Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අබියසකදී උඳුවප් පෝය නිමිති කරගෙන වාර්ෂිකව පැවැත්වෙන අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන උත්සව අතරට එක්ව ඇති සුවිශේෂී වූද, ඓතිහාසික වූ ද පුණ්‍ය මහෝත්සවයකි.

සිරි සිදුහත් භික්‍ෂු පදනමේ වාර්ෂික වැඩසටහනේ එක් අංගයක් නම් උඳුවප් පෝය නිමිත්තෙන් වාර්ෂික මහ බෝ පෙරහරට සම්බන්ධ වීම හා මහ බෝ වන්දනාවයි. 2005 වසරේ මෙම උතුම් පුණ්‍යෙීත්සවය සඳහා අප රටේ විවිධ ප්‍රදේශවලින් දහස් සංඛ්‍යාත පිරිසක් සමඟ සහභාගි වූ අතර, එහිදී රටේ සියලු ප්‍රදේශයන් නියෝජනය වන අයුරින් පිහිටුවා ගන්නා ලද බෞද්ධ සංවිධානය සිරිමහ බෝ පදනමයි. “එකමුතුකම යහපත” යන ආදර්ශ පාඨය කේන්ද්‍රකොට ගෙන බොඳු හැඟීමෙන් පෝෂණය වී ඇති විවිධ කොටස් ඒකරාශි කොට, ගිහිපැවිදි අප කාගෙත් යහපත හා සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක පුළුල් වූ සංවිධානයකි. සිරිමහ බෝ පදනම, එය අරඹා වසර හතක් පිරෙන මේ මොහොත වන විට ශක්තිමත් පදනමක් යටතේ ගොඩනැගී අතු පතර විහිදුවමින් නැඟී සිටිමින් මල්ඵල ද සමඟ සුවඳ විහිදුවන මහ වෘක්‍ෂයක් බවට පත්වී ඇති බව සිහිපත් කරන්නේ මහත් සතුටකිනි. සිරිසිදුහත් භික්‍ෂු පදනමේ මෙන්ම සිරිමහ බෝ පදනමේ වාර්ෂික කටයුතු අතර ප්‍රධාන කාර්යයක්ව ඇත්තේ මහ බෝ පෙරහර හා වන්දනා පුණ්‍යෙීත්සවයට බැති සිතින් හා අභිමානයෙන් සහභාගිවීම හා එයට දායකත්වය සැපයීමයි. මෙම සංවිධාන දෙකම එක්ව හත්වන වරටත් සංවිධානය කෙරෙන මහ බී වන්දනාව හා මහ බෝ පෙරහර 2011 දෙසැම්බර් 18 වන ඉරිදා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිසමිඳු අභියසදී උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට නියමිතය. අතිගරු මහසඟරුවන පෙරටු කරගත් දහස් සංඛ්‍යාත බොදු බැති සැදැහැවතුන්ගේ සහභාගිත්වය ඇතිව සිදුකෙරෙන මෙහි අරමුණු අතර, සහභාගිවන සැමට සතුට සම්පත හා ආරක්‍ෂාව ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන වෙයි.අතීතයේ සිටම, මහ බෝ සමිඳුන් රටට හා රටවැසි අපි සැමට ආශිර්වාද කළ අතර සැපතේදී ද විපතේ ද අප සමඟ වැඩ සිටිමින් අප රැක බලා ගත් බව කවුරුත් සිහිකරති. එනිසා මහ බී සමිඳුන් වෙත ගොස් ගෞරවෝපහාර දැක්වීම අපගේ යුතුකමකි.

සිරි සිදුහත් භික්‍ෂු පදනමේ වාර්ෂික වැඩසටහනේ එක් අංගයක් නම් උඳුවප් පෝය නිමිත්තෙන් වාර්ෂික මහ බෝ පෙරහරට සම්බන්ධ වීම හා මහ බෝ වන්දනාවයි

සම්බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසිය වසරක් පිරෙන මේ වසර වන විට, මහ බෝ සමිඳුන් සිරිලකට වැඩම කොට වසර දෙදහස් තුන්සිය දහනවයක් සපිරෙයි. එම කරුණද ස්මරණය කර මේ වසරේ ප්‍රථම රන්වැට ඉදිකිරීම හා එයට පුරෝගාමී වූ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරාධිපතිව සිටි යටිරාවණ නාරද නාහිමි සිහිකිරීමද මෙවර අරමුණු අතරට එක් වී ඇත. සම්බුද්ධත්වය සිහිකිරීම හා මහ බෝ සමිඳුන්ට ගෞරව උපහාර දැක්වීම පිණිස එක්වන පිරිස, තුළ බොදු හැඟීම් වර්ධනය වීමත් එතුළින් අධ්‍යාත්මක සංවර්ධනයකට මඟ පෑදීමත් වැදගත් වන කරුණකි. බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම අනෙක් වැදගත් කරුණයි.

