UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ ස්ථූප පුරාණය

බෞද්ධ විහාරස්ථානයක ඇති විහාරාංග අතර මුල් තැන හිමිවන්නේ ස්ථූපයටයි. ස්ථූපය, බෝධීන් වහන්සේ හා බුදු මැදුර යන ප්‍රධාන විහාරාංග අතරින් වන්දනා මාන කරන්නන් විසින් මුලින්ම වන්දනා කරනු ලැබිය යුත්තේ ස්ථූපය හෙවත් චෛත්‍යයටයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් එසේ වන්දනා කළ යුතු වෙයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් නොකළද එසේ චෛත්‍යයට මුලින් වන්දනා කිරීම බොදු සිරිතකි. ස්ථූපයට දාගැබ යන්නද යෙදේ. ධාතු ගර්භය යන අර්ථයෙනි.


රුවන්මැලි මහා සෑය (බුබ්බුලාකාර)

භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්මාරකයට ස්ථූප, ථූප යන වචන යෙදී ඇත. මෙවැනි ස්ථූප වර්ග පහක් පිළිබඳ 14 වැනි සියවසේ ලියැවී ඇති සද්ධර්ම රත්නාකාරය නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

1. ශාරීරික ධාතුන් සහ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍යය.
2. බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍රා ධාතුව වැනි පාරිභෝගික ධාතු තැන්පත් කර ඇති චෛත්‍යය,
3. ධර්මය තැන්පත් කර ඇති චෛත්‍යය.
4. බුදු, පසේ බුදු, මහරහත් හා සක්විති රජුන් වෙනුවෙන් තැනූ ස්මාරක,
5. පාංසුකූල වස්තූන් 23 න් එකක් ලෙසද චෛත්‍යය සැලකිය හැකි බව අංගුත්තර නිකායේ සඳහන් වේ.

බෞද්ධ ස්ථූප සියලුම බුදුන් වහන්සේ වෙනුවෙන් තනවන්නට ඇතැයි සැලකේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උදෙසා තැනූ චෛත්‍යයකට කේතකී මල් (වැටකොළු මල්) කිහිපයක් රැගෙන ශ්‍රද්ධාවෙන් ගිය කාන්තාවක එළදෙනක විසින් අනිනු ලැබ මියගොස් දෙව්ලොව උපත ලද බව විමානවත්ථු කතාවක සඳහන් වේ. අතීත අත්බැවෙකදී වැලි වලින් තනන ලද චෛත්‍යයකට ප්‍රසාද සිතින් වැඳීමේ පිනෙන් කල්ප තිහක් පුරා දුගතියක නොඉපිද සුගති ලෝකවලම උපත ලබා අවසන් අත්බවේදී ගෞතම බුදුසසුනේ ‘පුලින ථූපිය’ මහ රහතන් වහන්සේ නමින් ප්‍රකටව සිටි බවද සඳහන් වේ. මිහිරි කටහඬ ඇති භික්‍ෂූන් වහන්සේ අතර අග්‍ර තනතුර හිමි වූ ‘ලකුණ්ටක භද්දිය’ මහ රහතන් වහන්සේ ශරීර ස්වභාවයෙන් මිටි ස්වරූපයක් ගනී. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අතීතයේ වැඩ සිටි බුදුන් වහන්සේ කෙනකු උදෙසා චෛත්‍යයක් තැනවීමේදී එම චෛත්‍යය කුඩාවට තැනීමට යෝජනා කිරීම බව සඳහන් වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දාරුචීරිය මහරහතන් වහන්සේ හා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ ආදී රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට චෛත්‍ය තනා ඇත. බුදුන් වහන්සේ කුසිනාරා නුවරට වඩින විට විසාලා මහනුවර ගෝතමක චේතිය, සත්තිගුම්භ චේතිය සහ උදේනි චෛත්‍යයන්, පිළිබඳ වර්ණනාත්මකව දේශනා කර ඇත. උන්වහන්සේ ඉන් තෙමසකින් පසු පිරිනිවන් පාන බව ප්‍රකාශ කරනු ලබන්නේ චාපාල චෛත්‍ය අසලදී ය.


