Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම ඇසීමෙන් නිවැරැදි මාවතකට

අපි යම් දෙයක් අසන විට එය අසන අවස්ථාවේ අපේ සිත පිහිටා තිබෙන ස්වභාවය මත තමයි ඒ කරන ප්‍රකාශනයේ නිවැරදි තොරතුරු අපට ලැබෙන්නේ. සාමාන්‍ය ලෝකයේ සංනිවේදන ශිල්පීය ක්‍රම අනුවත් එසේමයි. යම් කෙනෙක් යමක් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳව අවධානයකින් නො සිටියහොත් ඒ ප්‍රකාශය නිවැරැදිව අපට ලබා ගන්නට නො හැකි වෙනවා. බණ ඇසීමේදීත් එම අවධානය අපට අවශ්‍යයි. එය යෝනිසෝ මනසිකාරය යි. ඒ සිහිය පිහිටුවා ගෙන බණ ඇසීමයි

සාරසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අපමණ වෙහෙසක් දරමින් තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් මේ නිර්මල වූ ධර්මය පිරිසුදුව අපට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදාවී තිබෙනවා.භාග්‍යවතුන් වහන්සේ වදාළා ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපේ ජීවිතවලට අපමණ පිනක් රැස්වෙන බව. පින පව, හොඳ නරක මෙන්ම ජීවිතය පිළිබඳව ගැඹුරු අවබෝධයකටත් අපේ ජීවිත රැගෙන යාමට ධර්ම ශ්‍රවණය උපකාරි වෙනවා.

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ධම්මස්සවන සූත්‍රයේ සඳහන් වෙනවා පංචමේ භික්ඛවේ ආනිසංසා ධම්මසවනේ් කතමේ පංච – අසුතං සුනාති - සුතං පරියෝ ධපේති - කං කං විහරති - දිට්ඨං උජුං කරෝති – චිත්තමස්ස පසීදසි - පංච ආනිසංසා ධම්මස්සවනාති යනුවෙන්.

ධර්ම ශ්‍රවණයේදී පුරුදුකළ යුතු ගුණධර්ම තමයි මේ දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙන්නේ. ඔබට සිතෙයි බණ අසනවා කියන කාරණය පහසු සරළ දෙයක් ලෙස. නමුත් මේ කාරණය වගකීම් සහිතව කළයුතු දෙයක්. අපි යම් දෙයක් අසන විට එය අසන අවස්ථාවේ අපේ සිත පිහිටා තිබෙන ස්වභාවය මත තමයි ඒ කරන ප්‍රකාශනයේ නිවැරදි තොරතුරු අපට ලැබෙන්නේ. සාමාන්‍ය ලෝකයේ සංනිවේදන ශිල්පීය ක්‍රම අනුවත් එසේමයි. යම් කෙනෙක් යමක් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳව අවධානයකින් නො සිටියහොත් එම ප්‍රකාශය නිවැරැදිව අපට ලබා ගන්නට නො හැකි වෙනවා. බණ ඇසීමේදීත් අවධානයක් අපට අවශ්‍යයි. එය යෝනිසෝ මනසිකාරය යි. ඒ සිහිය පිහිටුවා ගෙන බණ ඇසීමයි. එසේ නිවැරැදිව සිහිය පිහිටුවා ගෙන දේශනාව අසන විට තමා අසන ලද දේශනාව තුළින් උපරිම ප්‍ර‍්‍රතිඵල ලැබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් වදාරණ විට විවිධ ක්‍රම ඒ සඳහා උපයෝගි කරගෙන තිබෙනවා. සමහර පුද්ගලයෙක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට එන්නේ ඔහුට ඕනෑකමක් අවශ්‍යතාවයක් තිබෙන නිසායි. අද මම මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැන ගත යුතුයි කියා ඔහුට යම් අරමුණක් තිබෙනවා. ඒ අරමුණ පැහැදිලි කර ගන්න දැන ගන්න තිබෙන කැමැත්ත නිසා ඒ ධර්ම දේශනාව කන් යොමා අසනවා.

