Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්ති වසර

ජයන්තියක් උදාවන්නේ අවුරුදු සියයකට වරකි. එසේ වූ විට එක් යුගයක උපත ලැබ එක් පිරිසකට ජයන්තියක් සැමරිය හැක්කේ එක් වරක් පමණි. එසේ වූ විට 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදා වූ එම කාලය තුළ එම වසර තුළ එම මාසය තුළ, එම දිනය තුළ, ජීවත්ව සිටීමට වාසනාව ලැබූ අපි හැමෝම හැබෑ වාසනාවන්තයෝ වෙමු.

තෙරුවන් සරණ ගිය භික්‍ෂු, (- ), උපාසක, උපාසිකා යන අපි සියල්ලෝම සම්බුද්ධත්ව ජයන්තිය යනු කුමක්දැයි දනිමු. භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ ලැබූ අරහත් බෝධිය අනුගාමික ශ්‍රාවක සියලු පිරිසට ද ලබා ගත හැකි බව දෙසූ එකම ශාස්තෘන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පමණි. බුදුදහම දන්නා සෑම බෞද්ධයකුම මෙම සම්බුද්ධත්ව ජයන්ති උදාව සිහිකරන්නේ මහත් අර්ථවත් ලෙසය. ඒ තමාගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගනිමින්ම ලෝකෝත්තර ඵලයන් සඳහා ද ප්‍රතිපත්ති මාර්ගයන්ට අවතීර්ණ වන පරිදිය.

ස්වභාව ධර්මයෙන් ආශීර්වාද ලැබූ මෙවන් රටක් ලෝකයේ තවත් කොතැනකවත් නැත. දීඝනිකාය ‘බ්‍රහ්මජාල සූත්‍ර’ අටුවාවේ තමන් වහන්සේගේ මේ ධර්මය අවුරුදු පන්දහසක් කල් පවත්නා බවත්, එදා ‘තම්බපණ්ණි’ නමින් හැඳින් වූ මේ ශ්‍රී ලංකාවේ තම ධර්මය පිහිටන බවත් මජ්ඣිම නිකායේ සච්චක බමුණාට දෙසූ ‘චූල සච්චක සූත්‍ර’ දේශනා අටුවාවේ සඳහන්ව ඇත. මාන්නයෙන් උතුරාගිය සච්චක බමුණු හට බුදුරජාණන් වහන්සේ ‘මහා සච්චක’ හා ‘චූල සච්චක’ යනුවෙන් දීර්ඝ සූත්‍ර දේශනා දෙකක් වදාළ සේක. එහෙත් ඔහු තුළ තිබූ අත්තුක්කංසනය නිසා නොමුසු කිරෙන් පිසූ කිරිබතට ගිතෙල් එකතු කොට රස බොජුනක් මුඛය ළඟ තැබූ සුනඛයකු හට එය නොකා අසූචි ගොඩක් දැක එය ඉවකර නොගියහොත් හිසරුජාව සෑදී යන්නාසේ සච්චක මේ ශාසනයේ මාර්ගඵලයක් නොලැබීම හේතු කොට බුද්ධ පරිනිර්වාණයෙන් 200 වසරකට පසු මේ බමුණා (තම්බපණ්ණි) ලංකාවේ ඉපිද, රහත් භාවයට පැමිණෙන බව මෙම අටුවාවේ සඳහන්ව ඇත. අපි ජීවත්වන මේ රට බුදුරජාණන් වහන්සේගෙන් ද එවන් ආශීර්වාද ලැබූ රටක් ලෙස අටුවාචාරීන් වහන්සේලා පෙන්වා දී ඇති අයුරු බෞද්ධයෝ පවා බොහෝ දෙනෙක් නොදනිති.

