Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුණදම් පුරන ස්වාමි භාර්යාවෝ මතු මතු ද මුණ ගැසෙත්

අද අප ඉගෙන ගන්නේ විවාහ ජීවිත ගත කරන ගිහි පින්වතුනට ඉතා වැදගත් වන සූත්‍ර දේශනාවකි. මේ දේශනාවේ නම පඨම (නකුල) සමජීවී සූත්‍රයයි. මෙය අන්තර්ගත වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයටයි.

එක් කාලයක බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නුවර භේසකලා නම් වූ, මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ විසූ සේක. මේ කාලයේ එක් දිනක බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයේ දී නකුල පියාගේ නිවෙසට වැඩම කළ සේක. වැඩම කොට උන්වහන්සේට පැන වූ ආසනයෙහි වැඩ සිටි සේක. ඉන් පසුව නකුල පියාත් නකුල මවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට එකත්පසෙකින් සිටියහ.

කවුද මේ නකුල පියා? කවුද මේ නකුල මව? මේ දෙදෙනා ගෞතම බුදුසසුනේ අගතනතුරු ලැබූ ගිහි උපාසක උපාසිකා දෙපොළකි. එනම්, විශ්වාසී කතා ඇති උපාසකයන් අතර නකුල පියාත් විශ්වාසී කතා ඇති උපාසිකාවන් අතර නකුල මවත් අගතනතුරු ලැබූහ. මේ දෙදෙනාට නකුල යන නම් ඇති දරුවකු සිටි අතර ඒ දරුවාගේ අම්මා, තාත්තා යන අර්ථයෙනි. නකුල පිතා හෙවත් නකුල පියා ද නකුල මාතා හෙවත් නකුලමවද යනුවෙන් හැඳින්වූයේ මේ දෙදෙනා බුදුරදුන් දුටු පළමු දිනයේම උන්වහන්සේගේ පාද මූලයේ වැටී ‘දරුව,’ ඔබ මෙතරම් කාලයක් අප අතහැර දමා කොහිද හැසිරුණේ? යනුවෙන් විමසන්නට වූහ. මේ දෙදෙනා පෙර ජාති ගණනාවකම මව, පියා, මහම්මා, මහප්පා ආදී වශයෙන් අප මහ බෝසතාණන් වහන්සේගේ පෙර ඤාතීහු වූහ. එම සසර පුරුද්දට මේ ජීවිතයේදීත් බුදුන්වහන්සේට ‘දරුව‘ යනුවෙන් ආමන්ත්‍රණය කළහ. මෙම නකුල මව හා නකුල පියා උතුම් මවුපිය දෙපොළක වශයෙන් ප්‍රසිද්ධ අතර දෙදෙනාම සෝතාපන්න වූ අයයි.

සාර්ථක විවාහ ජීවිතයක් සඳහා පුරුෂයකු සහ ස්ත්‍රියක තුළ සමාන අදහස් තිබෙනවා කියා පැවැසිය නොහැකි ය. පුරුෂයාට පුරුෂ සිතුවිලිද ස්ත්‍රියට ස්ත්‍රී සිතුවිල ද වේ. එබැවින් මෙයින් අදහස් කරන්නේ අදහස් ගැළැපීමයි. මෙම අදහස් ගැළැපීමේ දී පරිත්‍යාගයද අත්‍යවශ්‍ය කරුණකි. තම තමන් තුළ ඇති ඇතැම් ධර්මානුකූල නොවන අදහස්, බලාපොරොත්තු ඉවත් කර ගත යුතු ය. යහපත් අදහස් එක්කර ගත යුතු ය.

මුලින් සඳහන් කළ ආකාරයට බුදුරජාණන් වහන්සේට වන්දනා කොට එකත්පසෙක සිටි නකුල මවුපිය දෙදෙනාගෙන් නකුල පියා බුදුන්වහන්සේට මෙසේ පැවසීය.

ස්වාමීනි යම් කාලයක යොවුන් වියෙහි සිටි මා නකුල මාතාව සමඟ සරණ බන්ධනයෙන් බැඳුණේ ද එතැන් පටන් නකුල මාතාව මනැසින්වත් ඉක්මවා නොගියෙමි. ඉඳින් කයෙන් ඉක්ම යෑමක් කොයින්ද? ස්වාමීනි, අප දෙදෙනා මේ ජීවිතයේත් ඔවුනොවුන් දකින්නට, පරලොවදිත් ඔවුනොවුන් දකින්නට කැමැති වන්නෙමු.

ඉන් පසුව නකුල මාතාව විසින් ද බුදුරජාණන් වහන්සේට මෙසේ ප්‍රකාශ කරන්නට යෙදුණි.

