UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහාචෝර සූත්‍රයෙන්

විවිධ අඩුපාඩු කම් හා දුර්වලකම් නිසා මිනිස් සමාජයෙහි සුළු සුළු සොරකම් සිදුවෙයි. එවැනි පුංචි සොරකම් කිරීම ද වරදකි. පාපයකි. සමාජයේ යහපත් පැවැත්මට හා දියුණුවට බරපතළ තර්ජනයක් වන මහා පරිමාණයේ සොරකම් හැම විටම සිදු නොවෙයි. හැම කෙනෙකුටම එවැනි සොරකම් කළ නොහැක. එවැනි සොරකම් වල යෙදෙන අය මහාචෝර හෙවත් මහ හොරුන් ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වූහ.

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන මහාචෝර සූත්‍රයෙහි විස්තර කෙරෙණුයේ එම මහ හොරුන් ගැනයි. එහි සඳහන් කරුණු වලට අනුව මහ හොරුන් කවුරුන්දැයි හඳුනා ගැනීමට හා ඔවුන්ගෙන් සමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමට ද හැකිවෙයි. මහ හොරුන්ගේ ගති ලක්‍ෂණ ඇති පවිටු මහණුන් පිළිබඳව ද එම සූත්‍රයෙහි දේශනා කර ඇත. මහාචෝර සූත්‍රයෙහි සාරාංශය මෙසේ දැක්විය හැකිය.

මහ හොරා නදී දුර්ග පර්වත දුර්ග ඇසුරු කරමින් සොරකමෙහි යෙදෙයි. ඔහු ඝන වනාන්තර ඝන තණ පඳුරු හා ඝන වන ලැහැබ් ඇසුරු කරයි. රජුන් මැති ඇමතිවරුන් වැනි බලවතුන් ඇසුරු කිරීම ද මහ හොරාගේ තවත් ලක්‍ෂණයකි. කිසියම් කෙනෙක් තමන්ට එරෙහිව කිසිවක් කියතොත් එම බලවතුන් තමා වෙනුවෙන් පෙනී සිට තමන් නිදොස් කරන්නේය යන විශ්වාසයක් මහ හොරා තුළ ඇත. එසේම බලවත්තු මහ හොරු වෙනුවෙන් පෙනී සිට ඔහුගේ වැරදි යටපත් කර දමා සොරකමට ඉඩ සලසා දෙති.

අග්ගඤ්ඤ, කූටදන්ත වැනි සූත්‍ර දේශනා විමසා බලන විට මිනිස් සමාජයේ මුලින්ම ඇති වන නපුරු ක්‍රියාව සොරකම බව පෙනී යයි. “දාලිද්දියේ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි” යනුවෙන් දේශනා කර ඇති පරිදි දිළිඳුකම බහුල වූ විට අදින්නාදානය හෙවත් සොරකම බහුල විය.  සොරකම නිසා ප්‍රාණඝාතය, බොරු කීම, කාම මිථ්‍යාචාරය වැනි වැරදි සමාජ ගත විය.

මහ හොරාගේ තවත් ලක්‍ෂණයක් නම් තමන් සොරකම් කළ ධනය අවශ්‍ය අයට බෙදා දෙමින් සොරකමට මග හදා ගැනීමයි. තම රහස් හෙලි වී සොරකමට බාධා පැමිණෙතැයි යන බිය නිසා බොහෝ සෙයින්ම මහ හොරු හුදකලාව ජීවත් වෙති. මෙවැනි ගති ලක්‍ෂණ ඇති මහ සොර තෙමේ ගෙවල් බිදීම්, පැහැර ගැනීම්, මංකොල්ලකෑම් ආදී මහ හොරකම් කරයි.

මහ හොරුන් වැනි පවිටු මහණුන් පිළිබඳව බුද්ධ දේශනයේ සාරංශය මෙසේය. පවිටු මහණ තෙමේ විෂම වූ කාය වාග් මනස් කර්ම වලින් යුක්ත වෙයි. එනම් කයින් වචනයෙන් හා සිතින් විෂමාචාරයන්හි හැසිරෙයි. මිත්‍යා දෘෂ්ටි අදහස් තිබීම තවත් ලක්‍ෂණයකි. රජුන් මැති ඇමතිවරුන් වැනි බලවතුන් ළඟින් ඇසුරු කරමින් පවිටු මහණ තෙමේ තමන්ට එරෙහිව සිටින අය යටපත් කරගෙන පවිටු ක්‍රියා වල යෙදෙයි. තමන්ට ලැබෙන සිව් පසයෙන් අවශ්‍ය අයට සංග්‍රහ කර එරෙහිව එන අය වලක්වා ගැනීම ද පවිටු මහණාගේ ලක්‍ෂණයකි. එසේම පන්සල් වල නොව ගෙවල් හදා ගෙන වාසය කරමින් ලාභ ලෝභ උපයා ගැනීම ද පවිටු මහණාගේ ලක්‍ෂණයකි. මෙවැනි ලක්‍ෂණ ඇති පවිටු මහණ තෙමේ ගුණ දහමින් තොරව ජීවිතය පවත්වා ගෙන යන අතර නුවණැතියන්ගේ නින්දාවට ලක් වෙමින් බොහෝ අකුසල් ද රැස් කර ගනියි.