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව හා එම කමිටු කාර්යාලය පිහිටුවීමේ පරමාර්ථ ඉටුවූවා

තවද මහාවංශයේ පළමු පරිච්ඡේදයේම සඳහන් පරිදි තෙවරක් ලක්දිවට වැඩම කළ භාග්‍යවත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ තෙවනවර කැලණියට වැඩි අවස්ථාව පිළිබඳ ඇති සටහන්හි රුදුරු ගති ඇති යකුන් මහතෙර දක්වා ඈත් කොට යහපත් ගති තිබූ දේව නාග ගෝත්‍රිකයනට මේ තම්බපණ්ණි දිවයින ධර්මදීපයක් ලෙස පිරිසුදු කොට දුන් බව එහි සඳහන් වේ. එසේම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නම් වූ අවසන් සිංහල මහරජු දක්වා වූ 184 පමණ වන සිංහල රජවරුන්ගේ කල්හිද වරින්වර දේශීය හා විදේශීය සතුරු යුද්ධ ඇති වූ බව ලංකා ඉතිහාසයේ ලියැ වී ඇත. ඒ සියලු සටහන්හි දී හෙළයෝම ජය ගෙන ඇත. එයින් පසුව 1505 සිට 1948 දක්වා වූ 443 වසරක් අපගේ රට කොටස් වශයෙන් යටත් වූයේ පෘතුගී‍්‍රසි, ලන්දේසි හා ඉංගී‍්‍රසි නම් වූ විදේශිකයනට ය. මෙකී මුළු කාලය තුළද වරින්වර නිදහස් සටන් සිදුවූ බව මෑත ඉතිහාසයේ සඳහන් වී ඇත. වර්ෂ 1948 දී හා 1972 දී එතෙක් තිබූ විදේශ ආධිපත්‍යයන්ගේ බලපෑම් වලින් මේ රට මුදාගත් මුත් නව යටත් විජිතවාදී හෝ නව ලිබරල්වාදී හෝ කුමන්ත්‍රණ තුළින් විදේශීය හා දේශීය ගැත්තන් නිසා අපේ රට නැවැත 1979 සිට 2009 අතර දක්වා වූ තිස් අවුරුදු පාපකාරී බිහිසුණු යුද්ධයකට මැදිවිය.

තිස් වසරක යුද්ධය

මෙහිදී මහමඟ වැතිරෙන හිඟන්නා ද, අතුපැලේ නිදිගත් අහිංසක බිළින්දාගේ පටන් රජගෙදර රජු දක්වා ද ගිලගන්නා තරමට ඒ යුද්ධය විදේශ ආධාර වශයෙන් ලැබූ දරුණු අවි ආයුධ හා මුදල් සමඟින් ඉතා දරුණු විය. අපේ රටේ 2009 වසරට පෙර අවුරුදු 30 – 35 වයස්ගත උතුරු නැඟෙනහිර කිසිම තරුණයකු සාමකාමී යහපත් පරිසරයක් දැක තිබුණේ නැත. තමන් උපන් මේ කුඩා රටේ අගනුවර ඔවුන් දැක්කේ නැත. එකී 30 අවුරුදු කාලය තුළ ඔවුන්ට වැඩි වශයෙන් ඇසුණේ බෝම්බ හා වෙඩිහඬය. වැඩි වශයෙන් දැක්කේ රුධිරයයි. යුද උණුසුම වැඩියෙන් තිබූ ප්‍රදේශවල සාමාන්‍ය ජනයා දහවල මොනවා හෝ අල ටිකක් තම්බා කා රාත්‍රිය කැලේට ගොස් පවුල් පිටින් සැඟවී සිටියෝ ය. පාසල් යාමක් නැත. එසේම දිවයිනේ අනෙක් පළාත්වල උදේට ගෙදරින් පිටවන සැමියා, බිරිඳ, දරුවා ඥාතියා සවසට ගෙදර ඒ දැයි සැකය. නගර මධ්‍යයේ, බැංකුවේ, මහමඟ, දුම්රියේ, බස්රියේ, පුදබිමේ බෝම්බ පුපුරති. ජීවිත හැම විටම අවිනිශ්චිතය. වෙනත් කිසිම යහපත් දෙයක් සිතීමට පවා නොහැකිව මුළු රට වැසියෝ දවස් ගත කළෝ ය.

ආමිෂ හා ප්‍රතිපත්තියෙන් වෙනත් වර්ෂවල වෙසක් පොහෝ දිනවලට වඩා දස ගුණයක ප්‍රබෝධයක් රටතුළ ගොඩනැඟුනේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය හා මෙම මෙහෙයුම් කමිටුව හා කමිටු කාර්යාලයේ ප්‍රචාරාත්මක ව්‍යාපෘති නිසා බව රටේ බොහෝ අය නොදනිති.

