Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මියුගුණ මහ සෑ වන්දනාව අසදෘශ්‍ය මහා පින්කම දුරුතු පෝදා

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පළමුවරට මෙරටට වැඩමකර අවුරුදු 2600 ක් සම්පූර්ණවීම නිමිති කොටගෙන 2012 දුරුතු මස පසළොස්වක පොහෝ දින මයියංගණය රජමහ විහාරස්ථානයේ දී ‘’මියුගුණ මහ සෑ වන්දනාව - අසදෘශ්‍ය මහ පින්කම සහ සර්වඥ කේශ ධාතු ප්‍රදර්ශනය’’ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම පින්කම බෞද්ධයා මාධ්‍ය ජාලය, ශ්‍රී සම්බෝධි විහාරස්ථ සහ මහියංගන රජමහා විහාරස්ථ දායක සභාව, බෞද්ධ සංවිධාන එකමුතුවත් විසින් සංවිධානය කර ඇත.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහානායක අග්ගමහ පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරඛිත මහානාහිමිපාණන් වහන්සේ විසින් පසුගිය දා කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසූහ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම පින්කම සඳහා ලක්ෂයක් සැදැහැවතුන් සිල් සමාදන් කිරීම, නොළුම් මල්, පිච්චමල්, වනමල්, කෝටියක් පූජා කිරීම, 2600 ක් අටපිරිකර , බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම, විදුලි බුබුළු පන් ලක්ෂයක් හා අසූහාර දහසක් පහනින් පුදබිම ආලෝකමත් කිරීම, පලතුරු වට්ටි 100 කින් සුමන සමන් දෙවිරජුන් පිදීම ඇතුළු බොහෝ පින්කම් එදිනට සංවිධානය කර ඇත.

ගමනා ගමන පහසුකම්, සෞඛ්‍ය, ජලය, දන්සැල් සහ ආරක්ෂක වැඩපිළිවෙලක්ද එදින දවස පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එහිදී උන්වහන්සේ පැවැසීය. එම මාධ්‍ය හමුවට බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.