Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පරිසර හිතකාමීත්වයට බුදුදහමෙන් උපදේශ

ජලය පිරිසුදුව තබාගැනීම ඉතා වැදගත් කරුණක් ලෙස, විනයේ සඳහන් වෙනවා. ඒ සඳහා භාවිතා කළ යුතු උපකරණයක් දක්වලා තිබෙනවා. භික්‍ෂූන් විසින් ජලය පෙරා භාවිතා කළ යුතුයි. ඒ සඳහා පෙරහන් කඩයක් අනුදැන වදාළා. ‘පරිස්සාවත’ සෞඛ්‍ය සංරක්ෂණය සඳහාත් කුඩා ප්‍රාණීන්ගේ දිවි සුරැකීමටත් පැන් පෙරා පානය කළා. නොපෙරූ ජලය භික්ෂූන්ට අකැපයි. පෙරහන්කඩයක් නොමැතිවිට සිවුරු කොනෙන් හෝ ජලය පෙරාගත යුතුයි.

පරිසරයේ පවිත්‍රත්වය, ආරක්‍ෂාව හා එහි සෞඛ්‍ය සම්පන්න බවත් බුදුරදුන් අගය කළා. පාචිත්තිය පාලියට අනුව දේශනා කළේ තණනිල්ලක් අපිරිසුදු කිරීම පචිතී ඇවතක් බවයි. එයින් කියැවෙන්නේ, නිල්වන් තණකොළ මත මළමුත්‍ර හෙළීම , කුණු රොඩු ආදිය දැමීම, ඉඳුල් “හප” ඇට ආදිය හෙළීම නොකළ යුතු බවයි.

සුන්දරික භාරද්වාජ නම් ගොවි බමුණෙකු විසින් තමන් වහන්සේ වෙත පුදනලද පිළිගත නොහැකි ආහාරයක් ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ එය සප්‍රාණික වූ නිල් තණ නැති ස්ථානයක හෝ ප්‍රාණීන්ගෙන් තොර ජලයෙහි හෝ දමන්නැයි අවවාද කළේ පරිසර හානිය උන්වහන්සේ නොඉවසූ නිසාය.

“වැස්ස” තම පුතෙකු පෝෂණය කරන්නාක් මෙන් අලස පුද්ගලයාත්, අනලස් පුද්ගලයාත් පෝෂණය කරනවා. පොළොව ඇසුරුකළ සියලු ප්‍රාණීන් වැස්ස නිසාම ජීවත් වෙන බව එක් බුද්ධ දේශනාවක සඳහන් වෙනවා.

ජලය පිරිසුදුව තබාගැනීම ඉතා වැදගත් කරුණක් ලෙස, විනයේ සඳහන් වෙනවා. ඒ සඳහා භාවිතා කළ යුතු උපකරණයක් දක්වලා තිබෙනවා. භික්‍ෂූන් විසින් ජලය පෙරා භාවිතා කළ යුතුයි.

ඒ සඳහා පෙරහන් කඩයක් අනුදැන වදාළා. ‘පරිස්සාවත’ සෞඛ්‍ය සංරක්ෂණය සඳහාත් කුඩා ප්‍රාණීන්ගේ දිවි සුරැකීමටත් පැන් පෙරා පානය කළා. නොපෙරූ ජලය භික්ෂූන්ට අකැපයි. පෙරහන්කඩයක් නොමැතිවිට සිවුරු කොනෙන් හෝ ජලය පෙරාගත යුතුයි.

පානය කරන හෝ පරිභෝජනීය (පරිභෝජනයට ගන්නා) ජලය ආසන්නයේ සෙනසුන් ඉදි නොකළ යුතු බවත් ජලයට මළ මුත්‍ර පහ කිරීම කෙළ ගැසීමාදිය නොකළ යුතු බවත් පෙන්වා දුන්නේ ජල දූෂණය වළක්වාලීමේ අපේක්‍ෂාවෙන් වැස්සත්,ජලයත් අගය කළ බුදුරදුන් එහි දූෂිත බව වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ඇරැඹුවා.

ශාක මෙන්ම ඒවා ආශි‍්‍රත වූ හා නොවූ සත්ව ජීවිතත් පරිසරයට අයත් වෙනවා. බොහෝ ප්‍රාණීන් නිසා ගස් වැල් ද ගස් වැල් නිසා එම සතුන්ද පෝෂණය ලබනවා. සියලු ප්‍රාණීන්ට බුදු දහම අභය දානය ලබා දෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම බෞද්ධ ශික්ෂණයේ පළමු පියවර වෙනවා. ඒ සමඟම ප්‍රාණීන් කෙරේ කරුණාව, මෛත්‍රිය ප්‍රගුණ කරලීමටත් උගන්වනවා.