මහියංගණ දා ගැබ (ඝණ්ටාකාර)

සතර දෙනෙකුන් උදෙසා චෛත්‍ය තැනිය යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. බුදු, පසේ බුදු, මහරහත් උතුමන් වහන්සේ හා සක්විති රජු වෙනුවෙන් චෛත්‍ය තැනීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළහ.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා විසින් බෙදන ලද සර්වඥ ධාතූන් ලබාගත් රජවරුන් විසින් ඒ ඒ ප්‍රදේශවල සර්වඥ ධාතු නිදන්කොට චෛත්‍යයන් තනවන ලදී. ධර්මාශෝක රාජ්‍ය සමයේ දී චෛත්‍ය, වන්දනාව ඉතාම ජනපි‍්‍රයව පැවැති බව සඳහන් වේ. එම රජු විසින් අසූහාර දහසක් චෛත්‍යයන් කරවූ බවද ඓතිහාසික වාර්තාවල සඳහන් වේ.

දඹදිව පැවැති චෛත්‍ය අනුව මිහිඳු මහරහතන් වහන්සේගේ, අනුශාසනා පෙරදැරිව ඇරැඹි ශ්‍රී ලංකාවේ ස්ථූප නිර්මාණය අප රටට ආවේණික ලෙස විවිධ වෙනස්කම් සහිතව විකාශනය වූ බව පෙනේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් පැරැණිම චෛත්‍යය ථූපාරාමය ලෙස සලකයි. මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම ගෙන ඒමෙන් පසු තනවන ලදී. ඓතිහාසික වැදගත්කම අනුව ථූපාරාමය පැරැණි වුවද, මහියංගන දාගැබ හා ගිරිහඬු සෑය ඊට බොහෝ කලකට පෙර තනවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ථූපාරාමය තනවන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. ඉන් පසු උත්තිය රජතුමා විසින් මිහින්තලේ අම්බස්ථල චෛත්‍ය කරවන ලදී. දුටුගැමුණු රජතුමා තැනවූ රුවන්මැලි මහා සෑයෙන් මහාථූප තැනීම ඇරැඹෙයි. වළගම්බා රජතුමා, තැනවූ අභයගිරිය හා මහසෙන් රජතුමා තැනවූ ජේතවන දාගැබ එසේ විකාශනය වූ චෛත්‍යයන්ය. රුවන්මැලි සෑය මහා සෑය නමින් ද හඳුන්වති. ඊට හේතුව වැඩිම සර්වඥ ධාතූන් වහන්සේ, එනම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිදන් කොට තැනවීම නිසා ය.

පසු කලක විශාල චෛත්‍ය ඉදිකිරීම වෙනුවට චෛත්‍යයට අදාළ විවිධ අංග වඩාත් අලංකාර අයුරින් තනවන ලදී. වාහල්කඩ, පේසා වළලු, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොරවක්ගල සහ සඳකඩ පහණ එසේ වරින් වර වෙනස්වීම් වලට ලක්විය. කනිට්ඨතිස්ස රජු අභයගිරියට වාහල්කඩ සතරක් ඉඳිකළ බවක් සෙල් ලිපියක සඳහන් වේ. ගජබා රජුද මීටම වාහල්කඩ සතරක් ඉඳි කළ බව සඳහන් වේ. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ පැරැණිම වාහල්කඩක් ඒ තත්ත්වයෙන්ම දැකිය හැකි ය.

චෛත්‍යයක ඇති ප්‍රධාන අංගවල යම්කිසි අර්ථයක් ගැබ්වී ඇත.


