Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 දහම් කැකුළු

දිවි මඟට යමක්

“යො බාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතං වාපි තෙන සො
බාලොච පණ්ඩති මානි
සවේ බාලොති වුච්චති”

මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දෙව්රම් වෙහෙරෙහි දී ගැට කපන සොරු දෙදෙනකු අරභයාය.

සැවැත් නුවර සොරු දෙදෙනෙක් සිටියහ. මේ සොරු දෙදෙනා සැවැත් නුවර දෙව්රම් වෙහෙරට බණ ඇසීමට යන මිනිසුන් සමඟ ගොස් බණ ඇසුවෝ ය. මේ දෙදෙනාගෙන් එක් අයෙක් බණ අසා සෝවාන් විය. අනික් තැනැත්තා බණ ඇසූ පිරිස අතරින් කෙනෙකුගේ ඉණේ බැඳ තිබුණ රත්‍රං ටිකක් සොරා ගෙන ගෙදර ගියේය.

සෝවාන් ඵලයට පැමිණි සොරාගේ බිරිය“ තොප අති පණ්ඩිත බැවින්, බොහෝ ගුණවත් බැවින් මේ ගෙදර කැඳවත් නැත. අනිත් සොරුන්ගේ ගෙයි බතින් බුලතින් අඩුවක් නැතැ” යි මැසිවිලි නැගුවාය. මේ මැසිවිලි අසපු සෝවාන් පුද්ගලයා දෙව්රම් වෙහෙරට ගොස් ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැන්වීය. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාවෙන් දහම් දෙසූ සේක.

අනුවණ තැනැත්තා තමා අනුවණ බව දනී නම්, ඒ කාරණයෙන් හෙතෙම පණ්ඩිතයෙක් හෝ ඒ හා සමානයෙක් වන්නේය. යම් අනුවණයෙක් “ මට වඩා පණ්ඩිතයෙක් නැතැයි සිතනවා නම් ඔහු පරම අඥානයෙක් යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වේ. එදා හෙළදිව දහම් දීපයක්ව තිබිණ. නමට පණ්ඩිත වූවාට ඔහු තුළ හෝ ඇය තුළ තිබෙන්නේ අධම ක්‍රියා නම්, අධම සිතිවිලි නම් ඔහු හෝ ඇය පණ්ඩිතයෙක් යනුවෙන් හැඳින්වීමට කිසිසේත් නොහැකිය.

“පණ්ඩිතා නාම පාණාතිපාතා වේරමණී ආදි කුසල කම්ම පථ සමනතාගතා සත්තා” බුදුරජාණන් වහන්සේ පණ්ඩිතයෙක් යනු කවරෙක්ද කියා මේ ගාථා ධර්මයෙන් දේශනා කර ඇත. පණ්ඩිතයො යනු සතුන් මැරීමෙන් වැළකීම ආදී දස වැදෑරුම් කුසල කර්මයන්හි නියුක්ත සත්වයෝය. පණ්ඩිතයෙකු හැඳින ගැනීමට ලක්ෂණ තුනක් ඇත. එනම් ප්‍රගතිගාමිව සිතන එසේම කියන දේ කරන, කරන දේ කියන ලක්ෂණ තුනය. තවද පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරමින්, සිරිත් විරිත් මොනවාද යන්න මනාව අවබෝධ කර ගෙන ජීවත් වන අයද පණ්ඩිතයන් ලෙස සැළකේ.

“නජඣා වසලොහොති
නජඣා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලොහොති
කම්මනා හොති බ්‍රාහ්මණො”

කෙනෙකු බමුණෙක් හෝ වසලයෙකු හෝ වන්නේ, උත්පත්තියෙන් නොවන බවත්, එසේ වන්නේ තමා කරන ක්‍රියාවෙන් බවත් බුදුන් වහන්සේ දේශනා කළ සේක.

සිත, කය, වචනය යන තුන් දොර අසංවර කරගෙන අධම ලෙස ජීවත් වන අයට අනුවණ (මෝඩ) යනුවෙන් හඳුන්වා ඇත.

මෙවැනි උතුම් දහම් තිබියදීත් තවමත් අධම මිනිසුන්, අඳුරේ සිටින මිනිසුන් කොපමණ සිටින්නේ ද ?

ජීවිතයේ නිසරු බව අවබෝධ කරගෙන තමා තුළ යහපත් ඇවතුම් පැවතුම් ගොඩ නගාගෙන, තිරිසන් සත්වයා හා මිනිසා යන දෙදෙනා කවුරුන් ද යනුවෙන් හඳුනා ගැනීමට හැකිවන ආකාරයට ගුණ ධර්ම දැන හැඳිනගෙන ප්‍රගුණ කරගෙන නිසංසල පරිසරයක නිහැඬියාව මෙන් නිස්කලංකව ජීවත් වෙන්නට වෙර දරමු.


අධ්‍යාපන චාරිකාව

එගොඩවෙල ශ්‍රී උතුරුගිරි විහාරස්ථානයේ ශ්‍රී අරුණ දහම් පාසලේ වාර්ෂිකව ඇති දහම් පාසල් අධ්‍යාපනය චාරිකාව එදා යෙදී තිබිණි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රධාන ආචාර්යතුමා ඇතුළු ගුරු මණ්ඩලය ළමයින් සමග හිමිදිරි උදෑසන ගමන ආරම්භ කළෙමු.