මෙවන් පසුබිමක් සමඟින් 2600 සම්බුද්ධත්ව ජයන්තිය 2011 උදාවන බව මෙරට මහා සංඝරත්නයත් ආගමික නායකයෝ හා යහපත් පුරවැසියෝත් දෙවර්ෂයකට පෙර දකින්නට වූවෝ ය. අපේ රටේ භාරකරු හා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා වූ අතිගරු ජනාධිපතිතුමා සියලු දේශීය හා විදේශීය කුමන්ත්‍රණ කිසිවකට බිය නොවී ස්ථිර අධිෂ්ඨානයක පිහිටා 2009.05.19 දින මේ ත්‍රස්තවාදී යුද්ධය නිමකළේ දුටුගැමුණු එළාර ද්වන්ධ යුද්ධයද සිහිපත්වන අයුරින් සතුරන් පරාජය කරමිනි. මෙම අවසානය කලින්ම දුටු මෙතුමා රට නැවැත ගොඩ නංවන අයුරු ද චින්තනයක් ලෙස මහජනයා වෙත ඉදිරිපත් කර තිබුණි. ඒ දේශපාලනික, ජාතික, ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික ආදී වශයෙනි. මේ අනුව ආගමික වශයෙන් නැවැත ජනතාව අතර එකිනෙකා කෙරෙහි මෛත්‍රිය කරුණාව පතුරුවන ආගමික පරිසරයක් කෙසේ ඇතිකරන්නේදැයි යන ප්‍රශ්නය සිහියට නඟමින් සිටින විට මේ රටේ ආගමික පුනර්ජීවනය පිළිබඳ එකතුවක් ලෙස සංවිධානය වී තිබූ මහා සංඝයා වහන්සේ හා බෞද්ධ සංවිධාන12 එකමුතුවක් වූ ‘බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය’ අතිගරු ජනාධිපතිතුමා හමුවූහ. ඒ 2008 අවසාන භාගයේදී ය.

සැලැස්මක්

මෙහිදී මෙම මණ්ඩලය යුද්ධයෙන් තැලී මිරිකී දැඩිව හා බියෙන් තිබූ ජනහදවත් නැවැත යහපත් ලෙසින් පුරවාලීමට මෛත්‍රිය කරුණාව හා මුදු මොළොක් බව වඩාලන තෛ‍්‍රනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශීර්වාද ලැබූ යෝජනා 20 ක් සහිත වැඩ සැලැස්මක් අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළහ. එතුමා ද අතිගරු මඩිහේ පඤ්ඤාසීහ උත්තරීතර මහානායක හිමියන්ගේ චින්තනයක් වූ ‘මිනිසා ද හදමින් අපි රට හදමු’ යන තේමාව පෙරටුකොට එකී සංවිධානයේ ඉල්ලීම පිළිගෙන 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව හා කාර්ය මණ්ඩලයකින් යුත් කමිටු කාර්යාලයක් පිහිටුවීමට 2008 දෙසැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේ ය.

මෙසේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන කොට වූ රජය ද, විසිහය දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කමිටුව ද, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මාසම්බුද්ධත්වයෙන් 2600 වසරක උදාව පෙරටුකොට 2009 වසර ආරම්භයේ සිට ඒකාන්ත වශයෙන් අපේක්‍ෂා කළේ අපේ රට තුළ ගුණගරුක සදාචාර සම්පන්න බෞද්ධයන් ප්‍රමුඛ කොට ගත් යහපත් පුරවැසියන් පිරිසක් බිහිකිරීම බව විවාද රහිතව පිළිගතයුතු කාරණයකි. අපේක්‍ෂාව ඉතාම පවිත්‍ර වූවක් විය. එසේ වූ නමුත් මේ වනවිට 27 වරක් රැස්ව ඇති මෙම ජනාධිපති මෙහෙයුම් කමිටුව දෙවන හා තුන්වන වරට රැස්වන අවස්ථාවන්හී දීම අපේක්‍ෂිත කටයුත්ත සපල කිරීමේ මහත් අපහසු දෙයක් බව තේරුම් ගන්නා ලදී. ඒ නිසා පළමු කොට උත්සාහ කළේ රටවැසියන් තුළ 2600 සම්බුද්ධත්ව ජයන්තිය කුමක්දැයි දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමය. මේ සඳහා කමිටු කාර්යාලය වර්ෂ 1 1/2 පුරා රටේ සියලු ආකාරයේ පැතිකඩ හඳුනාගනිමින් ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කළේ ය. දිවයිනේ දිස්ත්‍රික් පුරා ආගමික කටයුතු හා සම්බන්ධ වෙමින් මහා සංඝයා වහන්සේලා මුල්කොට දිවයිනේ සියලු විහාරස්ථාන, පාසල්, දහම් පාසල්, විශ්ව විද්‍යාල, බෞද්ධ සමිති, සමාගම්, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ද, පාර්ලිමේන්තුව, පළාත් සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී කොට ඇති සියලු පළාත්පාලන ආයතන ද ප්‍රචාරාත්මකව දැනුමෙන් පොහොසත් කිරීමට කටයුතු කළේ ය. මෙයින් මූකුලිතව තිබූ පියුම විකසිත වන්නාසේ ජනතාව තුළ තිබූ යුදබිය පහව ගොස් ආගමික නැඹුරුවකට සිත් ඇති වූහ.

ප්‍රබෝධයක්

මේ වැඩ පිළිවෙළ සාර්ථක වූ බව තහවුරු විය. 2011 වෙසක් දින උදාව යනු 2600 සම්බුද්ධත්ව ජයන්තියේ උදාවමය. මෙම මහෝත්සව සතියේ දිනපතා හා දහම් පාසල් හි දහනව ලක්‍ෂයක් බෞද්ධ දරුවෝ පෙහෙවස් සමාදන් වූවෝ ය. තිස් එක් ලක්‍ෂයකට ආසන්න බෞද්ධ උපාසක උපාසිකාවන් පිරිසක් දිවයින පුරා සිල්සමාදන් වූවෝ ය. වෙනත් ආකාර වූ දන්සැල් දහස් ගණනකි. තොරණ සිය ගණනකි. දුප්පත් වුවද පහන් දෙකකින් බෞද්ධ කොඩියකින් සැරසිල්ලක් නොකෙරූ බෞද්ධ නිවසක් නොවූහ. අසරණයන්ට සරණ වූහ. ආමිෂ හා ප්‍රතිපත්තියෙන් වෙනත් වර්ෂවල වෙසක් පොහෝ දිනවලට වඩා දස ගුණයක ප්‍රබෝධයක් රටතුළ ගොඩනැඟුනේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජය හා මෙම මෙහෙයුම් කමිටුව හා කමිටු කාර්යාලයේ ප්‍රචාරාත්මක ව්‍යාපෘති නිසා බව රටේ බොහෝ අය නොදනිති. සම්බුද්ධත්ව ජයන්ති වෙසක් පෝ දින තිබූ ප්‍රබෝධයේ බොහෝ ගෞරවය මෙම කමිටුවට හා එම කාර්යාලයට බැරවිය යුතු ය.

මාතෘකාගත කරුණ පිළිබඳ කාරණාවන් මෙසේ වෙතත් රටේ ඇතැම් අයකුගේ අදහස වී ඇත්තේ සම්බුද්ධත්ව ජයන්ති කමිටුවෙන් හා එම කමිටු කාර්යාලයෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල නොලැබුණු බව ය. ඒ පිළිබඳවද මෙසේ යමක් සටහන් කිරීමට සුදුසු යයි හැඟේ. ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරයන්හි පරමාණු බෝම්බ පුපුරුවා දසක හතක් ඉක්මවූවද එහි ප්‍රතිරාවය ජපානය පුරා තවමත් පවතී. ඉන්දියාවේ බෝපාල්හි රසායනික ද්‍රව්‍ය පුපුරා යාමේ විපාක තුළින් අද ද සමහරු දුක් විඳිති. වියට්නාම, ඇමෙරිකන් විසිපස් අවුරුදු යුද්ධය නිසා වියට්නාමය ජයගත් මුත් එයින් සිදු වූ ආගමික හා සංස්කෘතික හානීන්ගෙන් මිදීමට තවමත් ඒ රටට නොහැකි විය. මෙවන් පිපිරීම් ඉතිහාසයක් ඇති ලෝකය පුරා වූ ඒ ඒ රටවලට සිදු වූ සාමයික හා සංස්කෘතික විනාශයන්ගෙන් අද ද ගොඩවිය නොහැකිව සිටිති. ඕනෑම රටක දීර්ඝකාලීන යුද්ධයක් පැවතුණහොත් ඒ රටේ ආර්ථිකයට හා සදාචාරාත්මක පැවැත්මට සිදුවන හානි බොහෝ කලක් යනතුරු නැවත යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි හේතු බොහෝ වෙති.