අග්ගඤ්ඤ, කූටදන්ත වැනි සූත්‍ර දේශනා විමසා බලන විට මිනිස් සමාජයේ මුලින්ම ඇති වන නපුරු ක්‍රියාව සොරකම බව පෙනී යයි. “ දාලිද්දියේ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි” යනුවෙන් දේශනා කර ඇති පරිදි දිළිඳුකම බහුල වූ විට අදින්නාදානය හෙවත් සොරකම බහුල විය. සොරකම නිසා ප්‍රාණඝාතය, බොරු කීම, කාම මිථ්‍යාචාරය වැනි වැරදි සමාජ ගත විය. එම ප්‍රවණතාව මිනිස් සමාජය මුළුමනින්ම විනාශ වීම දක්වා වර්ධනය විය. එබැවින් සොරකම යනු සමාජයක් විනාශ වීමට මුල් වන විශාල ලෙස බලපාන පාපී ක්‍රියාවක් බව ඉතා පැහැදිලිය. හොරාට ගණ දෙවි නුවණ ඇතැයි ද කියමනක් තිබේ. එයින් කිය වෙන්නේ හොරාට කපටි කෛරාටික නුවණක් ඇති බවයි. අප රටෙහි පසුගිය කාලයේ ප්‍රසිද්ධ වූ දඬුවම් මුදලාලි ලා සක්විත්තෝ හා ප්‍රභාකරන් වැන්නෝ ද මහ හොරුය. පාතාලයට සම්බන්ධ අය ද එම ගණයට වැටෙයි. එම මහ හොරුන් තුළ මහාචෝර සූත්‍රයෙහි දක්වන සියල්ලම හෝ කිහිපයක් හෝ අඩුම තරමින් එකක් හෝ පැවති බව ඔවුන්ගේ කටයුතු විමසා බලන විට පෙනී යයි.

රජ මැති ඇමතිකම් දරන බලවතුන් ඇසුරු කිරීම හොරකම් කිරීමට මෙන්ම තම රැකවරණයට ද මහ හොරුන් යොදා ගන්නා උපක්‍රමයකි. බලවතුන් ඇසුරු කිරීමෙන් ඔවුන් අපේක්‍ෂා කරන්නේ හොරකමට එරෙහිව සිටින අය යටපත් කර ගෙන දිගින් දිගටම මහ හොරකම් කිරීමයි. බලවත්තු එසේ මහ හොරුන් ආරක්‍ෂා කිරීමට ක්‍රියා කරති.

මහ හොරුන්ගේ තවත් ලක්‍ෂණයක් නම් සොරකම් කළ ධනය අවශ්‍ය අයට බෙදා දෙමින් දිගින් දිගටම සොරකම් කිරීමට මග හදා ගැනීමයි. මේ අන්දමින් මහ හොරු දේශපාලකයන්ට, ආගමික ආයතන වලට හා සමාජ සේවා ආයතන වලට ද පරිත්‍යාග කරමින් හොරකම දිගටම කරගෙන යෑමට මග හදා ගනිති. මහ පිංකම් කරන බව පෙන්වමින් මහ හොරකම් කරති. “ හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස්” වැනි කියමන් සකස් වී ඇත්තේ ඔවුන් සඳහා ය.

ආයුධ සන්නද්ධව හැසිරෙන මහ හොරු තමන් නීතියේ ග්‍රහණයට අසු කර ගැනීමට නොහැකි වන ලෙස අන් අයට යා නොහැකි විෂමස්ථාන හා දුර්ගස්ථාන ඇසුරු කරමින් ජීවත් වෙති. නීතියේ ග්‍රහණයට අසු වුව ද සොරකම් කළ මහ ධනස්කන්දයෙන් සුළු ප්‍රමාණයක් අදාළ අයට බෙදා දී දඩුවමින් වැළකී සිටීමට ද ඔවුහු දක්‍ෂයෝ වෙති.

හොරකම් කළ ධනය තමන්ට අවශ්‍ය පරිදි තබා ගැනීමේ හා තමන්ගේ රහස් තොරතුරු අන් අයට හෙළිදරව් නොවන ලෙස කටයුතු කිරීමේ අදහසින් ඔවුහු තනිව ජීවත් වීමට ද පෙළඹෙති. මෙසේ සොරකම් කිරීම එදා සමාජයෙහි මෙන්ම සමාජයෙහි ද ජීවනෝපාය මාර්ගයක් බවට පත්ව ඇත. මුදල් උපයා ගැනීම සඳහා වෙනත් කිසිදු රැකියා ආදිය නොකරමින් හොරකමින්ම ජීවත් වන මහ හොරු නිසා සමාජයට සිදු වන අසාධාරණය වලක්වා ලීමට නම් ඔවුන් තම ඇසුරට ගෙන මහ හොරුන් ආරක්‍ෂා කිරීමේ බලවතුන්ගේ ක්‍රියා පිළිවෙත නතර විය යුතුය.