දඹදිව කුසිනාරා නුවර පරිනිර්වාණ චෛත්‍යය (සිලිණ්ඩරාකාර )

පදනම – අසූහාර දහසක් ධර්මස්කන්ධය
පේසාවළලු තුන – ත්‍රිවිධ රත්නය
ගර්භය - සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම
හතරැස් කොටුව - චතුරාර්ය සත්‍යය
දේවතා කොටුව - දිව්‍ය ලෝක
කොත් කැරැල්ල – නවාංග සත්ථු ශාසනය
කොත – නිර්වාණය

මේ හැර චෛත්‍යයක තිබිය යුතු උපාංග කීහිපයක් ද වෙයි.

1. සලපතල මළුව
2. වැලි මළුව
3. වැලි මළුවේ ප්‍රාකාරය
4. ආයක (වාහල්කඩ)
5. පාද්‍රෝණි 6. තොරණ
7. කොරවක්ගල්
8. හත්ථි ප්‍රාකාරය
9. ථූපඝර
10. කැටයම්


බුත්තල යුදඟනාව (පද්මාකාර හැඩයට සමීපය)

මේ සෑම උපාංගයක්ම සෑම චෛත්‍යයකම අඩංගු නොවේ. මේ උපාංග සියල්ලක්ම අඩංගු එක් ස්ථූපයක් නොමැත. නිදසුන් වශයෙන් වාහල්කඩ සැම ස්ථූපයකම තිබී නැත. ථූපාරාමය හා ලංකාරාමය වැනි ස්ථූපවල නැති අතර රුවන්මැලි සෑය, අභයගිරිය හා ජේතවන දාගැබ්වල තිබී ඇත. එම උපාංගය ක්‍රි.ව. 02 වැනි සියවසේ දී එක්වී ඇති බව පෙනේ. ථූපඝරය ස්ථූපය ආවරණය කිරීමටත්, වන්දනාකරුවන්ගේ පහසුවටත් තනා ඇති අතර වසභ රජු ථූපාරාමයට පසු කලෙක ථූපඝරයක් තනා ඇත. විශාල චෛත්‍යඝර හෙවත් ථූපඝර ඉඳිකර නොමැත.

ස්ථූප ප්‍රමාණය පිළිබඳ මූලධර්මවල ඒ ඒ ස්ථූප අංගවල තිබිය යුතු මිනුම් ප්‍රමාණ දැක්වේ. ඒ ප්‍රමාණ මූල ධර්ම අනුව චෛත්‍යයේ මුළු උස කොටස් 24 කට බෙදිය යුතු ය. එම උස පහත සඳහන් ආකාරයට බෙදාගත යුතු ය.

පේසා වළලු සඳහා 5 1/2
ගර්භය සඳහා 8
හතරැස් කොටුව 2 1/2
නම් නොකළ අංගයකට 1 1/2 (දේවතාකොටුව විය හැක)
කොත් කැරැල්ල 6
ඡත්‍රය පිණිස 1/2

(පසු කාලයේ දී එක් වූ අංගයක්) මුලු ප්‍රමාණයෙන් 24

ශ්‍රී ලංකාවේ හා වෙනත් රටවල ඇති චෛත්‍ය විවිධ හැඩයෙන් යුක්තය. ප්‍රධාන වශයෙන්ම ස්ථූප වර්ග සය ආකාරයක් ඇති බව සලකයි.

ඝණ්ටාකාර ඝටාකාරං - බුබ්බුලාකාර ධාන්‍යකං


පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය (චතුරශ්‍රාකාර)

පද්මාකාරාම්ල ෂට්විධං

මේ පාලි පාඨය අනුව ස්ථූප වර්ග 6 ක් දැක්වේ.