බුද්ධ ජයන්තියට

ඒ නිසා මේ සියලු කරුණු අතර සම්බුද්ධත්ව ජයන්ති උදාවකුත් එය සැමරීමට රජය පත් කළ කමිටුවකුත් එහි කටයුතු කිරීමට කමිටු කාර්යාලයකුත් පිහිටුවා තිබියදී බැලූ බැල්මට අපරාධ දුරාචාර හා දුසිරිත් බහුල වූයේ කෙසේදැයි යන ප්‍රශ්නයට ඉහත කරුණු සාධක වන බව බොහෝ අය නොදනිති. මෙසේ බැලූ විට සම්බුද්ධත්ව ජයන්තියකුත් තිබියදී මෙසේ අපරාධ වැඩි වූයේ කෙසේද යන ප්‍රශ්නය අතක්ක වූවකි. රටේ ජනගහන අනුපාතයන් දෙස බැලීමේදී වුවද වර්තමාන ජනගහනයට සාපේක්‍ෂව එදා සහ අද අපරාධ සංඛ්‍යාව සසඳා බැලුවහොත් වර්ෂ 1956 දී 2500 බුද්ධ ජයන්තියට අපරාධ අඩුවූවාක් මෙන් 2011 දී 2600 සම්බුද්ධත්ව ජයන්තියට ද අපරාධ සංඛ්‍යාව අඩු වී ඇත යනු නිවැරැදි සංඛ්‍යා ලේඛනයකි.

මෙකී සියලු කරුණු සැලකිල්ලට ගෙන සාරාංශ කළහොත් එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ද රාගාධික ද්වේෂාධික හා මෝහාධික මනුෂ්‍යයෝ වාසය කළෝ ය. වර්තමානයේ ද එසේම ය. තවත් අවුරුදු දහසක් ගිය ද මොවුහු අනාගත සමාජය ද නියෝජනය කරනු ඇත. එනිසාම බෞද්ධ අපි බුදුදහම ‘අකාලික’ දහමක් ලෙස පිළිගනිමු. තිස් අවුරුදු යුද්ධයක් තිබි සමාජයක අතිගරු ජනාධිපතිතුමා බෞද්ධ සංවිධාන හඬට කන්දී මෙවන් කමිටුවක් හා කාර්යාලයක් නොපිහිටුවේ නම් යුද්ධය නිමාව දෑ අවුරුද්දකින් උදා වූ මේ සම්බුද්ධත්ව ජයන්තිය කොයි ආකාරයෙන් සමරනු ලබයි ද යනු බුද්ධිමත්ව සිතා බැලීම වටී.

2600 සම්බුද්ධත්ව ජයන්තිය මෙසේ අර්ථවත් කිරීමට මහත්සේ උපකාර කළ සමස්ත මහා සංඝරත්නයට ද, බෞද්ධ සියලු සංවිධාන හා සියලු බෞද්ධයනට ද, සියලු මාධ්‍යයන්ට ද කමිටුවේ පුණ්‍යානුමෝදනය පිරිනැමිය යුතු වන්නේ ය. “බෞද්ධ පිළිවෙත් යනු දිනයකට, වසරකට හෝ ජයන්තියකට සීමා නොවේ. නිවන් ලබන තෙක් පිළිපැදිය යුතු ඒවා වෙති.”

“2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට පිළිවෙතින් පෙළගැසෙමු.”


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.