“ස්වාමීනි, යම් කාලයක යොවුන් වියෙහි සිටි මම යොවුන්වියෙහි සිටි නකුල පියා සමඟ සරණ බන්ධනයෙන් බැඳුනෙම්ද එවක පටන් මම නකුල පියා මනැසින්වත් ඉක්මවා නොගියෙමි. ඉඳින් කයෙන් ඉක්ම යෑමක් කොයින්ද? ස්වාමීනි, අපි දෙදෙනා මේ ජීවිතයේත්, ඔවුනොවුන් දකින්නට, පරලොවදිත් ඔවුනොවුන් දකින්නට කැමැති වන්නෙමු.” බලන්න මේ යුවළ කරන ප්‍රකාශන. මේ දෙපොළ ඔවුනොවුන්ට කෙතරම් හිතවිශ්වාසීද? මේ නකුල මව පරපුරුෂයන් වෙතටත් නකුල පියා පර ස්ත්‍රීන් වෙතටත් නොගියහ. ඒ කයෙන් පමණක් නොවේ. මනැසින් ද එසේමය. ස්වාමියා බිරිඳත්, බිරිඳ ස්වාමියාත් ඉක්මවා වෙනත් ස්ත්‍රියක වෙනත් පුරුෂයකු ගැන සිතුවිල්ලක්වත් ඇතිකර නොගන්න නම් කෙනකුට කෙතරම් සංයමයක් තිබිය යුතුද? සිත අකුසලයට යා නොදී මැනැවින්ම රැකගත් සිත් ඇත්තන්ට එය අරුමයක් නොවේ.

ඉඳින් මෙලොවත් පරලොවත් ඔවුනොවුන් දැකීමට කැමැති බව ප්‍රකාශ කළ මේ යුවළට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ එම බලාපොරොත්තුව කරුණු කිහිපයක් සම්පූර්ණ වන්නේ නම් ඉටුවන බව දේශනා කළ සේක.

“ගෘහපතියෙනි, යම් අඹුසැමි යුවළක් මේ ජීවිතයේදීත් ඔවුනොවුන් දකින්නට කැමැති වෙත්ද පරලොවදීත් ඔවුනොවුන් දකින්නට කැමැති වෙද්ද ඒ දෙදෙනා තුළම සමශ්‍රද්ධා, සමසීල, සමචාග, සමප්‍රඥා ගුණ තිබේ නම් ඔවුහු මේ ජීවිතයේදීත් ඔවුනොවුන් දකිති. පරලොවදීත් ඔවුනොවුන් දකිති.”

මෙලෙස වදාළ බුදුරජාණන් වහන්සේ ගාථා තුනක් ද දේශනා කළහ.

උභො සද්ධා වදඤ්ඤා ච සඤ්ඤතා ධම්ම ජීවිනො,

තෙ හොන්ති ජානිපතයො අඤ්ඤමඤ්ඤං පියං වදා

දෙදෙනාම සැදැහැ ඇතිව දන්දීමට කැමැතිව සීල සංවර ඇතිව ධාර්මිකව ජීවත් වන්නේ ද ඒ අඹු සැමියෝ ඔවුනොවුන්ට පි‍්‍රය වචන ඇති අය වෙති.

අත්‍ථා සම්පචුරා හොන්ති ඵාසත්‍ථං උපජායති,

අමිත්තා දුම්මනා හොන්ති උභින්තං සමසීලිනං

සමසිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධිය බොහෝ වේ. පහසු විහරණ ඇති වෙයි. සතුරෝ දොම්නස් ඇත්තෝ වෙති.

ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො,

නÁදිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති

මෙහි සමසීලවෘත ඇති ඒ යුවළ දහම අනුගමනය කොට සතුටට පත් වී දෙව්ලොවෙහි දී සැප කැමැතිව සතුටට පත් වෙති.

නකුල මව්පිය යුවළට වදාළ මේ දේශනාවෙන් මෙලොවත් පරලොවත් ඔවුනොවුන් දැකීමට කැමැති අඹු සැමියනට ඔවුනගේ එම බලාපොරොත්තුව ඉටු කරගන්නා අයුරු දැන ගත හැකි ය. යම් යුවළක් පරලොවදීවත් ඔවුනොවුන් මුණගැසෙන අදහසින් එක්වන්ව ගඟට පැන, වස විෂ පානය කොට මිය යයිද එය අඥාන ක්‍රියාවකි. එයින් වන්නේ එකට හමුවීම තබා මෙලොව ඉතා අසීරුවෙන් ලබාගත් වටිනා මනුෂ්‍ය ජීවිතයද අහිමිව යෑමයි. ලැබුණු වටිනා මිනිස් දිවියෙන් ප්‍රයෝජන ගත නොහැකි වන අඥානකමෙහි විපාක විඳිමට සිදුවීමයි.තවද විවිධ පුදපූජා ආදිය මඟින් ද එය ලැබිය නොහැක්කකි. ඒ සඳහා විධිමත් වූත් නිවැරැදි වූත් වැඩ පිළිවෙළක් තිබිය යුතු ය. එම වැඩපිළිවෙළ නම් දෙදෙනාම සම ශ්‍රද්ධා, සමසීල, සමචාග හා සමප්‍රඥා ඇතිව ධර්මානුකූල වීමයි.

