UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

විශේෂ තත්වයට පත්වෙන ධර්මතා

2011. 12. 02 පත්‍රය හා සම්බන්ධයි.

අපි පසුගිය ලිපියෙන් ධර්ම මාර්ගයේ විශේෂ තත්වයකට පත්වීමට බාධා කරන්නාවූ බාධා ඇති වන්නාවූ කාරණා හයක් පිළිබඳ කතා කරමිනුයි හිටියේ. අපි මෙම ලිපියෙන් ඒ පිළිබඳව තව දුරටත් කතා කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

අපේ ජීවිතය විශේෂ තත්ත්වයකට පත් කර ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, සමථ විදර්ශනා කියන මේ ධර්මයන් පුරුදු කිරීමට අපි කැමැති විය යුතු වෙමු. මේ ජීවිතය විශේෂ තත්වයකට පත් කර ගන්ට නම්, මේ ධර්මයන් අපි යථාභූත වශයෙන් දැන ගන්ට ඕනැ. ඒ කියන්නෙ ඒ ධර්මයන් ඇති සැටියෙන් ම අපි දැන ගන්ට ඕනැ. එසේ දැන නො ගත්තොත් අපි දන්නව වගේ ඉඳගෙන විහිළු තහලු කර කර ඉඳියි. ඇයි ධර්මය පාඩම් තියෙනව, එතකොට අපි දන්නව කියන හැඟීමෙන් ඉන්නව. ඒත් ඇත්තෙන්ම අපි ධර්මය දන්නෙ නෑ. ඇත්තෙන්ම දන්නව නම් අපි දවසින් දවස විශේෂ තත්වයක් කරා යනව. අපේ ජීවිතය කඩා වැටෙන පැත්තට ගොදුරු වෙන්නෙ නෑ. ඒක තමයි දන්නාකම කියල කියන්නෙ. දන්නාකම තුළ සිදුවෙන දේ තමයි මොහොතින් මොහොත ප්‍රබෝධය කරා, විශේෂ තත්වය කරා යනව. ආයෙ බිඳවැටීම් වලට එන්නෙ නෑ. එතන තමා දැනුවත් භාවය තියෙන්නෙ. අන්න ඒ දැනුවත් භාවයට අපි පත් වෙන්ට ඕනැ. ඒකටයි මේ දේශනාව අපට උපකාර වන්නෙ.

විශේෂ තත්වයක් කරා යාම සඳහා හානි පමුණු වන්නාවූ තවත් කාරණා තමයි ‘ දස අකුසලයන්’. එතකොට විශේෂ භාගීය ධර්මය මොකක්ද ? දස කුසලයන්. ඊළඟට හානි පමුණුවන්නා වූ ධර්මයක් තමයි, ‘ අඝාතය’ එහෙම නැත්නම් කේන්තිය ඇති කරවීම පිණිස හේතු වන කරුණු. එහි විශේෂ භාගී ධර්මය තමයි කේන්තිය සංසිඳවීම පිණිස, ඇති නොවීම පිණිස හේතු වන කාරණා. අප තුළ ඒ තරහ ඇතිවීම පිණිස හේතුවන කාරණා මොනවද? කියල.

එතකොට මොනවද ? ඒ අපි තුළ තරහ ඇති කරවන්නා වූ කාරණා? යමෙකුට සිතේ තරහ ඇති වෙන්ට පුළුවන් ‘ මට අයහපත කළා’ කියල, ‘ මට අයහපත කරනවා’ ‘ මට අයහපත කරයි’ කියල. ඊළඟට ‘ මගේ යාළුවාට, හිතවතාට අයහපත කළා, මගේ හිතවතාට අයහපත කරනවා. මගේ හිතවතාට අයහපත කරයි’, කියල තරහ බැඳ ගන්නව.

ඊළඟට ‘ මගේ අහිතවත් කෙනාට, මම අකැමැති කෙනාට යහපත කළා’ කියල තරහ බැඳ ගන්නව. ‘ මම අකමැති කෙනාට යහපතක් කරනව‘ කියල තරහ බැඳ ගන්නව. ‘ මම අකමැති කෙනාට යහපතක් කරයි’ කියල තරහ බැඳ ගන්නව. එතකොට හිතේ තරහ බැඳ ගන්න ආකාර කීයක් තියෙනවද ? නවයක් තියනව.

බලන්න මේ ආකාරයට අපේ සිතේ තරහ බැඳෙනවද ? නැද්ද ? කියල. මෙන්න මේ විදියට අපේ සිතේ තරහ බැඳෙනවා නම්, ඒක බණ භාවනා වලට හානි පමුණු වන දෙයක්. බලන්න බණ භාවනාවක් කරන කෙනා, ආරම්භයේදී සාමාන්‍යයෙන් භාවනාව කරගෙන යනව. ඔන්න ටිකක් දියුණු වෙනව. මෙන්න මේ වගේ තරහ බැඳෙන දේකට ගොදුරුවුණ ගමන් එයාගෙ බණ භාවනා දුර්වල වෙලා යනව.

