Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 යසසින් වැඩෙන ජීවිතයකට

තමා සතු ශක්ති ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ක්‍රියා කළ යුතුය. අරමුණ ජය ගැනීමේදී බාධක පරාජය කොට ඉදිරියට යෑමේ උපායශීලි වීර්යය ද අවශ්‍ය වේ. පාසල් දරුවකු වේවා, වැඩිහිටියකු වේවා, වෙන ඕනෑම තරාතිරමක අයකු හෝ වේවා. උට්ඨාන වීර්යයයෙන් කටයුතු කිරීම. ජීවිත සංවර්ධනයේ හිනිපෙතයි.

සම්බුද්ධ දේශනාව, ලෞකික ලෝකෝත්තර දෙපාර්ශවයේම වැඩ වැඩුමට මඟ පෙන්වන අකාලික ධර්මයකි. එහි පරලොවට වැඩ සාදා ගැනීමට පෙර මෙලොව දියුණුව සලසා ගැනීම උදෙසා උපදෙස් ඇතුළත් දේශනා රාශියකි.

ඉන් එක් අවස්ථාවක් හැටියට ඛුද්දක නිකායේ සංගෘහිත ධම්මපදය හඳුන්වා දිය හැකිය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොත ලෙස ව්‍යවහාර ප්‍රාප්තව පැවැතීම තුළින්ම එහි ඇති වැදගත්කම මොනවට පැහැදිලි වේ.

වග්ග විසි හයකින් හා ගාථා හාරසිය විසිතුනකින් සමන්විත ධම්මපදය ඉදිරිපත් කරන දර්ශනය තුළ අන්තර්ගත වන්නේ පුද්ගල සංවර්ධනය සඳහා යොදා ගත හැකි අනුගමනය කළ හැකි මඟපෙන්වීම් ය.

බුදුරජාණන් වහන්සේ විසින් කුම්භඝෝෂක අරභයා දේශිත මෙම ගාථාව ද ධම්මපදයේ ඇතුළත් වූවකි.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති

මෙම ගාථාවෙන් ජීවිත සංවර්ධනය උදෙසා ප්‍රයෝජනවත් කරුණු සතක් පැහැදිලි කරයි. එහි සඳහන් පරිදි නැඟී සිටීමේ වීර්යයෙන්, උත්සාහයෙන් යුක්තවීම (උට්ඨානවතෝ )කිසියම් කාර්යයක් ආරම්භයේදී තිබිය යුතුම ය. උත්සාහවන්තභාවයකින් තොරව කිසිම කාර්යයක් ආරම්භ කළ නො හැකිය. ඒ සඳහා එළැඹීමක් අවශ්‍යයයි. මෙම උට්ඨාන වීර්යය පියවර කිහිපයකින් දැක්විය හැකිය.

අත්තකාර සූත්‍රයේ මෙම උත්සාහවත් බව පවත්වා ගත යුතු ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කරයි. එහි පියවර කිහිපයකින් මෙම අවස්ථා ඉදිරිපත් කරයි.

ආරම්භක ධාතු (ආරම්භක වීර්යය)

නික්ඛම ධාතු (ඉදිරිපත්වීමේ වීර්යය)

පරක්කම ධාතු (නිරතවීමේ වීර්යය )

ථාම ධාතු (ස්ථාවර වීර්යය)

ඨිති ධාතු (පිහිටි වීර්යය)

උපක්කම ධාතු (උපායශීලි වීර්යය)

ආරම්භක ධාතු යනු ඇරැඹීමේ වීර්යයයි. ඇරැඹීමේ උත්සාහයයි. අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීම සඳහා නැතහොත් ඉලක්කය සපුරා ගැනීම සඳහා මූලිකම කාර්යය ලෙස ආරම්භක වීර්යය ඇතිකර ගත යුතුය. එය උත්සාහවත්භාවයයි. ඒ සඳහා ඉදිරිපත්වීමට ශක්තිය , හැකියාව තිබිය යුතු ය.

යමකට ඉදිරිපත් වීමේ හැකියාව නැති නම් , කිසිම කෙනෙකුට එම කාර්යය ආරම්භ කිරීමේ හැකියාව ද නැත. එය පවත්වා ගෙන යෑමට කාර්යයේ නිරතවී සිටීමේ වීර්යය තිබිය යුතුය. ඇරැඹූ කාර්යය මදකින් හෝ ආපසු නොහැරෙන පරිදි (මන්දෝත්සාහී නොවන පරිදි) ස්ථාවරව තම වීර්යය පවත්වා ගැනීම පුද්ගලයාගේ වගකීම වේ. නොපසුබස්නා උත්සාහය එය ම වේ.

