Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිරිහෙන නොපිරිහෙන ධර්මයන් නිවැරැදිව හඳුනා ගනිමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

අතිශයින්ම වැදගත් වූ කාරණා කිහිපයක් මේ පින්වතුන්ට සිහිකරල දෙන්ට අපි කල්පනා කළෙමු. මේ කාරණා නොදැන ධර්මයේ පිළිසරණ ලබන්ට පුළුවන් කමක් ලැබෙයිද කියල හිතන්ට අමාරුයි. ඒ නිසා මේ කාරණා දැනගෙන ඒවා වටහගෙන ඒ කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ ධර්මයන් සමඟ වාසය කළොත්, අපට මහත් වූ යහපතක් අත්කර ගන්ට ලැබෙනවා කියන කාරණය වළක්වන්ට බෑ.

අංගුත්තර නිකාය කියන පොත් වහන්සේගේ චතුක්ක නිපාතයේ තියෙනව සූත්‍ර දේශනාවක් සක්ඛිභබ්බ කියල. ‘භබ්බ’ කියල කියන්නෙ හැකියි. කියන එක වෙන්ට පුළුවන් කියන අදහස, ඒ දේශනාවේදි අපිට කියා දෙනව පින්වත් මහණෙනි, ධර්මයන් හයකින් යුක්ත භික්‍ෂුවක් කැමැති වෙනව නම් යම් විශේෂ තත්වයකට පැමිණෙන්ට, ඒක සිද්ධවෙන්නෙ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා.

මොනවද ඒ කාරණා හය? පළමුවෙනි කාරණය තමයි, එයා ‘හාන භාගීය’ ධර්මයන් මොනවද? කියල හරියට දන්නෙ නෑ. ඒ කියන්නෙ අපි බණ භාවනාවන් පුරුදු වෙන කොට ඒවාට හානි පමුණු වන්නා වූ ධර්මයන් මොනවද කියලා එයා නිසි පරිදි දන්නෙ නෑ. ඊළඟට එයා දන්නෙ නෑ, ‘ඨිති භාගිය’ ධර්මයන්, ඒ කියන්නෙ තමන්ගෙ බණ භාවනාව ස්ථාවර භාවයට පත්වන්නා වූ ධර්මයන් මොනවද? කියල එයා යථාභූත වශයෙන් දන්නෙ නෑ. තුන්වෙනි එක, අපි විශේෂත්වයට පත්කරන්නා වූ යම් ධර්මයක් තියෙනවා නම් අන්න ඒ ධර්මයන් මොනවද? කියල හරි හැටි එයා දන්නෙ නෑ. හතරවෙනි එක, අවබෝධයෙන් කළකිරීම පිණිස පවත්වන්නා වූ යම් ධර්මයන් තිබෙනවා නම්, ඒවා මොනවද? කියල යථාභූත වශයෙන් එයා දන්නෙ නෑ. පස්වෙනි එක, සකස් කරල භාවනාව පුරුදු කරන්නෙ නෑ . ඒ කියන්නෙ පිළිවෙළකට, සකසා භාවනාව වඩන්නෙ නෑ. හයවෙනි කාරණය, ‘අපත්‍ය’ කරුණු , ඒ කියන්නෙ එයා භාවනාවට හානි පමුණුවන්නා වූ කටයුතු, එහෙමත් නැත්නම් සමාධියට හානි වෙන, අයෝග්‍ය වූ කටයුතු කරනවා “

අන්න ඒ කාරණා හයෙන් යුක්ත කෙනෙකුට විශේෂ වූ තත්වයකට පත් වෙනවා කියන කාරණාව, නැත්නම් විශේෂ තත්වයක් අත්කර ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