හොඳට කල්පනා කරල බලන්න අපිට මෙබඳු දේ සිද්ධ වෙනවද ? නැද්ද ? කියල. ඒක තේරුම් ගන්ට පුළුවන් වෙන්නේ මේ ධර්මයන් කෙරෙහි විශ්වාසය තියාගෙන, මේ ධර්මය අපි අපේ ජීවිතයට ගළපල බැලුවොත් විතරයි. එතකොට ඒකට අදාළ විශේෂ භාගීය ධර්මයන් මොනවද ? ඒ තරහ බැඳෙන ගතිය දුරු වෙන ආකාරයෙන් සිතන්ට ඕනැ. කියවන්න ‘ අඝාථ පටිවිනය’ සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙනව විශේෂ භාගීය ධර්මයන්. තරහ බැඳෙන්නෙ මෙහෙම නේ’ කියල කල්පනා කරනව. ‘ මේ සිතේ තරහ බැඳෙන්නෙ මෙහෙම වැරැදියට හිතපුවම නේද ? කියල එයා කල්පනා කරනව. එතකොට තරහ බැඳෙන්නෙ නැතුව යනව. ‘ අඝාථය’ හට නොගෙන යනව.

ඊළඟට විශේෂ භාගීය ධර්මයන් තමයි පංච ඉන්ද්‍රියන්. පංච ඉන්ද්‍රියන් යම් කෙනෙක් තුළ තියෙනව නම් එයාට විශේෂ තත්වයකට පත් වෙන්ට ඒව උපකාර වෙනව. ඒ කාරණා අපි මතක තියා ගත යුතුයි. මතක තියා ගෙන අපි පුරුදු කර ගන්ට ඕනැ. එහෙම නැති වුණොත් එහෙම අපිට විශේෂ තත්වයක් ඇති කර ගන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. දැන් අපි හානි පමුණුවන්නාවූ කාරණා මොනවද කියල ඉගෙන ගත්තා. ඒ වගේම අපිට විශේෂ තත්වයකට පත්වීම පිණිස උපකාර වන කාරණා මොනවද කියලත් ඉගෙන ගත්ත.

එතකොට මොනවද? අපට ස්ථිර භාවයට පත්වීම පිණිස උපකාර වන්නා වූ කාරණා? අපේ බණ භාවනාවන්, එහෙම නැත්නම් අපි උපදවා ගන්නාවූ සමාධි, එහෙම නැත්නම් අපි උපදවා ගන්නා වූ දියුණු කර ගන්නා වූ අපේ කුසලයන්, ස්ථිර භාවයට පත්කර ගැනීම පිණිස උපකාර වන්නා වූ ධර්මයන් මොනවද ? කියල අපි බලමු.

එකක් තමයි ශීලය. ශීලය හොඳින් පවත්වගෙන යනව නම්, අපි පුරුදු කරන ධර්මය ස්ථිර ස්වභාවයට පත්වෙනව. ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව, යම් කෙනෙක් කැමැති වෙනව නම් ධ්‍යාන සමාධිය ආදිය හොඳින් දියුණු කර ගන්ට, එයා ශීලයමයි පුරුදු කළ යුත්තේ කියල. ඉතින් යම් කෙනෙක් කැමැති වෙනව නම් ඒ ධ්‍යාන හතර ඉක්මවල අරූප සමාධිය ඇති කර ගන්ට ඕනැ කියල. එයා ශීලයමයි දියුණු කළ යුත්තේ, කියල අපට කියා දෙනව. එහෙනම් අපිට ස්ථිර ස්වභාවයට පත් වෙන්ට වුවමනා නම් ඊට අදාළ වන ධර්මයක් තමයි ශීලය.

ඊළඟ එක තමයි, සමාධිය ම වැඩීම. බහුල වශයෙන් සමාධිය පුරුදු කිරීම, සමාධිය තුළ බහුල වශයෙන් එයාට ඉන්ට පුළුවන් කම තියෙන්ට ඕනැ. එයා සමාධිය හොඳින් පුරුදු කරන්ට ඕනැ. එතකොටයි ස්ථාවර ස්වභාවයට පත් වෙන්නෙ. ඉතින් ඒක ආරම්භයේදී කරන එකක් නෙමෙයි. නැත්නම් මේ අය හිතන්ට පුළුවන් ආරම්භයේ දී කෙටියෙන් කරන්ට කියල තියනව. දැන් සමාධිය තුළ බහුලව ඉන්ට කියනව කියල. නෑ ඒව පස්සෙ කාලෙදි කරන ඒව නිසා කලබල කර ගන්ට එපා. ඊළඟ එක තමයි ‘ නිතර භාවනා පුරුදු කිරීම’ සමාධිය නිතර පුරුදු කිරීම. අන්න ඒව ස්ථිර භාවයට පත් වීම පිණිස උපකාර වන ධර්මයන්.

