ නැංවූයේ ‘බලතා’ ගේ යෝධ බලයෙනි.

දෙවිවරු, රහතන් වහන්සේලා, අභිෂේක ලත් රජවරුන්ගෙන් පූජනීය වූ බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඉදි වූ ලොවේ ඉපැරැණි ස්මාරකය මියුගුණ සෑයයි.

මෙවන් සුවිශේෂී සිද්ධීන් ගැන පහන් සංවේගය ජනිත කරවා සතර සම්‍යයක් ප්‍රධන් වීර්යය උපදවා ලක්දිව් තලය සද්ධර්ම ප්‍රදීපයෙන් බැබළවීමට සමස්ත බෞද්ධයා ක්‍රියා කිරීම අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බුද්ධ ඤාණයෙන් එදා දුටු ධර්මද්වීපය තව දුරටත් සනාථ කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.