Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසරින් එතෙර වන්නේ කවුද?

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින අවදියේ සැවැත්නුවර එක නගරයක මිනිස්සු එකතු වී මහා සංඝයා වෙත දානයක් පිරිනමා රාත්‍රී ධර්ම දේශනයක් ද කරවූහ. එම ධර්ම දේශනාව ඇසූ අය ඉතාම ටික දෙනෙකි. බොහෝ දෙනෙක් කාම රාග ආදී හැඟීම්වලට බර වී දහම් අසන්නට නො ඉඳ තම නිවෙස්වලට ගියහ. දහම් අසන්නට රැඳී සිටි අයගෙන් සමහර අය නිදිමතෙන් ද, මානය, ඊර්ෂ්‍යාව ආදී කෙලෙස්වලින් බර වූ සිතිවිලි වලට යට වී සිටි නිසා දහම් අසන්නට අපොහොසත් විය.

පසුදින දම්සභා මණ්ඩපයට රැස් වූ භික්‍ෂූන් වහන්සේ එම සිද්ධිය ගැන සාකච්ඡා කරමින් සිටියහ. බුදුරජාණන් වහන්සේ එම දහම් ශාලාවට වැඩ මහණෙනි! මා එන්නට පෙර ඔබ සාකච්ඡා කරමින් සිටියේ කුමක් ගැනදැයි ඇසූහ. එවිට භික්‍ෂූන් ස්වාමීනි! පෙරදින සැවැත් නුවර මිනිසුන් මහා සංඝයාට දන් පිළිගන්වා එදින රාත්‍රියේ පැවැත් වූ ධර්ම දේශනය ශ්‍රවණය කළ ආකාරය ගැන කථා කරමින් සිටිය බව පැවසූහ. එම සිද්ධිය මුල්කරගෙන,

අප්පකාතෙ මනුස්සෙසු
තෙජනාපාර ගාමිතො
අථායං ඉත රා පජා
තීර මේවානු ධාවතී
යෙ ච ඛො සම්ම දක්ඛා තෙ
ධම්මෙ ධම්මානු වත්ති නො
තෙජනා පාරමෙස්සන්ති
මච්චු ධෙය්‍යං සුදුත්තරං

යනුවෙන් මෙම ගාථා දෙකෙන් භික්‍ෂූන්ට ධර්මය දේශනා කළහ. එම ගාථා දෙක පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ. මහණෙනි! ගංගාවලින්, ඇළ දොළවලින්, මහා සාගරයෙන් එතෙර වී ඇත. නමුත් එය නියම එතෙරවීමයයි, නොසිතන්න.

එම සියලුම ජලාශවලට වඩා පුළුල් වූද, ගැඹුරු වූද, දිග් වූද, කෙලවරක් සොයාගත නොහැකි වූද, අතිවිශාල ජලාශය නම්, සංසාර සාගරයයි. නුඹලා විසින් අනිවාර්යයෙන් තරණය කළ යුත්තේ එම සාගරයයි. සංසාරය යනු පඤ්චස්ඛන්ධය නිසා ඇතිවන ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනන්ත දුක් සමූහයාගේ නොනැවතී පැවැත්මයි. මෙම සසර සයුරෙන් එතෙරවිය හැකි අය ඇත්තේ ඉතා සුළු පිරිසකි. අපමණ සත්ව පිරිසක් සසර සයුරෙන් එතෙරවිය නොහැකිව, මෙතෙරට වී, අපමණ දුක් විඳිමින් දුව ඇවිදිති. එයට ප්‍රධාන හේතුව සසර සයුරෙන් එතෙර වීමට වීර්යය නොකිරීම හා නොදන්නාකමය.

බුදුරජාණන් වහන්සේ, සසර සයුරෙන් එතෙරවීමට කැමති අය අනුගමනය කළයුතු කරුණු කීපයක් මෙසේ දෙසූහ. එනම්,

1. මනුෂ්‍යාත්මයක් ලබා ගැනීම.

2. බුද්ධ කාලයක ඉපදීම.

3. සම්‍යග් දෘෂ්ටිකයෙකු වීම.

4. ශ්‍රද්ධා වන්තයෙකු වීම.

5. වීර්යවන්තයෙකු වීම.

මෙම කරුණු මුල්වීමෙන් උපත ලබන අය ඉතා දුර්ලභය. සමහර අය මනුෂ්‍යත්ව උපත ලැබුවත් සම්‍යග්දෘෂ්ටික නොවෙති. සම්‍යග්දෘෂ්ටික වුවත් ශ්‍රද්ධාව වීර්යය ආදී අත්‍යවශ්‍ය ගුණයන්ගෙන් යුක්ත නැත. මේ සියලු ගුණයන්ගෙන් යුක්තව උපත ලැබුවත් සමහර අය ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල නොගෙන විනාශයට පත්වෙති. එයට හේතුව හොඳ නරක සරු නිසරු දෙක වෙන්කර ගැනීමට අත්‍යවශ්‍ය ප්‍රඥාව නැතිකමය. එවැනි අය පස්පව් දස අකුසල් වල කාය දී දුශ්චරිතයන්හි ගැලී වාසය කොට සතර අපායෙහි ඉපදීමට පාර සකසා ගනිති. එවැනි අයගෙන් ඔහුට පමණක් නොව සමාජයටම සිදුවන්නේ අයහපතක්මය.

