UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

ගරු සරු ඇතිව වාසය කරමු

ශාස්තෘ ගෞරවය තියෙනවා නම් යම් කෙනෙක් තුළ, ශාස්තෘන් වහන්සේ දේශනා කරල තියෙන කාරණා එයා පිළිපදියි ද? නැද්ද? පිළිපදිනවා. ඒක නිරායාසයෙන් සිද්ධ වෙන එකක්

අපේ දියුණුව ආරම්භ වන්නේ එකිනෙකා, කෙරෙහි ගරු සරු ඇතිව වාසය කරන්ට පුරුදු වීමෙන්, ගරු සරු ඇතිව වාසය කිරීමේදී අපි මොන ආකාරයෙන්ද ඒ ගරු සරු භාවය ඇති කර ගත යුත්තේ?

අපි, ශාස්තෘ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, ධර්ම ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. සංඝ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. ශික්‍ෂා ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. අප්‍රමාදය කෙරේ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ ධර්ම සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. ඊළඟට, සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ පවට ලැජ්ජාව කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. පවට භය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ.

මෙන්න මේ කාරණා වලින් යුක්තවීම කෙනෙකුගේ දියුණුවේ ආරම්භයයි. හොඳට බලන්න අප තුළ මෙන්න මේ ආකාරයේ ගෞරවාන්විත හැසිරීමක් තියෙනවද? කියල. ඒ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නෙ, යම් කෙනෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වනවා නම්, එයා ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා, සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වනවා. යම් කෙනෙක් ශාස්තෘන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නේ නැත්නම්, එයා ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙ නෑ. එයා සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත නැත්නම් පිරිස කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙත් නෑ. එයා ශික්‍ෂාව කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවද? ඒත් නැහැ. එයා අප්‍රමාදය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවද? ඒත් නැහැ. එයා සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙයිද? ඒත් නැහැ. එයා එතකොට හිරි ගෞරවයෙන් යුක්ත වෙයිද? පවට ලැජ්ජාව කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙත් නැහැ. පවට භය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙත් නැහැ.

එහෙනම්, අපි ශාස්තෘවහන්සේ කෙරේ ගෞරවයෙන් යුක්ත වුණොත් එයා ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. ආන්න එයා, පිරිස කෙරෙහි ගෞරවයෙන් යුක්තව වාසය කරනවා. එකට වාසය කරන පිරිස කෙරෙහි ගරුසරු ඇතිව යටහත් පහත් ගතිගුණ වලින් යුක්තව වාසය කරන්ට නම්, අපි කොතනින්ද පටන් ගත යුත්තේ ? ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ.

එතකොට, බලන්න, යම් කෙනෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම් ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම්, සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම්, ශික්‍ෂාව කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම්,අප්‍රමාදය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම්, සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම් බණ භාවනා කිරීම සම්බන්ධයෙන් ගෞවයෙන් යුක්තයි නම්, පවට ලැජ්ජාව කෙරෙහි , පවට භය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම්, ආන්න එයා එකිනෙකාට උපකාර කිරීමෙන් අසංවර වෙයිද? සංවර වෙයිද? සංවර වෙනව නේද? එබඳු ගෞරවයෙන් යුක්ත කෙනා ධර්මය ඉගෙන ගැනීමෙන් අසංවර වෙයිද? සංවර වෙයිද? එයා නිහතමානි වෙයිද? මාන්නෙට එයි ද? නිහතමානි වෙනවා. එසේ සංවර වෙන කෙනා තුළ ශ්‍රද්ධාව, හිරි ඔතප් , වීර්ය , ප්‍රඥාව පවතිනවා. ආන්න එයා තුළ ශීලය පිරෙනවා. එයා තුළ සම්මා දිට්ඨිය ඇති වෙනවා. එයා තුළ සම්මා සමාධිය දියුණු වෙනවා. අන්න එයාට ප්‍රඥාව පරිපූර්ණ කරගන්ට පුළුවන් වෙනවා. එහෙනම් අපි කොහෙන්ද පටන් ගෙන තියෙන්නෙ? ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇතිකර ගැනීමෙන්, එහෙනම් යම් කෙනෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කර ගන්ට අදක්‍ෂ වුණේ නැත්නම්, එයාට එකට වාසය කරන සබ්‍රහ්මචාරින් වහන්සේලා කෙරේ ගරු සරු භාවයෙන් යුතුව, යටත් පහත් ගතිගුණ ඇතිකර ගෙන වාසය කරන්ට පුළුවන් කියන දේ සිද්ධ වෙන්නෙ නෑ. එයා ගෞරවය අපේක්‍ෂා කරන්නෙ තමන්ට අන් අයට ගරු බුහුමන් කරන එකට සිත නැමෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, යම් කෙනෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තමාට සමාන අය ඇසුරු කරනවා නම් එයා පිරිහෙන්නෙ නෑ කියල. ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හීන අය ඇසුර කරන්ට එපා කියල තියෙනවා. එහෙම කළොත් එයා පිරිහෙනව. තමාට වඩා ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස් අය ඇසුරු කරන්ට කියල තියෙනවා. එහෙම කළොත් එයා වේගයෙන් දියුණු වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා. මෙන්න මේ ධර්මය යම් කෙනෙක් අදහා ගත්තොත් පිළිගත්තොත් එපමණකින් ම එයා ශාස්තෘ ගෞරවයට උරුමකම් කියන කෙනෙක්, ශාස්තෘන් වහන්සේට ගරු කරන කෙනෙක් බවට පත්වෙනවා. එයා තමාට වඩා ශීල, සමාධි, ප්‍රඥාවලින් හීන කෙනාගෙ ඇසුරට යාවිද? යනවා. කොහොමද? යන්නෙ. ඒ අයට අනුකම්පාව පිණිසයි. නැත්නම් එයාගෙන් උපකාර ගන්ට නෙමෙයි. එයාගෙන් ආස්වාදයක් ලබා ගන්ට යන්නේ නෑ. එහෙම යනවා කියන එක සිද්ධ වෙන්නෙ නෑ. ඇයි? ශාස්තෘ ගෞරවය තියෙන නිසා. ඒක ධර්මතාවක්

