Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිවු දෙස දන් බෙදන අනුරපුර ස්වර්ණමාලි දන්වැට

දානය නම් සම්බුදු මුවින් ප්‍රශංසා කොට අනුදැන වදාළ මහත් වූ පින්කමකි. දනක් දෙන්නනම් සිත් පහළ වන්නේ පෙර සසරේ ඒ සඳහාම පුරුදු පුහුනුතාවය වූ ඇත්තන්ටමය. එතකුදු නොව ලෝභය අත්හළ අයටමය. දන් දීමෙන් මෙලොවත් පරලොවත් සිතු සිතු සම්පත් ලැබෙන බැව් දන්නෝ ඉන් නොනැවතී අධ්‍යාත්මික පරම සුඛය පතාද දන් පින්කම් කර ගනිති.


අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මහ සඟරැවන උදෙසා අටපිරිකර පූජා කළ අවස්ථාව.

ඉතිහාසයේ අප තරම් දන් පැන් දුන් ජාතියක් ලොවැ තවත් නැති තරම්ය. එදා රජ සිටු මැතිඳුන් හා එක්ව රස බොජුන් පිළියෙල කොට ශ්‍රද්ධා භක්ති ප්‍රමෝදයෙන් සතර දෙසින් වඩිනා මහ සඟරුවනට දන් දුන් පුවත් අපේ වතගොතේ අඩු නැත. දෙවැනිපෑතිස් නිරිඳාගේ මහා පාලි දන හළ තනවා ඇල් සහලින් දන් දුන් කළ අහසේ දෙවියෝ සාධුකාර දුන්නා පමණක් නොව මිහිකත තම ගත් කම්පිත කරවා ඒ ඒ අසිරිමත් පිනට ඕ තෝමෝද සම්මාදම් වූ බව අපේ ඉතිහාසයෙන් කියැවේ.

සා පිපාසා රෝ දුක් බිය ගැන කතර එතරින් පුවත් ඇසෙන කවර සමයේ වුව මේ ලක්දෙරණේ මිනිසුන්ට බිළිඳුන්ට මවුගේ දෙතනේ කිරි නොහි‍ෙඳන්නා සේ තුන්වේලටම කුස පුරවා ගන්නට මොනවා හරි යමක් පහළ වන්නේය. යුද ගිනිදැල් ඇවිලී ගිය ඉකුත් තිස් වසර පුරා වුවද දකුණේ තබා උතුරේවත් එකකු හෝ කුසගින්නේ මියැඳුණේ නැත. මේ ආශ්චර්ය නම් කිම? එදා පටන් මේ මොහොතේත් බුදු පාමොක් මහ සගනට දුගීමගී යාචකයන්ට මේ රටේ ඇත්තෝ දන් දෙන අනුභාවමය නොවේද?

මෙවන් සමයක තුන්සිය හැටපස් දවසෙම රන්වැලි සෑ හාමුදුරුවන් හිඳිනා මානයේ දන් දෙන මේ පුවත ද ඉතිහාසයේ අමරණීය සටහනක් වනු ඇත. ස්වර්ණමාලි දන් වැටෙන් දිනපතා දන් බෙදන මෙම පුවත දැන් රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇත. “බුද්ධ ස්පර්ශය ලත් බිමක හිඳ අනේ අපිටත් අසිරිමත් පින්කමක් කර ගන්නට නොහැක්කේ දැයි “ සිතූ ඇත්තන්ට දැන් ඒ සඳහා හොඳම අවකාසය විවර වී තිබීම පෙර වාසනාවක්මය.


ජනතාව ආහාර ලඛාගත් අවස්ථාවන්

අටමස්ථානය වැඳ පුදා ගැනීමට යනෙන උවසු උවැසියන්ටත් දුගී මගී ඇත්තන්ටත් තමන්ගේම දෑතින් දන් පිළියෙල කොට දහසක් දෙනාට එකම තැනකදී දන් දිය හැකි ස්වර්ණමාලි දන්වැට වඩා දැන් දැන් පිනැත්තෝ පෙළ සැදී සිටිති. ස්වර්ණමාලි දන්වැට පිළිබඳව මේ උතුම් අදහස පළමුකොට පහළ වන්නේ සිවු හෙළ බෞද්ධ පදනමටයි. මේ සංකල්පය වටා එස්.එම්. චන්ද්‍රසේන පදනම, වනජීවි හා ගොවිජන සේවා අමාත්‍යාංශය අත්වැල් බැඳගෙන සිටී.මේ අසිරිමත් මනා පින්කමට රුවන්මැලි චෛත්‍යරාමාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හා හිමියන්ගේ අනුශාසකත්වයත් වනජීවි හා ගොවිජන සේවා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ උපදේශකත්වයත් ශක්තියක් කර ගනිමින් උතුරුමැද පලාත් සභා මන්ත්‍රී එස්.එම්. රංජිත් (ස්වර්ණමාලි දන්වැට සම සභාපති) චූල බණ්ඩාර කුලසේකර (ප්‍රධාන ලේකම්) යන මහත්වරු ඇතුළු පිරිසකගේ අධීක්‍ෂණයෙන් මේ භාරදූර්ය කාර්ය ක්‍රියාවට නැංවෙයි.

ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ හිඳින රන්වැලි සෑ රඳුන් පෙනෙන මානයේ උස්මිටිකම් හැර සියලු දෙනාට එකම හැළියේ දන් පිසෙන සුවඳ දසත පැතිරෙයි. උතුම් ජය සිරිමහ බෝ හාමුදුරුවන් පුදන්නට එන ඇත්තන් හිස් අතින් නොයවා රසවත් ආහාර වේලකින් සංග්‍රහ කිරීමට කැමැත්තන්ට මේ හොඳම අවස්ථාවයි. කුරිරු සංග්‍රාමයක් නිමාකළ අභීත සෙන්පතියාණන් වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ ජන්ම දිනයත්, දෙවැනි පදවි ප්‍රාප්තියත් සමරා ස්වර්ණමාලි දන්වැටෙන් පළමු දන්වේල ඉකුත්දා පිරිනැමුයේ එතුමාටත් මුළු මහත් රටටත් සෞභාග්‍යය ප්‍රාර්ථනා පෙරදැරිවය.

සිවු හෙළ බෞද්ධ පදනමේ “ සිය සුව සෙත හැම සත වෙත” යන පරාර්ථ පාඨය වටා බැඳී ඇති සද්කාර්යයන් අතර ස්වර්ණමාලි දන්වැට හට ශ්‍රද්ධාවත් ජනතාවගේ නොමද සහාය දැන් දැන් ශක්තිමත් වෙමින් පවතී. තම තමන්ටත් තම ඥාති හිතෛශින්ටත් ආශිර්වාද පතා, පුණ්‍යානුමෝදනා පතා දන් වැටෙන් දිනයක් වෙන් කර ගැනීමට රටේ සතර දිග් භාගයේ ඕනෑම කෙනකුට දැන් ඉඩ හසර වෙන් වී හමාරය.

දන් දෙන්නට ජාතියක්, ජන්මයක්, ආගමක් නැත. මේ ලංකාද්වීපයේ උපන් වැසියෝ කවුරු කවුරුත් දන් දෙන්නට ඇලුනෝය. තම තමන්ගේ ප්‍රාර්ථනා සිත් පෙරටුකොටගෙන ජාති ආගම් භේදයකින් තොරව කාට කාට මුත් පිරිසුදු රසවත් අහර වේලක් පිරිනමන්නට ස්වර්ණමාලි දන්වැටෙන් බාධාවක් නැත. අපේ සහජීවනය ලොවට ගෙන යා හැකි හොඳම පණිවුඩය ද ස්වර්ණමාලි දන්වැට වටා බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික ඇත්තෝ එකාවන්ව එක්වී සිටීමය. මෙය පෙර නොවූ විරු පෙළහරක් බඳුය. අන්‍යයන් සඳහා සද් සිතින් යමක් දීම සෑම දහමකින්ම එකසේ පසසයි.

ස්වර්ණමාලි දන්වැටෙන් දන් වේලක් භාරගන්නා ඕනෑම කෙනකුට මහ සඟරුවන උදෙසා ඒ මොහොතේම අෂ්ට පරිෂ්කාර පූජා කිරීමටත් වෙනත් පූජා සත්කාරයක තම තමන් කැමැති පරිදි නියැළීමටත් අවස්ථාව ඇත.

නිසි කල වැසි වස්සවා ගොවි බිම් සරු කොට සොබාදහමේ ආශිර්වාදයෙන් එක් කරගත් ධන ධානයෙන් දහදිය මහන්සියෙන්,යහතින් උපයාගත් සපයා ගත් දෙයින් කොටසක් දනට වෙන්කිරීම එදා පටන් අද ද අපේ ඇත්තන් අතින් නොකඩවා සිදුවූ කාර්යයකි. පොසොන් දාට වෙසක් දාට, දන්සල් දෙන ජාතියක් වූ අපිට ස්වර්ණමාලි දන්වැට සිත් පුරා තුටු සිතින් දෑත් දිගහැර දන් බෙදන්නට කදිම අවස්ථාවකි. තඹයකුදු නොගෙන තම වීරියෙන් හා දානයෙන් අනුන්ගේ කුස පිරෙන සැටි බලා සාධු දී පින් රැස් කරන්නට පිරි සිත් ඇති සැදැහැතියෝ මෙදා ආශ්චර්ය යුගයේ අසිරිමත් මහානුභාව ස්වර්ණමාලි දන් වැට වටා පෙළ සැදෙන්නැයි ඉත සිතින් ඇරියුම් කරමු. විමසීම්: 0710153926, 0113140055


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.