අවබෝධයෙන් කලකිරීම පිණිස උපකාර වන ධර්මයන් තමයි අසුභ සංඥාව, මරණ සතිය, ආහාරයේ පිළිකුල් සංඥාව, සබ්බලොකේ අනභිරත සංඥාව, සබ්බසංඛාරේසු අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අනිත්‍ය සංඥාව, ආදීනව සංඥාව අන්න ඒ වගේ ධර්මයන් අවබෝධයෙන් කලකිරීම පිණිස උපකාර වන්නා වූ ධර්මයන්.

ඉතින් මේ ධර්මයන් අපි දන්නෙ නැත්නම් අපි භාවිතා කරන්නෙ නෑ. මේ කරුණු කියා දෙනකොට හිතන්ට පුළුවන් ‘ අනේ ලේසියි නේ, සරලයි නේ’ කියල. නමුත් අන්න ඒ විදියට හිතන අය හානි පමුණුව ගන්න අවස්ථා එමට තියෙනව. දැන් සමහර අය ඉන්නවා නොයෙකුත් විදියට සමාධිය ඇති කර ගන්න. සමාධි පුරුදු කර ගන්න එක එක ක්‍රම තියෙනව. ඒ විදියට සමාධි ඇති කර ගෙන මහත් ආඩම්බරයෙන් වැජඹෙන වෙලාවල් තියෙනව. දැන් ඉතින් මට ගැටලුවක් නෑ කියල හිතනව. නමුත් මේ ධර්මයන් දන්නෙ නෑ. පුරුදු කරන්නෙ නෑ. මේ ධර්මය කෙරෙහි පැහැදීමක් නෑ. දන්නෙම නැතුව ටික කලකින් ඒ සමාධි නැතිවෙලා යනව. බිඳ වැටෙනව. අන්තිමට කොහෙද හිටියෙ? මොකද කළේ? කියලවත් හොයා ගන්ට බැරි ගානට පිරිහිලා යනව. දැන් බලන්න අවබෝධයෙන් කලකිරීම පිණිස උපකාර වන්නාවූ ධර්මයන් දැනගත්තොත් තමයි එයා ඒ අදාළ ධර්මය පුරුදු කරන්නෙ.

එහෙම නැත්නම් අපිට ඒ ධර්මයන් පුරුදු නොකර යම් සමාධියක් ඇති කර ගන්ට පුළුවන් කම තියෙයි. නමුත් එයාට අවබෝධයෙන් කලකිරීම පිණිස ඒ පුරුදු කිරීම උපකාර වෙන්නෙ නෑ. ඒ නිසා අපි ඒක දැන ගන්ට ඕනැ.

ඒ නිසා මේ කාරණා ටික ඉගෙන ගෙන ඒව පුරුදු කර ගන්න. එතකොට අපිට විශේෂ තත්වයන්ට පත්වීම පිණිස ඒව උපකාර වෙයි.

ඊ ළඟට විශේෂ තත්වයකට පත් වීම පිණිස උපකාර වන තව කාරණයක් තමයි, ‘ සකසල වඩනවා’ කියන එක. අනික ‘ අපත්‍ය කරුණු’ ඒ කාරණා අපි පස්සෙ කතා කරමු.

මේ ධර්මයන් අපි දන්නව, කියවලත් තියෙනව, අන් අයටත් කියල දීල ඇති. නමුත් මේ ධර්මයෙන් මෙබඳු ප්‍රයෝජනයක් තියෙනවා කියල අපි දන්නෙ නෑ. ඒ නිසාම තමයි අපේ මේ දියුණුවේ ඌණතාවයක් තියෙන්නෙ. අපි දියුණු නොවී එක තැන ඉන්නෙ අන්න ඒකයි. ඉතින්, ඒ නිසා අපි මේ දන්නවා කියන අදහස අතහැරල දාන්ට ඕන. අපි ඉගෙන ගන්ට ඕනැ කියන අදහසේ දිගටම ඉන්නව නම්, ඒ නොදත් දේවල් දැන ගන්ට අවස්ථාව තියෙනව.

එතකොට ඒ ධර්මයන් කොහොමද පුරුදු කරන්නෙ කියලත් අපට දැන ගන්ට පුළුවන්කම තියෙනව. එතකොට අපි දියුණු වෙලා යනව.

අද අපි ජීවිතේ දිගටම පාවිච්චි කළ යුතු ධර්මයක් ඉගෙන ගත්තෙ. එසේ ඉගෙන ගත්තා වූ ධර්මයන් සියලු දෙනාටම විශේෂ තත්වයක් ඇති කර ගැනීම පිණිස උපකාර කර ගැනීමට හැකි වේවා කියල අපි ආශිර්වාද කරන්නෙමු.

උඳුවප් අව අටවක පොහොය

උඳුවප් අව අටවක පොහොය දෙසැම්බර් 17 වන දා සෙනසුරාදා අපර භාග 07.07 ට ලබයි.
18 වන දා අපරභාග 05.19 වන දා දක්වා පැවැත්වේ. සිල් සමාදන්වීම දෙසැම්බර් 18 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]