මෙසේ අකුසල් කිරීම නිසා කල්ප කෝටි ගණන් අභව්‍ය ස්ථානයන්හි ඉපදෙමින් සසරෙන් එතෙර විය නොහැකිව අනන්ත දුක් විඳිති. එමනිසා සසර දුකින් මිඳීමට අවශ්‍ය මඟ සලසා ගැනීමට ශක්තියක් ඇති ප්‍රඥාවන්ත මිනිසත් බවක් ඔවුන්ට ලබා ගැනීමට පුළුවන් වේ යයි සිතිය නොහැකි ය.

නොයෙක් කෙලෙස් වලට වසඟ වෙමින් සසරේ සැරිසරණා අවුත් යම් කලක මිනිසත් බවක් ලබා සම්‍යග්දෘෂ්ටිකව උපන්නත් ඔහුට සසර සයුරෙන් එතෙර වීමට අවශ්‍ය පිළිවෙත්වල යෙදීම ඉතා දුෂ්කරය. බොහෝ කාලයක් මුළුල්ලේ ලෝභ, ද්වේෂ, මෝහ, ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා ආදි කෙලෙස්වලට යටපත්ව ආ නිසා සසරින් එතෙරවීමට කරන ප්‍රතිපත්තිද එම කෙලෙස්වලට අනුකූලවන ආකාරයට කිරීම සිරිතකි.

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමට සූදානම් වන අවස්ථාවේ අප්‍රමාණ දෙවියන් බ්‍රහ්මයන් පැමිණ දිව්‍යමය මල් පහන් සුවඳ ආදියෙන් උන්වහන්සේට පූජා කර අවසාන ගෞරව දක්වන්නට පටන් ගත්හ.

එය දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට කතා කොට ‘ආනන්දය! දෙවියන්, බ්‍රහ්මයන් මෙතනට පැමිණ මල් පහන් සුවඳ දුම් ආදියෙන් මට පූජා කරන්නට සූදානම් වෙනව. නමුත් එය මට කරන නියම පූජාව නොවේ. යමෙක් මම දේශනා කළ උතුම් ප්‍රතිපත්තියෙහි හැසිරේද, ඔහු මට උතුම් පූජාවක් කරයි’ කියා දෙසූහ.

බුදුහිමියන්ගේ මේ වචනයේ හැටියට උන්වහන්සේට නියම ලෙස පූජා කිරීමට සූදානම් වන බෞද්ධයකු සොයා ගැනීම ඉතා අපහසුය. එයට හේතුව බොහෝ දෙනා බුදුහිමියන් පිදීමට සූදානම් වන්නේ මල්, පහන්, සුවඳ ආහාර ආදී ආමිස පූජාවන්ගෙන්ය. ප්‍රතිපත්ති පූජාවෙන් නොවේ. ඔවුන්ට මේ රුදු ගොර සසරින් එතෙර වන්නට නොහැකි ය.

බෞද්ධ ගිහි පැවිදි අප හැම දෙනාම බුදුරදුන් දෙසූ ප්‍රතිපත්තියට අනුව කය, වචනය, සිත හසුරුවන්නට සූදානම් වෙමු. එය බෞද්ධ අපගේ යුතුකමය. නියම බුද්ධ පූජාව වන්නේ ය. ‘යො ධම්මං පස්සති සො මං පස්සති’ යමෙක් මාගේ ධර්මය අනුව ජීවත් වන්නේද, මාගේ ධර්මය ප්‍රඥාවෙන් දකීද ඔහු මා දකී’ යනුවෙන් දේශනා කළේ එම නිසා ය. ගිහි අය විසින් නිතර රැකිය යුතු සීලය පන්සිල් ය.

එයින් පුද්ගලයා නීති ගරුක, යුක්ති ගරුක, යහපත් සීලාචාර අයෙක් වෙයි. කරුණු පහකින් අභය දානය දෙන කෙනෙක් වෙයි.

පන්සිල් මනාව රකින අයට පොහෝ දින අටසිල් රකින්න චිත්තශක්තිය ඇතිවෙයි. එය ගිහියකු විසින් පිරිය යුතු උසස් ප්‍රතිපත්තියකි. එම උසස් සිල්වත් බව නිසා කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥා ආදී ගුණ ධර්ම ජීවිතයට පුරුදුවෙයි. ඉතා නරක අයෙක් නමුත්, නිති පන්සිල් පොහොය අටසිල් රැකීමට පුරුදු කළහොත් ඔහු යහපත් අයෙක් වෙයි. එවිට ඔවුන් බුදු, පසේ බුදු, මහරහත් යන උතුමන් වහන්සේලාගේ ජීවිතයට මඳක් ළං වෙයි. එය උතුම් සැපයකි.

උතුම් ප්‍රතිපත්ති පිරීමෙන් බුදුරජාණන් වහන්සේ පුදන්නට සිතට ගන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.