අප සියලුම දෙනා පළමුව පිය නැගුවේ දළදා මාලිගාව දෙසටය. පාර දෙපසද වූ පුංචි දිය පහරක් අහසින් විහිදුණු වතුර මලක් සේය. එය ඉතාමත් අලංකාරව අහස දෙසට යන අයුරු අපි සියලු දෙනා බලා සිටියෙමු. බස් රිය පාරේ අයිනක නතර කර සුදු ඇඳුමින් සැරැසී අපි සියලුම දෙනා දළදා මාලිගාව දෙසට පිය නැගුවෙමු. එහිදී මහ සෙනගක් මැද සුදු ඇඳුමින් සැරසුණු අපව කැපී පෙනෙන්නට වුණි.

එහිදී පොලිස් නිලධාරින් කඩිමුඩියේම සෙනඟ දෙපසට කර ඉඩ කඩ සකසා අප සියලුම දෙනාට වැඳ පුදා ගන්නට ඉඩ සලස්වා දුණි.අප සියලුම දෙනා සිත් සේ වැද පුදා ගත්තෙමු අප දළදා මාලිගයෙන් පසු බස්රිය වෙත ළඟා වන විටත් සවස් වී තිබිණි. ගඟ අසලට වූ අපි සියලුම දෙනා දහවල් ආහාරය ගත්තෙමු. අප සැවොම දහවල් ආහාරය ගත් පසුව යළිත් අම්බුලුවාව දෙසට පිය නැගුවෙමු. ගස් ගල් අතරින් එතෙර වූ අපි ඉහළ අහසේ ගල් පරයට විහිදුණු අහස උසට නැගි ඇති කුළුණක් දුටුවෙමු. එය ඉතාමත් අලංකාරව ඉහළ අහසේ කැපී පෙනන්නට වුණි. අපගේ ගුරුවරු එය අම්බුලුවාව කියා හැදින්වූහ. අපි සෑම දෙනාම ඉතාමත් සතුටින් අම්බුලුවාවට පියමන් කළෙමු. පාරේ දෙපස අලංකාර මල් ගස් හා ගල් පරවලින් යුක්ත වු ඉතාමත් සුන්දර පරිසරයක් තිබිණි.

හමා ගිය සුළඟ අපේ ඇ‍ෙග් තැවරී යන්නට වුණි.අපි බසින විටත් ඉරත් අප සමඟම ඈත අහසේ කෙමෙන් කඳු ගැටයකට මුවා වන්නට විය. ගස් ගල් වලින් එතෙර වූ අපි සියලු දෙනා සතුටු සිතින් නිවෙස් වලට යාමට පිටත් වුණෙමු. අතර මගදී පුංචි කුසගින්නක් දැැණුනු කුඩා ළමයින් ගුරු භවතුන් දැනුවත් කළේය. ගුරු උපදෙස් පරිදි කඩය දෙසට ගිය අපි වාඩි වී සිටියෙමු. කාරයකින් බැස ආ අම්මා කෙනෙකු අප දෙස ඇස් නොපියා බලා සිිටියාය. ආචාර්යතුමා සමඟ මෙම මාතාව කථා බහේ් යෙදෙන්නට වූවාය. ආචාර්යතුමා සමඟ මෙම මාතාව කථා බහේ සිටිදී ඇගේ ස්වාමිපුරුෂයාද අප සමඟ කථා කළේය. පසුව අපගේ ගරු භවතා පැවසුවේ ස්වාමින් වහන්සේ ඇතුළු ළමයින් පිරිසට මෙම මව සහ පියා විසින් ආහාර අපට අරන් දුන් බවයි.

අප සියලුම දෙනාට මෙම අම්මාගේත් තාත්තාගේත් පින් සිත අදහා ගත නොහැකි විය.ආහාරගත් අපි මෙම මවට හා පියාට වැන්දෙමු. ඔවුන් කීවේ හොඳීන් ඉගෙන ගෙන රටට වැඩදායක පුරවැසියෙකු වීමට කටයුතු කරන්න කියාය. අපට පසුව දැනගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනාගේ පුතාගේ් උපන් දිනය නිමිත්තෙන් මෙම දාන වේල පිරිනැමූ බවය. උපන්දින වෙනුවෙන් අනවශ්‍ය වැඩ කරන මිනිසුන්ට මෙම දෙදෙනා ආදර්ශමත්ය. මෙම මවට හා පියාටත් ඔහුගේ පුතාටත් අපි සියලුම දෙනා අවංකව තුති පුදමු.



ධර්ම සංගායනාව
ඉමාෂා තේමින්දි ද සේරම්,
5 ශ්‍රේණිය,
බප/ජය අනුලා විද්‍යාලය


බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දූත පිරිසට දම් දෙසීම
යනෙත් චන්සිළු ද සේරම්
2 ශ්‍රේණිය, ඒ, නාලන්දා විදුහල


අම්මා

දස මසක්ම කුසේ තියා සෙනෙහස පෑ අම්මා
ලේ කිරි කරලා පොවළා සවිය දුන්න අම්මා
කැත කුණු අතගාමින් මා ඇති දැඩි කළ අම්මා
මෙතෙ බුදුන් බුදුවන දා නිවන් දකින අම්මා


දුවේ ! පුතේ !