ශාස්තෘ ගෞරවය තියෙන කෙනා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සමාන අය ඇසුරු කරනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට සමාන අය ඇසුරු කරන කොට ශීල කතාවට ඒ අය පෙළඹෙනවා. සමාධි කතාවට ඒ අය පෙළඹෙනවා. ප්‍රඥා කතාවට පෙළඹෙනවා. එවිට ඒ කතාව ඒ අයට සුව පහසුව පිණිස පවතිනවද නැද්ද? සුව පහසුව පිණිස පවතිනවා. ආන්න ඒ විදිහට කතා කරනකොට සුව පහසුව ඇතිවෙනවා නම්, ඒ අය ළඟ ආරවුල් අමනාපකම්,මතභේද, රණ්ඩු සරුවල්, හටගනීද? හටගන්නේ නෑ. ඒ අය තුළ සංසිදීම තියෙනව නේද? මිත්‍ර භාවය තියෙනව නේද? එහෙනම් බලන්න කිරියි දියයි එකතු වුණා වගේ එකමුතුවීම තියනව ද නැද්ද? තියනවා. එහෙනම් එබඳු සුන්දර සමාජයක් ඇතිවන්නේ කුමක් මුල් කරගෙනද? ශාස්තෘ ගෞරවය මුල්කරගෙනයි. ශාස්තෘ ගෞරවය තියෙනවා නම් යම් කෙනෙක් තුළ, ශාස්තෘන් වහන්සේ දේශනා කරල තියෙන කාරණා එයා පිළිපදියි ද? නැද්ද? පිළිපදිනවා. ඒක නිරායාසයෙන් සිද්ධ වෙන එකක්.

ජීර්ණ පද්ධතිය හොඳට ක්‍රියාත්මක වන ශරීරයට පෝෂ්‍යදායි ආහාරයන් වළදපුවාම ශරීරයට ඒක ඔරොත්තු දෙනවද? නැද්ද? ඔරොත්තු දෙනව. ඒ වගේ ශාස්තෘ ගෞරවයට පැමිණුන ගමන් මේ ධර්මය එයා පිළිපදිනවා. ඒක සිද්ධ වෙන දෙයක්. ඒකයි මේ සංසාර ගමන නතර කරන්ට පුළුවන්කම තියෙන්නෙ. එහෙම නැත්නම් සංසාර ගමන නතර වෙන්නෙ නෑ. දැන් බලන්න ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙනවා නම්, එයා ශ්‍රද්ධාවට එනවා. ශ්‍රද්ධාවට ආපු කෙනා අතින් සතර අපායෙ වැටෙන කර්ම කෙරෙනවාද? කෙරෙන්නේ නෑ. එයා නිවන් මඟට එනවා නේද? එහෙනම් ශාස්තෘ ගෞරවය යම් කෙනෙක් තුළින් ගිලිහුණෙත් එයාට සංසාරෙන් නිදහස් වෙන අවස්ථාව ගිලිහිලා යනවා.

මතු සම්බන්ධයි

උඳුවප්
අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]