එසේ නොමැතිව පොදුවේ කරන දේශනාවක දී එසේ ඉලක්ක අරමුණක් නැතුවත් දේශනා අසන්නට පිරිස එනවා. සමහර විට ඔවුන් එන්නේ තමා ඇසුරු කරන පුද්ගලයෙක් එන නිසා වෙන්නත් පුළුවන්. නැතිනම් භාග්‍යවතුන් වහන්සේගේ සාමාන්‍ය ස්වරූපය දැකීමට වෙන්නත් පුළුවන්. නැතිනම් වැඩ සිටින ස්ථානය දැකීමට හෝ කවුරුන් හරි කරන වර්ණනාවක් නිසා වෙන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා නිශ්චිත අරමුණක් ඇතිව ධර්මය ශ්‍රවණය කිරීමෙන් තමාට සිහිය පිහිටුවා ගැනීමට එය උපකාර වෙනවා.

මෙම ගාථාවේ මුලින් ම සඳහන් වෙන්නේ අසුතං සුනාති තමා නො ඇසූ දහමක් අසන්නට ලැබෙනවා.

අද සමාජයේ අපි ධර්ම දේශනයකට බෞද්ධ නිවසකට යනවිට අප දන්නවා අප කථා කරන්නේ බෞද්ධ පිරිසකට කියා. එනිසා අප මුලින්ම ආමන්ත්‍රණය කරනවා බෞද්ධ පින්වතුනි කියලා. නමුත් එදා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් අමතන විට බොහෝ වෙලාවට විවිධ අදහස් දරන අන්‍යාගමික පිරිස් එතැන සිටියා. ඒ අයටත් බෞද්ධ ශ්‍රාවකයාටත් නො ඇසූ දෙයක් එහිදී අසන්නට ලැබෙනවා. එවිට ඔවුන්ගේ මනසේ යම් ප්‍රබෝධයක් ඇති වෙනවා. මෙතැනට එනවාට වඩා දැන් මගේ ජීවිතයට අලුත් කරුණු එකතු වුණා කියලා සිත සතුටට පත් වෙනවා.

සමහර දේශනාවලදී ගිහි ගෙදර සාර්ථක කර ගන්නා ආකාරයේ ඉතාමත් සරළ දේශනාවක් කරන්නට පුළුවන්. එය ඉතා සරළ ලෙසයි හැඟෙන්නේ. නමුත් ශ්‍රාවකයා එය අසා අලුතින් තවත් යමක් සින්නට පුරුදු වෙනවා. මා කරන කියන දේ පින් පවු තිබෙනවා. එය මේ මේ ආකාරයට විපාක දෙනවා කියලා ශ්‍රාවකයා තේරුම් ගන්න නිසා එක් පියවරක් ඉදිරියට යනවා. ධර්ම ශ්‍රවනය තුළින් නො ඇසූ දෙයක් අහන්නට ලැබීමට අපට ලැබෙන එක් ප්‍රතිලාභයක්.

ඊළඟට සුතං පරියෝ ධපේති - සමහර අවස්ථාවලදී ධර්ම දේශකයන් වහන්සේ ධර්මය දේශනා කරන විට නිතරම ගිහි ජනතාව වෙනුවෙන් සරළ මාතෘකා ඔස්සේ අනුශාසනා කරනවා. එවිට යමෙකුට සිතන්නට පුළුවන් මේ දේශනාව මා මීට පෙරත් අසා තිබෙනවා. එනිසා නැවත නැවත ඇසිය යුතු නැහැ කියලා.

නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇසූ දහම් කරුණක් වුවත් නැවත නැවත ඇසීම තුළින් තමාගේ් ජීවිතය තුළ තිබෙන වැරැදි නිවැරැදිි කර ගන්නට පුළුවන් බව. ඔබ දන්නවා එක එක දේශකයන් වහන්සේලාගේ දේශනා ග්‍රහණය කර ගන්නා ශ්‍රාවක පිරිස වෙනස්. එක දේශකයකුගේ් කටහඬ, වචන උච්චාරණයටත්, තව දේශකයකුගේ බුද්ධිමය කරුණුමය වශයෙනුත් ධර්මය විස්තර වන ආකාරය විවිධ විය හැකියි. එනිසා ධර්මය ශ්‍රවණය කිරීම තුළින් නො ඇසු දේ අසන්න ලැබෙනවා වගේම ඇසූ දෙයත් නැවත නැවත අසන්නට ලැබෙනවා. එය ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිලාභයක්.