අම්මට තාත්තට දිනපතා වඳීන්න

ආදරණීය දුවේ, පුතේ පුංචි ඔබේ දෑගිලි එක්කර දොහොත් මුදුන් තබා කරන උතුම්ම මෙහෙවර තෙරුවන් නැමදීමයි. ඔබගේ මල් පෙති සේ සුසිනිදු පුංචි අතපය සෙනෙහසින් ඇති දැඩි කළේ දුවගේ, පුතාගේ දයාබර මවුපිය දෙදෙනායි. ආදරයේ උල්පත වූ සෙනෙහෙබර මවුපින්ට දුවත්, පුතාත් සදා ණය ගැතියි. පුංචි ඔබේ දෑත් එක්කර ගෙදර බුදුන් වූ මවුපියන්ට නමස්කාර කිරීම කළ ගුණ දන්නා බොදු දරුවෙකුගේ යහපත් ගුණාංගයක්.

ඒ වාගේම ඔබේ දෙවන මවුපියෝ වන්නේ ආදරණීය ගුරු මෑණිවරුයි. ඔවුන්ගේ සෙනෙහසට තුරුළු වී ආදරණීය දුව,පුතා ඉගෙන ගත් මුල්ම පාඩම මවුපිය නමස්කාරයයි.

දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයු දීඝං වස්ස සතං
මාතුපාදං නමාමහං

පුංචි දුවගේ , පුංචි පුතාගේ ආදරණීය අම්මාට උදේ, සවස මෙම ගාථාව කියා නමදින්න. එහි තේරුම සිතේ දරා ගන්න.

දස මසක් කුසේ දරාගෙන මෙලොවට බිහි කළ පුංචි මාව ආදරයෙන් පෝෂණය කළා. “අම්මාට දීර්ඝායු ලැබේවායි” පවසන්න.

දුවට , පුතාට ආදරබර පියාගෙන් ලැබෙන රැකවරණය යෝධ සෙවණැල්ලක් වගෙයි. දහඩිය මහන්සියෙන් ඔබව පෝෂණය කරන ආදරණීය පියාණන්ගේ පා නමදිමින් උදේ සවස මේ ගාථාව කියන්න

වුද්ධිකාරෝ අලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජ මජ්ඣං සුපතිට්ඨං
පීතුපාදං නමාමහං

පුංචි දුවට, පුතාට මවුපියන් දක්වන කරුණාව මහා සාගරයක් හා සමානයි. ඔවුන්ට පුංචි ඔබෙන් වරදක් සිදු වුණොත් ගාථා කියමින් පසඟ පිහිටුවා වඳිමින් සමාව ඉල්ලන්න. එවිට මවුපියන්ගේ මෛත්‍රී සහගත බව ආශිර්වාදය දුව, පුතාගේ ජීවිත වලට තව තවත් ශක්තිය සපයයි. ආදර්ශවත් ගුණාංගයක් වූ මවුපියන් නැමදීමෙන් ලැබෙන ආශිර්වාදය ජීවිතයට මහා බලයක් බව සලකන්න. ඔබ නිසි අධ්‍යාපනයක් ලබා කවර තලයක වැජඹුණත් මවුපියන්ට ගාථා කියා උදේ සවස නමදින්න අමතක කරන්න එපා. එවිට බබළන පලිගුවක් සේ ඔබේ ජීවිතය තව තවත් ඔපවත් වෙයි.

සිරිත් මල්දම, සාම ජාතකය, පරාභව සූත්‍රය, මහා මංගල සූත්‍රය, මවු පිය ගුණ අගයනවා. භයානක සංසාර සාගරයෙන් එතෙර වන මග කියා දීමට ලොවුතුරා බුදු බව පැතූ බෝසතාණන් වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුණේ තම ආදරණීය මැණියන්ගෙනුයි මෑණියන්ගේ ආශිර්වාදය ඒ තරමටම බලවත්.

අතීතයේ සිටම බෞද්ධ සංස්කෘතියෙන් අපට උරුම වූ මේ ගුණාංගය මතු පරපුර වෙත දායාද කරවීමේ වගකීම ඇත්තේ ආදරණීය දුවේ පුතේ ඔබේ අතේය.

හෙට ඔබ උස් මහත් වේවි. හැබැයි ඒ නිසරු ගසක් වගේ නොවේ. සඳුන් රුකක් වගේ ඔබගේ සුවඳ දස අත පැතිරෙයි.

ඔබ ඔබගේ වගකීම යුතුකම අදම ඉටු කරන්න. හෙට උපදින දරුවාගේ ජීවිත හැඩ ගස්වන පරමාදර්ශී චරිතයක් වන්න. එවිට ලෝකය ලස්සන වේවි . සුවඳින් පිරී ඉතිරී යාවි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.