මහ බෝ සමිඳුන් වෙත රන්වැටක් පුදන්නට වරම් ලැබූ යටිරාවණ නාරද නාහිමියන් විසින් එම උතුම් පින්කම සිදු කොට මේ වසර වන විට වසර හතළිස් දෙකක් සපිරෙයි. වරක් මහ බෝ සමිඳුන් වැදපුදා ගැනීමට වැඩම කළ නාරද නාහිමියන්ට දැක ගන්නට ලැබුණේ යකඩ වැටකින් වට වී අනාරක්‍ෂිත ලෙසකින් වැඩවසන ජය සිරිමා හාමුදුරුවන්ය. එය දුටු සැනෙකින්ම නාහිමියන්ට මහ බෝ සමිඳුන් රන්වැටකින් පුදන්නටත් ඊට ආරක්‍ෂාව සලසන්නටත් සිත් පහළ විය. එම අදහස එවකට අටමස්ථානාධිපතිව වැඩ සිටි හල්මිල්ලෑවේ සුමන රේවත නාහිමියන්ට දන්වා උන්වහන්සේගේ කැමැත්ත ලබා ගන්නට සිදුවිය. ඒ අවස්ථාව ලැබුණේ අපේ නාරද නාහිමිගේ පින් මහිමය නිසාමය. තම දායක කාරකාදීන්ගේද, ඥාතිපරපුරේද , රාජ්‍ය , නායකකාරකාදීන් ප්‍රමුඛ රට වැසි සැමගේම අවධානය යොමු කරවා ගත් නාරද නාහිමි කාගෙත් ආධාර උපකාර ඇතිව රන්වැට නිර්මාණය කළේය. වසර ගණනක් තිස්සේ දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලය නම් එක්දහස් නවසිය හැට නමවන වසරේදී රන්වැට විවෘත කිරීමයි. මෙහිදී විවිධ ප්‍රශ්න ගැටලු , දුෂ්කරතා , අභියෝගද එල්ල වූ බව නොරහසකි. මෙම උතුම් කර්තව්‍යයට නායකත්වය දුන් යටිරාවණ නාරද නාහිමි නාමය ලක් බුදුසසුන් ඉතිහාසයේ රන් අකුරින් ලිය වී ඇත. උන්වහන්සේ සදානුස්මරණය කෘතවේදී අප සැමගේ යුතුකමකි.

සෑම වසරකම මහ බෝ පෙරහරට සහ මහ බෝ වන්දනා පුණ්‍යෙීත්සවයට, සිරි සිදුහත් භික්‍ෂූ පදනමත් සිරිමහ බෝ පදනමත් දායක වන අයුරු මෙසේය. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ගරුතර මහ සඟරුවන සමඟ සැදැහැවත් දහස් ගණන් සහභාගි කරවා ගැනීම සිදුකෙරෙයි. තෙල් මල් පහන් සුවඳ වර්ග සමඟ පූජා සඳහා ඒ ඒ පළාත්වලට ආවේණික සස්‍ය වර්ගවලින්ද, රන්වැට ආවරණය සඳහා බෞද්ධ කොඩියේ ආකාරයට සැකසෙන කප්රුක් පූජාවකින්ද, චීවර හා අටපිරිකර වලින්ද, නෙලුම්, මානෙල්, සපු, පිච්ච හා ඉද්ද මල්වලින්ද චතුමධුර ගිලන්පසින් හා පිරිත් පැන් කල හතකින්ද සමන්විත වන පූජා ද්‍රව්‍යයන් රැගත් සැදැහවතුන් පෙරවරු 11.00 වන විට ථූපාරාමය අසලට පැමිණෙන්නේ මහනුවර සිට රිය පෙරහරකිනි. එම රිය පෙරහර දර්ශනීය ලෙස සැකසෙන අතර, එය ප්‍රධාන අංග කීපයකින් සමන්විත වෙයි. සඟමිත් තෙරණිය බෝ සමිඳුන් වැඩමවන පුවත දැක්වෙන සිතුවමින් හා මහ බෝ කොඩියේ අලංකාර වූ පෙර ගමන් රථ පෙරටුව ගමන් කෙරෙන අතර, එය පසු පසින් රන්වැට සහිත බෝ සමිඳුන්ගේ ආකෘතිය රැගත් රථයද, පිරිත් පැන් කළ හතක් රැගත් රථයද, සස්‍ය පූජා සහිත පාත්‍රය රැගත් රථයද සගමිත් රූපය රැගත් රථයද පිළවෙලින් ගමන් කෙරෙන අතර ඒවාට පසු පසින් සැදැවතුන් ගමන් කරන අනෙකුත් වාහන බෞද්ධ කොඩිවලින් හා මහ බෝ කොඩිවලින්ද සිරිමහබෝ සරණයි යන වැකිය සඳහන් බැනරයකින්ද, සැරසී පිළිවෙලින් ගමන් කරයි. අනුරාධපුර දක්වා ඉදිරියට ඇදෙන රිය පෙරහරට මාතලේ, දඹුල්ල, කැකිරාව, මරදන්කඩවල ආදී ස්ථානවලදී අනෙකුත් සැදැහැවතුන් පැමිණෙන වාහනද එක්වෙයි. මහ බෝ සමිඳුන්ට පිදෙන පිරිත් පැන් රැගෙන යාම සෑම වසරකම සිදුවන්නේ හාරිස්පත්තුව දුල්වල ගම්වැසියන් විසිනි. ථූපාරාමය අසලට පැමිණි ජනතාව එතැන් සිට පා ගමනින් පෙරහරින් ගමන් කිරීමට සැරසෙති. බෙරදවුල්, හේවිසි හා වෙස් කණ්ඩායම්වලින් යුතුව සියලු පූජා ද්‍රව්‍යයන් මුතුකුඩ යටින් රැගෙන යන්නේ කොඩි කුඩ සේසත්ද සහිතව අප්‍රමාණ ශ්‍රද්ධාවකිනි. පෙරහර බෝ සමිඳුන් අබියසට පැමිණ තෙවතාවක් මහ බෝ සමිඳුන් ප්‍රදක්‍ෂිණ කරති. ඉන් පසු මහ බෝ සමිඳුන් අබියස පූජා ද්‍රව්‍ය තැන්පත් කොට මහ බෝ සමිදුන් පුදනු ලැබේ. සවස හතරට වන්දනාව ඇරඹෙන අතර සවස හයට නිමාවට පත්වෙන්නේ සහභාගිවු සැමටත්, රටටත් රටවැසි සැමටත් උතුම් මහ බෝ සරණ ප්‍රාර්ථනා කරමිනි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.