ඊළඟ කාරණය කං කං විහරති ඒ කියන්නේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ධර්මය පිළිබඳ සැක සහිත අවස්ථාවන් ඇති වුවොත් එය තුනිකර ගන්න නැතිකර ගන්න අවස්ථාව උදාවෙනවා. කලින් ඒ දහම් කරුණුම ශ්‍රවණයේ දී යම් යම් කායික ආබාධ හෝ බාහිර පරිසරයේ එන ගැටලු නිසා හෝ බොහෝම සුළු කාලයකදී විශාල වැදගත් කරුණක් ගිලිහී යන්නට පුළුවන්. එසේ මඟ හැරීමක් නිසා ඒ පුද්ගලයාට ධර්මය පිළිබඳව යම් සැකයක් ඇතිවූවානම් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් නො වූවානම් නැවත නැවත ඒ මාතෘකා ඔස්සේ කරන දේශනා ශ්‍රවණය කිරීමෙන් ඒ සැකය දුරුකර ගන්නට පුළුවන්. එනිසා ඔබ ධර්ම ශ්‍රවනය සැහැල්ලු කොට ලඝුකොට නොසිතා එය උතුම් කටයුත්තක් ලෙස සිතන්න.

භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා දිට්ඨං උජුංකරෝති - තමාගේ දැක්ම,දෘෂ්ඨිය නිවැරදි කර ගන්නට ධර්ම ශ්‍රවණය උපකාර වෙනවා.

මෙය ඉතාමත් වැදගත් කාරණයක්. වර්තමාන සමාජයේ විවධ දේශකවරුන්ගේ දේශනාවලදී එකම දේශනාව දේශකවරුන් දෙදෙනෙක් දෙවිදියකට කියා දෙන්නට පුළුවන්. එතැනදී ශ්‍රාවකයා නිවැරැදිි දෘෂ්ටියකට පැමිණ නොතිබුණොත් ඔහුට ඒ දේශනාව පැටලෙනවා. එනිසා ශ්‍රාවකයා නැවත නැවත ධර්මය ශ්‍රවනය කර හෝ සාකච්ඡා කොට හෝ ඔහුට අවකාශය ලැබෙන පරිදි ඔහුගේ් දැක්ම අදහස නිවැරැදිි කර ගන්නට ඕන. එම ප්‍රතිලාභය ලැබෙන්නේත් ධර්මය ශ්‍රවණය තුළිනුයි.

ඊළඟට අපට කියා දෙනවා චිත්ත මස්ස පසීදසි - මේ සියල්ල සමඟම ධර්ම ශ්‍රවණය තුළින් ලැබෙන තවත් ප්‍රතිලාභයක් තිබෙනවා. ඒ තමා ධර්මය ඇසීමෙන් නැවුම් ප්‍රසන්නතාවක් ශ්‍රාවකයා තුළ හට ගන්නවා. සමහර විට ධර්ම ශ්‍රවණය කරන ප්‍රදේශය තුළින් ඒ ප්‍රසන්නතාව ඇතිවෙන්න පුළුවන්. දේශනා කරන විලාසය මතත් ඒ ප්‍රසන්නතාවය ඇතිවෙන්න පුළුවන්. අද වර්තමානයේ කාව්‍ය ස්වභාවයෙන් හෝ වෙනස් විවිධ ක්‍රම මගින් ධර්මය දේශනා කරන බව අප දන්නවා. නමුත් සිදුවිය යුත්තේ එය නොවේ. ඊට වඩා අවබෝධාත්මකව මනසේ හැදෙන ධර්ම විග්‍රහය නිසා ස්වකීයවම ශ්‍රාවකයාට නැවුම් අලුත් ප්‍රසාදයක් ගොඩනැ¼ගීමයි. එය ඕලාරික සතුටක් නොවේ. මම මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් තුණුරුවන් කෙරෙහි ප්‍රසාදයක් ඇතිවුණා කියා ශ්‍රාවකයාගේ සිතේ අප්‍රමාණ සතුටක් ඇතිවෙනවා. එවිට තව තවත් ධර්මය ඇසීමටත් ධර්මය විමසන්නටත් දහම් කරුණු සොයන්නටත් ඔහු යොමු වෙනවා. ඔහුගේ මනසේ ප්‍රසාදය වැඩි වෙනවා. එය මහත්වූ ප්‍රතිලාභයක්.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.