අදාළ ගාථාවේ සඳහන් වන පරිදි අප කරන, කරවන කටයුතුවලදී මනා සිහියෙන් එය කළ යුතු වේ. එළැඹ සිටි සිහිය (යෝනිසෝ මනසිකාරය) කිසියම් කාර්යයක් මැනැවින් පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය වේ.

සති සම්පජඤ්ඤය නිසා ගෝචර,අගෝචර දෑ පිළිබඳ වැටහීමක් ඇති කර ගත හැකි ය. එමගින් අගෝචර දෑ බැහැර කොට ගෝචර දෑ තෝරා බේරා ගන්නට අවස්ථාව සැලසේ. සිහියෙන් යුතුව කරන කාර්යයන් මැනැවින් වටහා ගැනීමේ ශක්තිය අපට ලැබේ.

අප ජීවිතය පවත්වා ගැනීමේදි පිරිසුදු ක්‍රියා ඇත්තකු වීම අත්‍යවශ්‍යය. ධාර්මික කාර්යයන් හි නිරත විය යුතුය. ඒවා පවත්වා ගත යුතුය. පස් පවින් වැළැකී කාය, වාග් සංවරයෙන් හා හික්මීමෙන් යුතු, මිථ්‍යා ජීවයෙන් වැළැකුණේ, ධාර්මික ක්‍රියා ඇත්තකු බවට පත්වේ. ධාර්මික ක්‍රියා ඇත්තා කෙරෙහි බොහෝ දෙනාගේ පැහැදීම ඇතිවේ. අගය කිරීමට ලක් වේ. එම අගය කිරීම පුද්ගලයාගේ යහපැවැත්මට රුකුලක්වේ. තමාට අනර්ථයක් නොවන අනුන්ට අනර්ථයක් නොවන, තමාටත් අනුන්ටත් අනර්ථයක් නොවන අර්ථයක්ම වන ක්‍රියාකාරකම් පිරිසුදු ක්‍රියාකාරකම් වේ.

මෙය හොඳ ද,නරක ද, මේ දේ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය හොඳ ද, නරක ද, යනුවෙන් විමසා බලා කටයුතු කරන්නේ හැමවිටම සාර්ථක බවට පැමිණේ. විමසිලිමත්භාවය නිසා කරන කාර්යයයේ නිවැරැදි බව ඇති වේ.මේ නිසා ගැටලු ඇති නොවේ. ගැටුම් ඇති නොවේ.

යහපත් දිවියක් ගොඩ නගා ගැනීමේදී මනා හික්මීමක ඇති අවශ්‍යතාව ඉතා පැහැදිලිය. “ කාය වාචාය සමෝධානං සීලං” යන්නෙන් කියැවෙන පරිදි කායික හා වාචසික ක්‍රියා සංවරභාවයට පත්කර ගැනීමෙන් හික්මීමක් නිතැතින්ම ලැබේ.

කායික ක්‍රියාකාරකම් නිවැරැදි නොවූ කල ඇතිවන ගැටලු, ගැටුම් ගැන කවර කතාද? එබැවින් ජීවිතයේ සාර්ථකත්වය සඳහා මනා හික්මීමක් සෑම අයකු වෙතම පැවැතිය යුතුය. හික්මුණ තැනැත්තා සමාජයේ පි‍්‍රයශීලි චරිතයක් බවට පත් වේ.

ඔහුගේ අරමුණු සාර්ථක කර ගන්නට සංවරශීලිභාවය මනා හික්මීම උපකාරවත් වේ.

ධාර්මික ජීවිතයක් ගත කරන තැනැත්තා හට තමා උපයා සපයා ගන්නා දේ දැහැමින් , දහදිය මහන්සියෙන් ,සරිකරගත් ඒවා බව සිහිකළ හැකි විය යුතුය.අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, සහ අනවජ්ජ සුඛ යන සතර සැපය භුක්ති විඳිය හැක්කේ ධාර්මික දිවිපෙවෙතක් ගතකරන අයකුට පමණි.

කාර්යය සංවිධානයේදී පුද්ගලයකු සතුව තිබිය යුතු තවත් ඉතාම වැදගත් ගුණාංගයක් වන්නේ නො පමා බව යි.

නො පමා බව නිසා අවශ්‍ය වේලාවට තැනට සුදුසු පරිදි කටයුතු සැලසුම් කර ගන්නට හැකිය. ධම්මපදයේ ම ‘පමාදෝ මච්චුනෝ පදං’ යනුවෙන් “ප්‍රමාද වූවෝ මළවුන් වැන්නෝයැ” යි දක්වන්නේ ප්‍රමාදවීම පිරිහීමට හේතුවන බැවිනි.

පිරුණු පුද්ගලයකු වීම සඳහා මෙම කරුණු සතෙන් ලබා ගත හැකි ශක්තිය අපරිමිතය. ඒ අනුව කටයුතු කර ඔබත් සාර්ථක පුද්ගලයකු වන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.