මහ හොරුන්ගේ ගති ලක්‍ෂණ පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ පවිටු මහණුන් තුළ ද එවැනිම ගති ලක්‍ෂණ ඇති බව මහාචෝර සූත්‍රයෙහි දේශනා කරති.

කයින් වචනයෙන් හා සිතින් විෂමාචාර ඇතිව කටයුතු කිරීම (විෂම නිස්සිත) මිස දිටුවන් ඇසුරු කිරීම (ගහන නිස්සිත) බලවතුන් ඇසුරු කිරීම (බලව නිස්සිත) තමන්ට ලැබෙන සිව්පසය අදාළ අයට බෙදා දී පාපි ක්‍රියාවන් දිගටම කරගෙන යෑමට මග හදා ගැනීම (භෝගචාගි) නිවාස හදා ගෙන තනිව වාසය කිරීම (ඒකචාරි) යන මේවා පවිටු භික්‍ෂූන් තුළ ඇති ගති ලක්‍ෂණයි.

කයින් වචනයෙන් හා සිතින් විෂමාචාරයන්හි හැසිරීම භික්‍ෂුවකට තබා ගිහියෙකුට වුව ද නොහොබිනා දෙයකි. එහෙත් එවැනි පවිටු භික්‍ෂූන් සංඝ සමාජයෙහි නැත්තේ නොවෙයි. මිසදිටුවන් ඇසුරු කරමින් ඔවුන්ගෙන් ලාභ ලෝභ ලබන හා සර්වාගමික සංකල්පයක එල්ලී මිසදිටු අදහස් ඇතිව ක්‍රියා කරන පවිටු මහණුන් අදත් දක්නට ලැබෙයි.

විවිධ ජාවාරම් කරමින් එමගින් මුදල් උපයා ගනිමින් එම කටයුතු සිතු සේ ඉටුකර ගැනීමට බලවතුන් ද ඇසුරු කරන පවිටු මහණෝ ද වෙති. තමන්ට ලැබෙන සිව්පසය හෝ වැරදි මගින් උපයා ගන්නා ධනය තමන්ට එරෙහි වෙතැයි සිතෙන අයට බෙදා දෙමින් එදිරිවාදිකම් ඇතිවීම වලක්වා ගෙන දිවි ගෙවන පවිටු මහණෝ ද සිටිති.

පන්සල් වල හෝ ආරණ්‍ය වල නොසිට පෞද්ගලික නිවාස වල තනිව ජීවත් වන පවිටු මහණුන් ගැන ද තොරතුරු නැත්තේ නොවෙයි. ඇතැමුන් තමන්ට නිදහසේ ජීවත්වීම සඳහා එසේ කරන බව පෙන්වා දෙතත් සත්‍යය නම් තමන්ගේ පාපී ක්‍රියාවන්ට මග හදා ගැනීමයි. එය ආත්ම වංචාවක් මිස විවේක සුවයෙන් විසීමක් නොවෙයි.

මහ හොරුන්ට ඉඩ දීමෙන් සමාජය දූෂිත වි පිරිහී යයි. එබැවින් මහ හොරුන් අල්ලා නිසි දඩුවම් දී ඔවුන්ගෙන් සමාජයට වන හානිය වලක්වාලීම පාලකයන්ගේ යුතුකමයි. එහෙත් පාලකයන් මහ හොරුන්ට රැවටී හෝ යටවී හෝ ඔවුන්ගෙන් ලාභ ලෝභ ලබමින් ඔවුන්ට ඉඩ දී ක්‍රියා කරතොත් සමාජය විනාශ වී යෑම වැලැක්විය නොහැක.

මහ හොරුන් වැනි පවිටු මහණුන් නිසා ජනතාව සමස්ත භික්‍ෂූන් කෙරෙහිම කළකිරෙන අතර බුදු සසුනේ පැවැත්මට ද හානි සිදුවෙයි. එවැනි පවිටු මහණුන්ට සසුනෙහි සිට ක්‍රියාත්මක වීමට ඉඩ නොදීමට ශාසනභාරධාරි මහ තෙරුන් වහන්සේලාගේ මෙන්ම බුදු සසුන ආරක්‍ෂා කොට පෝෂණය කිරීමේ වගකීමට කැප වී සිටින රජයේ ද යුතුකම විය යුතුය.

බුදුරජාණන් වහන්සේ මහ හොරුන් හා එබදු ගති ඇති මහණුන් ගැන ද මෙසේ පැහැදිලි කර ඇත්තේ ඔවුන් තේරුම් ගෙන ඔවුන්ට එරෙහිවීමට මෙන්ම ඔවුන්ගෙන් ජන සමාජය හා බුදු සසුන රැක ගැනීමට බව ද අප වටහා ගත යුතුය.

උඳුවප් අව අටවක පොහොය

උඳුවප් අව අටවක පොහොය දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි.
18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම දෙසැම්බර් 18 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]