එතකොට අප මේ ශාසනයට ඇතුළුවෙලා තිබෙන්නේ විශේෂ වූ තත්වයන් ඇති කර ගැනීම පිණිසද? එහෙම නැත්නම් හිටිය තත්වෙනුත් හීන තත්වයට පත්වීම පිණිසද? ඒ විශේෂ තත්වයට පත්වීම පිණිස මුලින්ම අපි විසින් කරගත යුත්තේ කුමක්ද? අප මනුෂ්‍ය ගුණ ධර්ම ඇති කරගන්ට ඕනෑ නේද? මනුෂ්‍යයන්ට සුදුසු වූ ගුණ ධර්මයන් අප ඇති කරගන්ට ඕනෑ. ඒ මනුෂ්‍ය ගුණ ධර්ම වලින් යුක්තව වාසය කරන කෙනාට ඒ මිනිස් ගුණ දහම ඉක්මවා ගිය උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්ම ඇති කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. එහෙනම් අප මුලින් කළ යුත්තේ මනුෂ්‍යයන්ට සුදුසු ගුණ ධර්ම ඇති කර ගැනීමයි. එහෙනම් අප තේරුම් ගත යුතුයි. අප මනුෂ්‍ය ජීවිතයක් ගත කළා වුණත්, අප මනුෂ්‍යයන්ට නොසුදුසු වූ, අයෝග්‍ය වන්නා වූ ගතිගුණ අපේ සිතේ තිබෙනව කියල. එහෙනම් අපි දැන් ඉන්න තත්වයෙනුත් පහළට වැටෙන්ටද අප මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙන්නෙ ? නෑ නේද? අපි එහෙමනම් ඒ තත්වය දුරු කරගෙන මනුස්සකම ඉක්මවා ගිය විශේෂ තත්වයන් ඇති කර ගැනීම පිණිස තමයි අපි කැමැත්තෙන් ශාසනයට ඇතුළු වෙලා තියෙන්නෙ. එහෙනම් අන්න එබඳු විශේෂ තත්වයකට පත්වීමට බාධා කරන්නා වූ බාධා ඇති වන්නාවූ ඒ කාරණා හය අපි ඉගෙන ගත යුතුයි නේද?

එසේ අපි ඒ කාරණා නොදැන හිටියොත් , එහෙම නැත්නම් දැන් මේ පෙන්වා දුන් ‘හාන භාගිය ධර්ම’ වලින් යුක්ත වුණොත් අපිට විශේෂ තත්වයක් ඇති කරගන්ට බැරි වෙනවා.මේ ‘හාන භාගිය ධර්ම’ ඒ කියන්නෙ හානි පමුණුවන්නා වූ ධර්මයන් අපිට හානිය පිණිසම පවතින ධර්මයන් කියල දැන ගත්තොත් තමයි අපිට ඒවායින් මිදෙන්ට පුළුවන් වෙන්නෙ.මෙයයි හානි කරන්නා වූ ධර්මයන් කියල දැන ගත්තොත් තමයි අපි ඒවායින් නිදහස් වෙලා, ඒව අත්හැර ගෙන අපට විශේෂ තත්වයක් ඇති කර ගැනීම පිණිස ඒ ධර්මය පුරුදු කරගන්ට පුළුවන් වෙන්නෙ. දැන් බලන්න, අපේ ජීවිතේ යම් විදියකින් බණ භාවනා ආදි පුරුදු කරගෙන යනකොට, කඩා වැටීම් බිඳ වැටීම් ඇතිවෙලා තියෙනව නම්, අපි තේරුම් ගන්ට ඕන. අපි මේ ‘හාන භාගිය ධර්ම’ ඒ කියන්නෙ හානි පමුණුවන්නා වූ ධර්මයන් ඇසුරු කරනවා කියල. අපේ දියුණු වීම් ඇති වෙලා තියෙනව නම්, ඒකත් තේරුම් ගන්ට ඕන. අපි විශේෂ භාගිය ධර්මයන් ඇසුරු කරනවා කියල.