1. ඝණ්ටාකාර
2. ඝටාකාර
3. බුබ්බුලාකාර
4. ධාන්‍යාකාර
5. පද්මාකාර
6. ආමලකාකාර

ඝණ්ටාකාර

ඝණ්ටාවක හැඩය ඇති චෛත්‍යයයි. ක්‍රි.ව. 08 – 10 සියවස්වල ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රකටව තිබූ චෛත්‍ය වර්ගයයි. ශ්‍රී ලංකාව, බුරුමය හා තායිලන්තය වැනි රටවල මේ චෛත්‍ය වඩාත් ජනපි‍්‍රය වේ. දැනට ඇති බොහෝ චෛත්‍ය මේ ගණයට අයත් වේ.මහියංගණ දා ගැබ, ථූපාරාමය, අම්බස්ථල චෛත්‍යය හා ලංකාරාමය එවැනි චෛත්‍ය කිහිපයකි.

ඝටාකාර

කළයක හැඩයෙන් යුත් චෛත්‍යයයි. මේ හැඩයෙන් යුත් ධාතු කරඬුවක් වයඹ පළාතේ නිකවෑකන්ද නම් ස්ථානයෙන් සොයාගෙන ඇත. යටාල වෙහෙරද කලින් මේ හැඩයෙන් තිබී ඇතැයි සැලකේ. කතරගම කිරි වෙහෙර සෝමාවතී චෛත්‍යය, සිතුල් පව් දාගැබ සහ මඟුල් මහ වෙහෙර මුලින් ඝටාකාර හැඩයෙන් තිබෙන්නට ඇතැයි සැලකේ.

බුබ්බුලාකාර

දිය බුබුලක හැඩයෙන් යුත් චෛත්‍යයි. මේ වර්ගයේ චෛත්‍යයද බෙහෙවින් දක්නට ලැබේ. රුවන්මැලි සෑය, අභයගිරිය, ජේතවන දාගැබ, පොළොන්නරු, කිරි වෙහෙර, කතරගම කිරි වෙහෙර, රන් කොත් වෙහෙර, මිරිසවැටිය සහ තිස්සමහාරාමය ඊට උදාහරණයන්ය.

ධාන්‍යාකාර

ධාන්‍ය ගොඩක හැඩයෙන් යුත් චෛත්‍යයයි. ථූපාරාමය මුලින් තිබී ඇත්තේ මේ හැඩයටය. දැනට ඇති මේ හැඩයෙන් යුත් එකම දාගැබ කැලණි චෛත්‍යයයි. උතුරු මැද පළාතේ ඔත්තප්පුවෙන් මෙවැනි දාගැබක නටබුන් සොයාගෙන ඇත.

පද්මාකාර

නෙළුම් මලක හැඩයෙන් යුත් චෛත්‍යයයි. දැනට මෙවැනි චෛත්‍ය ශ්‍රී ලංකාවේ නොමැත. දැදිගම කොට වෙහෙරෙහි ධාතු ගර්භයකින් මෙවැනි කරඬුවක් ලැබී ඇත. පොළොන්නරුවේ දෙමළ මහා සෑය හා බුත්තල යුදඟනාවද එම වර්ගයට සමීප වේ.

ආමලකාකාර

නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුත් චෛත්‍යයයි. ශ්‍රී ලංකාවෙන් නිදසුන් නැත. දෙවැනි අග්බෝ රජු ආමලක චේතිය නම් චෛත්‍යයක ඡත්‍රය කරවූ බව ථූප වංශයේ සඳහන් වේ. දැදිගම කොට වෙහෙරෙන් මෙවැනි හැඩයේ කරඬුවක් ලැබී ඇත.

ලෝකයේ ඇති චෛත්‍ය අතර මීට අමතරව ද හැඩයන් වර්ග කිහිපයක් දක්නට ඇත.

පලාණ්ඩවාකාර

ළූනු ගෙඩියක හැඩයෙන් යුත් චෛත්‍යයයි. නැදිගම්පල චෛත්‍යය මේ වර්ගයට අයත් යැයි සැලකේ.

අණ්ඩාකාර

බිත්තරයක හැඩයක් ඇති ස්ථූපයයි. රුවන්මැලි සෑයෙන් ලැබුණු කරඬුවක මෙවැනි හැඩයක් ඇත. ඉඳිකටු සෑයේ මේ හැඩයට ආසන්න හැඩයක් ඇත.

