Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටමස්ථානය - 02

ලෝවාමහාපාය

මේ කල්පයේ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, සහ ගෞතම නම් වූ සිව්මහා බුදුරජාණන් වහන්සේලා ගේ පාදශ්පර්ෂයෙන් පවිත්‍රත්වයටත් පූජනීයත්වයටත් පත් වූ අනුරාධපුර ශුද්ධ භූමියේ ඇති අටමස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාදීමේ අපේක්ෂාවෙන් පසුගිය සතියේ සිට බුදුසරණ පුවත්පත මඟින් ඡායාරූප විශේෂාංගයක් ඇරැඹිමු.

අද අපගේ විමැසුමට ලක් වන්නේ ලෝවාමහාපාය යි. තඹ ලෝහයෙන් කළ උළු පියස්සෙන් වැසුණු මන්දිරය නිසා මෙයට ලෝවාමහාපාය ලෙස නම තබා තිබේ. ලෝවාමහාපාය නොහොත් ලෝවාමහා ප්‍රාසාදය අනුරාධපුර ශුද්ධ භූමියේ පිහිටියේ ය. දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳුමහ රහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර සංකීර්ණයේ පොහොය ගෙය (උපෝසථාගාරය) ලෙස මෙය හඳුන්වයි.

දුටුගැමුණු රජතුමාගේ (ක්‍රි. පූ 161 - 137) රාජ්‍ය සමයේදී මෙය මහල් නවයකින් යුක්තව කරවන ලදී. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාළ අනාවැකියක් පරිදි රාජ මන්දිරයේ කරඬුවක බහාලන ලද රන්පතක ලියා තිබූ සටහනක් අනුව ලෝවා මහා පාය ගොඩ නැංවූ බව මහා වංශයේ සඳහන් වේ. දුටුගැමුණු රජතුමා මහමෙව්නා උයනට මහා සංඝරත්නය රැස්කරවා මෙසේ පැවසීය. ‘නුඹ වහන්සේලාට මම දිව්‍ය මන්දිරයක් සමාන වූ ප්‍රාසාදයක් කරවන්නෙමි. දිව්‍ය ලෝකයට වැඩ එහි ආකාර සැලැස්මක් මා වෙත ගෙන්වා දෙන සේක්වා’. ඉනික්බිති රහතන් වහන්සේ අටනමක් තව්තිසා දෙව්ලොවට වැඩ ‘භරණී’ නම් දිව්‍යාංගනාවගේ නවමහල් දිව්‍ය විමානය දැක එහි සැලැස්ම සිවුරක් මත සටහන් කරගත් බවත් එම සැලැස්මට අනුකූලව ලෝවාමහාපාය කර වූ බවත් මහාවංශය සඳහන් කරයි.

නොමැකෙන සිහිවටනයක්

මහා ශෛලමය කුළුණු දහස් ගණනක් මත මහල් නවයකින් යුක්තව එක් එක් මහලේ රිදියෙන් නිමවන ලද කුළුගෙවල් (කූටාඝාර) 100 බැගින් සහ ගබඩා දහසකින් සමන්විතව රන් රිදී මැණික් ආදියෙන් දිව්‍ය විමානයක් ලෙසටම අලංකෘතව මේ මහා පහය කර වූ බව වංශකතා වල සඳහන් වේ. මෙම වටිනා වස්තූන්ට අමතරව මේ මහා ප්‍රාසාදය සෑදීමට තිස් කෙළක් කහවනු (කහවනු කෝටි තිහක්) වැය වූ බව කියැවෙයි. මහා වංශයේ සඳහන් වන පරිදි ලෝවාමහාපායේ දිග, පළල සහ උස රියන් දහස (අඩි 1500) බැගින් විය. අද දක්නට ඇති නටබුන් වූ ගල් කණු වලින් වැසී ඇති භූමියේ දිග, පළල, අඩි 200 ක් බැගින් වෙයි. මේ නව මහල් ප්‍රාසාදයේ පළමු මහල පෘථග්ජන භික්ෂූන් වහන්සේ සඳහා ද දෙවැනි මහල ත්‍රිපිටකධර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ද තෙවෙනි, සිව්වැනි සහ පස්වැනි මහල් සෝවාන් සකෘදාගාමි සහ අනාගාමී ආර්යයන් වහන්සේ සඳහා ද වෙන් කරන ලද බවත් පස්වැනි මහලේ සිට නවවන මහල දක්වා රහතන් වහන්සේ වෙනුවෙන් වෙන්ව තිබූ බවත් සඳහන් වෙයි.

සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි (ක්‍රි.පූ 137 - 119) මහාපාය ආලෝකවත් කළ පහනක් පෙරැළී ලෝවාමහාපාය ගිනිගත් බවත් කියැවෙයි. දෙවන සිරිනාග රාජ්‍ය සමයේ ද නැවතත් මෙය ගිනිගත් බැවින් එය පස්මහල් කොට නිමැවී ය. මහසෙන් රාජ්‍ය සමයේදී (රා.ව. 739) වෛතුල්‍යවාදීන් ගේ කුමන්ත්‍රණයන් නිසා ලෝවාමහාපාය විනාශයට ලක්විය. කිත්සිරි මෙවන් රාජ්‍ය සමයේදී (රා.ව. 301 - 328) නැවත මෙය සත්මහල් කොට සාදන ලදී. අවසන් වරට පිළිසකර කර ඇත්තේ 12 වැනි සිය වසෙහි මහපැරකුම් රජතුමා විසිනි. අද දක්නට ඇත්තේ එම ප්‍රතිසංස්කරණයේ නටබුන් ය. දැනට ඇති ගල්කණු සංඛ්‍යාව 1600 කි. මහාවංශ ටීකාවේ සඳහන් වන පරිදි අනුරාධපුරයේ සිට නව යොදුනක් දුර දිඹුලාගලට ද බටහිර සයුරේ යොදුනක් දුරට ද සොභමාන සේ දිස් වූ බව පැවසෙන මේ මහාපාය කාල ගමන් මගෙදි ගිනිගෙන දැවෙමින්, විනාශවෙමින් නැවත ගොඩ නැගෙමින් අද දිනයේ නටබුන් වෙමින් වුව ද ඉතිහාස වංශකතාවේ නොමැකෙන සුවිශේෂී සටහනක් තබා තිබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.