යම් කෙනෙක් විශේෂ භාගීය ධර්මයන් ඇසුරු කරනව නම්, එයාගෙ දියුණුවක් ඇති වෙනවා. එයා විශේෂ භාගීය ධර්මයන් අතහැරල හානි පමුණුවන්නා වූ ධර්මයන් සමීප කර ගත්තොත්, එතකොට බිඳ වැටීම් ඇති වෙනව. අන්න ඒ විදියටයි තේරුම් ගන්ට ඕනෑ. එතකොට බලන්න අපේ ජීවිතයේ දියුණුවක් ඇති වෙන ස්වභාවයක් තියෙනවද? බිඳ වැටීමක් තියෙනවද? දියුණු වෙලා බිඳ වැටෙනවද? බිඳ වැටිල දියුණු වෙනවද? මේ ආදි වශයෙන් අපේ වැඩ කටයුතු වල සාර්ථක අසාර්ථක තත්වයන් තියෙන්ට පුළුවන්. එතකොට අපි තේරුම් ගන්ට ඕන, මෙන්න මේ ධර්මයන් තමයි ඒකට හේතු වෙන්නෙ කියල.

අපේ ජීවිතයේ යම් දියුණුවක් ඇති වුණා නම් අපි විශේෂ භාගීය ධර්මයන් පුරුදු කරල තියෙනවා. අන්න ඒ කාලේ දී අපේ ජීවිතය දියුණු වෙලා යනව. හානි පමුණු වන්නා වූ ධර්මයන් පුරුදු කරල තියෙනව නම්, අන්න ඒ කාලේදී අපේ බිඳ වැටීම් තියෙනව. අපි පුරුදු කරන්නා වූ ධර්මයන් තුළ ස්ථීර භාවයකට අපි පත් වෙලා තියෙනව නම්, ස්ථිර වීම පිණිස උපකාර වන ධර්මයන් අපි පළපුරුදු කරල තියෙනව කියල තේරුම් ගන්ට ඕනෑ. ඒ වගේම අපි පුරුදු කරන්නා වූ ධර්මයන් තුළ අස්ථීර බවක් නම් තියෙන්නෙ අවිශ්වාසයක් තියෙනවා නම් ස්ථාවර වීම පිණිස උපකාර වන්නා වූ ධර්මයන් අපි පුරුදු කරල නෑ. ඒව අපෙන් අතහැරිලා අන්න ඒ විදියට තේරුම් අරගෙන අපි නිවරැදි වෙන්ට කල්පනා කරන්ට ඕනෑ. භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව ‘පින්වත් මහණෙනි’ මේ ධර්මයන් හයෙන් යුක්ත කෙනා විශේෂ තත්වයකට පත්වෙනවා කියන එක සිද්ධ වෙන්ට පුළුවන් කියල. විශේෂ තත්වයකට පත්වෙන්ට පුළුවන් වෙන්නෙ කොහොම කෙනෙකුටද? යථාභූත වශයෙන් එයා දන්නවා. මේවා තමයි හානි පමුණුවන්නා වූ ධර්මයන් කියල. ඒ කියන්නෙ නිවැරැදි ව එයා දන්නවා මෙන්න මේ ධර්මයන් වලින් තමයි හානි පමුණුවන්නේ කියල. ඒ වගේම එයා දන්නව මෙන්න මේ ධර්මයන් තුළ තමයි අපේ ජීවිතය ස්ථාවර ස්වභාවයකට පත් වෙන්නෙ කියල, ඊළඟට එයා දන්නවා මෙන්න මේ ධර්මයන් තුළින් තමයි අපේ ජීවිතය විශේෂ ස්වභාවයකට පත් කරවන්නේ කියල. අවබෝධයෙන්ම කළකිරීම පිණිස උපකාර වන්නේ මෙන්න මේ ධර්මයන් කියලත් දන්නවා. එයා දන්නවා සමාධිය පිළිවෙළකට පුරුදු කරන්නෙ කොහොමද කියල. ඊළඟට එයා දන්නාව සමාධියට හානි පමුණුවන්නා වු නුසුදුසු ක්‍රියා මොනවද කියල. මෙන්න මේ කරුණු වලින් යුක්ත කෙනා විශේෂ තත්වයකට පත් වෙනවා කියන කරුණ සිද්ධ වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. දැන් එතකොට අපි ඒ කාරණා ඉගෙන ගෙන අපේ ජීවිතයට සම්බන්ධ කරගන්ට කැමැති වෙන්ට ඕන.