සතුන්ට මෙන්ම ගස් වැල් කෙරෙහිද කරුණා මෛත්‍රිය පෙරදැරිව කටයුතු කළයුතු බව බෞද්ධ දර්ශනය පෙන්වා දී තිබෙනවා. චුල්ලවග්ග පාලියේ වත්තඛන්ධයෙහි සවිස්තරව දැක්වූයේ’ “ යම් වෙහෙරක වෙසේද?, ඒ වෙහෙර බිම කුණු කසළ සහිත ද ඉදින් හැකිනම් පිරිසුදු කළ යුතුය.වෙහෙර පිරිසුදු කරන්නා විසින් පළමුව පාත්‍රා සිවුරු පිටතට ගෙනගොස් එක් පැත්තක තැබිය යුතුය.

බුමුතුරුණු එක් පසෙක තබා අව්වේ වේලා පිරිසුදු කොට ගසා දමා ඇතුළට ගෙන ගොස් පෙර තිබූ පරිදිම තැබිය යුතුය. ඇඳ එක් පසෙක අව්වේ වේලා පිරිසුදු කොට ගසා දමා පහත් කොට දොර පළු පිට නොගටා මැනවින් තිබූ ලෙසින්ම තැබිය යුතු බවයි.

තවදුරටත් දැක්වූයේ, “ඉදින් වෙහෙර මකුළු දැල් බැඳ ඇත්තේ වේද? , පළමුව ඉහළ සිට පහළට ඒවා ඉවත් කළ යුතුය. කුටියට එළියට වැටෙන ජනේල දොර පළුද, කුටියේ මුළු සතරද පිස දැමිය යුතුය.

වෙහෙර බිම කළු පැහැ කර ඇත්නම්, දූවිලි ඉහිර යනු නොදී දිය ඉස පිස දැමිය යුතු බවයි. මෙලෙස පාරිසරික පවිත්‍රතාව අගය කළා. පරිසරයේ වැදගත්කම හා එය මිනිස් ජීවිතයට බලපාන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ගිහි පැවිදි දෙපිරිසටම ලබාදුන්නේ පරිසර සංරක්‍ෂණයට ඔවුන් පෙළඹවීම සඳහායි.

පරිසරය කෙරෙහි භක්තියක් මිනිසුන් තුළ තිබිය යුතුයි. අනිසිලෙස පරිසරය පරිභෝග කිරීමෙන් සිදුවන හානි ,ජලය , ශබ්දය, වායුව, පාංශු දූෂණය හේතුවෙන් සිදුවන අයහපත ගැන මනා අවබෝධයකින් පසුවු බුදුරදුන් භික්‍ෂුනට නන් අයුරින් උපදෙස් දුන්නා.

භෞතික පරිසරය කෙරෙහි සුහද මිත්‍රශීලි හා සංවේදි ආකල්පයක් ඇති කරගැනීමට නම් පුද්ගලයා සතුව උසස් චරිත සංවර්ධනයක් තිබිය යුතු වෙනවා. එලෙස නොවූ විට අනිසි ලෙස පරිසරය භුක්තිවිඳීමට ඔහු පෙළඹෙනවා.

අල්පේච්ඡතාව එනම් අවම අපේක්‍ෂාවන් ඇතිබව ලද දෙයින් සතුටු වන (සන්තුස්සකෝ) පහසුවෙන් පෝෂණය කළ හැකි බව (සුභරෝ) කාර්යබහුල නොවූ (අප්පකිච්චෝ) සැහැල්ලු පැවතුම් ඇති (සල්ලහුක වුත්තී)) සන්සුන් ඉඳුරන් ඇති (සන්තින්ද්‍රියෝ ) මනා නුවණ ඇති (නිපකෝ) යනාදී උසස් ගුණාංග පුද්ගලයෙකු තුළ ගොඩනැඟීම පරිසරය තුළින් නිසි ප්‍රයෝජන ගැනීමටත් එය සුරක්‍ෂිත ලෙස පවත්වාගෙන යාමටත් හේතු වෙනවා.

එනිසා අපිස් පැවතුම් ඇති තැනැත්තා පාරිසරික සම්පත් භාවිතා කරන්නේ, බඹරෙකු වර්ණයද සුගන්ධයද නොපෙළා මලෙහි රොන් රසය පමණක් උරා ගන්නාක් මෙනි. ඔහු තණ්හාවට දාසයෙක් නොවෙයි. බෞද්ධ චින්තනයේ අපේක්‍ෂාව පුද්ගලයා සරල, සුඛ, නම්‍ය, සෞම්‍ය, ජීවිතයකට යොමු කරලීමයි. සම්පත් භාවිතයෙහිලා සංවරශීලි විය යුතු පුද්ගලයා ආහාර ගත යුත්තේ සිරුරෙහි පැවැත්ම පමණක් සලකායි.මැසි මදුරු උවදුරු ආදිය පිණිස පමණක් නිවාස පරිභෝග කරයි.

හටගත් ආබාධ දුරුකර ගැන්මට පමණක් ඖෂධ භාවිතා කරයි.අවමයෙන් තෘප්තිමත් වී උපරිමය අතිරේකයක් කොට සලකන සමාජ සංස්කෘතියක් තුළ පාරිසරික සම්පත් සැබැවින්ම වඩාත් හොඳීන් සුරක්‍ෂිත වෙයි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.