චතුරශ්‍රාකාර

මහායාන රටවල ඇති පැගෝඩා මීට නිදසුන් වේ. පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයද ඊට උදාහරණයකි.

අෂ්ටශ්‍රාකාර

අටපට්ටම් හැඩයයි. අනුරාධපුර ප්‍රාචීන පබ්බත විහාරයේ චෛත්‍ය මේ වර්ගයට අයත් යැයි සැලකේ.

සිලිණ්ඩරාකාර

දඹදිව කුසිනාරා නුවර පරිනිර්වාණ චෛත්‍යය මීට නිදසුනකි. කුඩුම්බිලද මෙවැනි චෛත්‍යයක් ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ජාතුවංගොඩ දම්සක් විහාර මන්දිරයේ ද මෙබඳු හැඩයේ චෛත්‍යයක් ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන චෛත්‍යය කිහිපයක් පිළිබඳ හැඳින්වීමක් මෙසේ දක්වමු.

ථූපාරාමය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලදී. උස අඩි 55 කි.

අම්බස්ථල චෛත්‍ය - උත්තිය රජු විසින් කරවන්නට යෙදුණි.

මිරිසවැටි දාගැබ - දුටුගැමුණු රජු විසින් කරවන ලද මේ චෛත්‍යය මුලදී අඩි 200 ක් උසට තිබී ඇත.

රුවන්මැලි සෑය - දුටුගැමුණු රජු විසිනි. උස අඩි 300 කි.

අභයගිරි දාගැබ - වළගම්බා රජු විසිනි. උස අඩි 350 කි.

ජේතවන දාගැබ - මහසෙන් රජු විසින් කරවන්නට යෙදුණි. දැනට උස අඩි 232 කි. මුලින් අඩි 400 ක් තිබී ඇත.

කිරි වෙහෙර (පොළොන්නරුව) - පරාක්‍රමබාහු රාජ බිසව භද්‍රාවතී දේවිය විසින් කරවන ලදී.

පබළු වෙහෙර (පොළොන්නරුව) – රූපාවතී බිසව විසිනි.

රන් කොත් වෙහෙර (පොළොන්නරුවේ රුවන්මැලි සෑය) - නිශ්ශංක මල්ල රජු විසිනි. උස අඩි 186 කි.

මහියංගණය - බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට සම දෙවියන් සත් රියන් උසට තනා ඇත. සරභූ මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ගි‍්‍රවා ධාතුව තැන්පත් කොට 12 රියන් උසට තනා ඇත. උද්ධ චූලාභය රජු 30 රියන් උසටත්, දුටුගැමුණු රජු 80 රියන් කොටත් තනා ඇත.

ගිරිහඬු සෑය - බුදුන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කොට තපස්සු, භල්ලුක වෙළෙඳ සොයුරන් විසින් තැනූ බව විශ්වාස කරති.

ලංකාරාමය - වළගම්බා රජු විසිනි.

කැලණිය - යටාලතිස්ස රජු විසිනි.

තිස්සමහාරාමය - යටාලතිස්ස, ගෝඨාභය (මාගම) යන රජවරුන් තනවා ඇති අතර කාවන්තිස්ස රජු විශාල කර ඇත.

සේල චෛත්‍යය - ලංජතිස්ස රජ විසිනි.

කතරගම කිරි වෙහෙර - මහසෙන් රජ විසිනි.

යටාල දාගැබ - මහානාග රජු විසින් කරවන්නට යෙදුණි.

දීඝවාපි චෛත්‍යය - සද්ධාතිස්ස රජු විසිනි.

කණ්ඨක චෛත්‍යය - ලංජතිස්ස රජු විසින් කරවන ලදී.

යුදඟනාව - රත්නාවලී බිසව විසිනි.

උඳුවප්
අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]