මොනවද මේ හානභාගිය ධර්මයන්? එහෙම නැත්නම් හානි පමුණු වන්නා වූ ධර්මයන් කියල කියන්නෙ? හානි පමුණු වන එක දෙයක් තමයි ‘අයෝනිසෝ මනසිකාරය’ එතකොට විශේෂ භාගී ධර්මය මොකක්ද? යෝනිසෝ මනසිකාරයයි. හානි පමුණූ වන්නා වූ ‘හාන භාගිය ධර්මයන් ‘අතර තව එකක් තමයි අකීකරුකම අනික තමයි පාප මිත්‍ර ඇසුර විශේෂ භාගීය ධර්මයන් මොනවද? කීකරුකමයි, කල්‍යාණ මිත්‍ර ඇසුරයි ,හානභාගිය ධර්මයන් අතර ඊළඟ කාරණය තමයි, ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන් යුක්ත බව, ධර්මය කෙරෙහි ගරුසර නැති බව, සංඝරත්නය කෙරෙහි ගරුසරු නැති බව, ශීලය කෙරෙහි ගරුසරු නැති බව, අප්‍රමාදය කෙරෙහි ගරුසරු නැති බව, දහම් කථාව කෙරෙහි ගරුසරු නැති බව, සමාධිය කෙරෙහි ගරුසරු නැති බව, පවට ලැජ්ජාව කෙරෙහි ගරුසරු නැති බව, පවට භය කෙරෙහි ගරුසරු නැති බව, අන්න ඒව හානි පමුණු වන්නා වූ ධර්මයන්.

විශේෂ තත්වයට පත් කරන්නා වූ ධර්මයන් තමයි ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත බව, ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්ත බව, සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත බව, ශීලය කෙරෙහි ගරුසරු ඇති බව, අප්‍රමාදී බව කෙරෙහි ගරුසරු ඇති බව, දහම් කථා කිරීම සම්බන්ධයෙන් ගරු සරු ඇති බව, සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත බව, ඒක සමාධි ගාරවතා කියල හඳුන්වනවා. පවට ලැජ්ජාව කියන ගුණ ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්ත බව, පවට භය කියන ගුණය කෙරෙහි ගෞරවයෙන් යුක්ත බව, මෙන්න මේ ධර්මයන් විශේෂ භාගීය ධර්මයන්.

අප ගෞරවයෙන් තේරුම් ගන්ට ඕනෑ අපිට මේ ධර්මයන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද දෙයක් කියල.අපි මේව නොදැන හිටිය නිසා තමයි, අපට විශේෂ තත්ත්වයකට ජීවිතය දියුණු කරගන්ට පමා වුණේ. එහෙම නැත්නම් යම් දියුණුවක් ඇති වෙනව නම් ඒක ආයෙත් කඩාගෙන වැටෙන්නේ. දැන් අප තම තමාගේ ජීවිත දිහා බලන්ට ඕන. අප නොපිරිහී දිගටම දියුණු වෙලා යනවද? පිරිහෙනවද? දියුණු වෙලා කඩා වැටෙනවද? දියුණු වෙන්ටම බැරිද? කියල බලන්න. මේ විදිහට බලල, හේතු මෙතන තියෙනව කියල දැනගන්ට ඕනැ. මේ ධර්මයන් අප දන්නෙ නැතුව අපට අපේ ජීවිතයේ සාර්ථක කරගන්ට ලැබෙන්නෙ නෑ. ඒ නිසයි මේ ධර්මයන් සිහි කර දෙන්ට කල්පනා කළේ. අපි කවුරුත් කැමැති විය යුත්තේ බණ භාවනා කිරීමෙන් ජීවිතය සාර්ථක කරගන්ටයි .

තෙරුවන් සරණයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.