සමශ්‍රද්ධා යනු ශ්‍රද්ධාවෙන් සමවීමයි. සම සීල යනු දෙදෙනාම සීලයෙන් සමවීමයි. සමචාග යනු දෙදෙනාම ත්‍යාගයෙන් සමවීමයි. සමප්‍රඥා යනු දෙදෙනාම ප්‍රඥාවෙන් සමවීමයි. මෙම ගුණධර්ම දෙදෙනා තුළම සම මට්ටමක තිබිය යුතු ය.

සාර්ථක විවාහ ජීවිතයක් සඳහා පුරුෂයකු සහ ස්ත්‍රියක තුළ සමාන අදහස් තිබෙනවා කියා පැවැසිය නොහැකි ය. පුරුෂයාට පුරුෂ සිතුවිලිද ස්ත්‍රියට ස්ත්‍රී සිතුවිල ද වේ. එබැවින් මෙයින් අදහස් කරන්නේ අදහස් ගැළැපීමයි. මෙම අදහස් ගැළැපීමේ දී පරිත්‍යාගයද අත්‍යවශ්‍ය කරුණකි. තම තමන් තුළ ඇති ඇතැම් ධර්මානුකූල නොවන අදහස්, බලාපොරොත්තු ඉවත් කර ගත යුතු ය. යහපත් අදහස් එක්කර ගත යුතු ය. නැතිනම් මේ ගැළැපීම සිදු නොවේ. පුටුවක් තනන වඩුවා ලෑල්ලේ ඇතැම් කොටස් ඉවත් කරයි. තවත් කොටස් එකතු කරයි. එවිට පුටුවකට මනාව ගළපා ගත හැකිය. තම තමන්ගේ පෞද්ගලික ඉච්ඡාවන්ට, අදහස්වලට පමණක් වසඟවූවන්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ නොහැකිය. උදාහරණ වශයෙන් සුරාවට සූදුවට ඇබ්බැහි වී තම මිතුරන් සමඟ නිදැල්ලේ ගත කිරීමට කැමැතිවන පුද්ගලයාට සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ නොහැකි ය. සාර්ථක විවාහයකට ඔහුගේ එම පුද්ගලික ඉච්ඡාව ඉවත් කළ යුතු ය.

අඹුසැමියන් ඔවුනොවුන් මැනැවින් හඳුනාගෙන යුතුකම් ඉටුකළ යුතු ය. යුතුකම් ඉටුකිරීම විෂයෙහි ස්වාමියා විසින් බිරිඳට,

1. ගරු කිරීමෙන්

2. අවමන් නොකිරීමෙන්

3. භාර්යාව ඉක්මවා වෙනත් ස්ත්‍රීන් වෙත නොයෑමෙන්

4. නිවෙසේ වගකීම් පැවරීමෙන්

5. ආභරණ ආදිය ලබාදීමෙන් යුතුකම් ඉටු කරනු ලැබිය යුතු ය. මෙසේ සැමියා විසින් යුතුකම් ඉටු කරනු ලබන භාර්යාවද ස්වාමියා විෂයෙහි යුතුකම් පහකින් සැලකිලි දැක්විය යුතු ය.

1. නිවෙසේ කටයුතු මැනැවින් සංවිධානය කිරීමෙන්

2. ස්වාමියාගේ පිරිවර ජනයාට සංග්‍රහ කිරීමෙන්

3. අන් පුරුෂයන් වෙත නොයෑමෙන්

4. ස්වාමියා විසින් රැස් කරනු ලබන ධනය රැකීමෙන්

5. සියලු කටයුතුවල දක්‍ෂව, අනලස්ව යෙදීමෙන් යනුවෙනි.

මේ ආකාරයට ඔවුනොවුන් විෂයෙහි යුතුකම් ඉටු කරන, සාමයෙන් හා සහජීවනයෙන් යුත් ස්වාමි භාර්යාවන් වාසය කරන නිවෙස දෙවියකු හා දෙවඟනක වසන දේව විමානයක් බඳුය. මෙහිදී ඔවුනොවුන් කෙරෙහි පවතින සෙනෙහස වැදගත් වේ. එවිට එකිනෙකා සමඟ ගැටීමක් නැත. මෙලෙස බෞද්ධ ප්‍රතිපදාවන්ට අනුව කටයුතු කරන අඹු සැමියනට මෙලොවදීද පරලොවදීද ඔවුනොවුන් සමඟ එක්ව වාසයට පැමිණිය හැකි ය. එයත් ධර්මයේ හැසිරීමේ කල්‍යාණ මිත්‍ර ධර්මය පුරුදු කිරීමේ ආනිශංසයක් බව මතක තබා ගන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.