Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූල මහා විහාරස්ථානය


පැරැණි ධර්ම ශාලාව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් මූල මහා විහාරස්ථානය හෙවත් ධර්ම ගුප්ත පිරිවෙන පිහිටා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයට අයත් පයාගල පාළයන්ගොඩ නමැති ගම්මානයේය. වෙල්යායක් මැද පිහිටා තිබෙන මෙම විහාරස්ථානය 1866 දී සරණංකර යන භික්ෂූන් වහන්සේ විසින් ගොඩනගන ලද්දකි. මෙය වසර 145 ක් පමණ පැරැණි විහාරයකි. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් ලියන ලද ‘’ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පිහිටුවීම’’ යන ග්‍රන්ථයෙහි ඉහත විහාරස්ථානය පිළිබඳව මෙසේ සඳහන් වී ඇත. ‘’කොළඹ සිට කිලෝ මීටර් 50 ක් පමණ දකුණින් ගාලු පාරට ඔබ්බෙන් පයාගල නම් කුඩා නගරය අසළ පාළයන්ගොඩ ගමේ ධර්ම ගුප්ත පිරිවෙණ පිහිටා ඇත. ප්‍රතිසංස්කරණවාදී නිකායක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය, 19 වෙනි සියවසේ මැද භාගයේ බිහිවූයේ මෙහිදී ය.’


පුස්තකාලය

මෙම විහාරස්ථානයේ වී නැළි දෙකක් පමණ වූ කමත් බිමක ඉතා කුඩාවට තැනූ කටුමැටි ගැසූ ශාලාවක් තිබූ අතර ඊට ව්‍යවහාර කර තිබුණේ ධර්මාශ්‍රාමය යනුවෙනි. එය බුද්ධ වර්ෂ 2403 දී තනන ලද බව ද කියැවේ.

සරණංකර යතිවරයාණන් මල්වතු උපසම්පන්බව හැරදමා අනුපසම්පන්න වීමෙන් අනතුරුව රාමඤ්ඤ දේශයට වැඩමකොට නව උපසම්පදාවක් ඇතිකොට ගනිමින් ඉන්ද්‍රාසභවරඤාණ සාමි යනුවෙන් පෙරළා මව්බිමට වැඩමකොට 1884 දී ධර්ම ගුප්ත පිරිවෙණ හා ධර්ම ශාලාව බිහිකර තිබේ. ඊට කොත් පැළදවීමද එම වර්ෂයේ සිදුවී ඇත.

උන්වහන්සේ විසින් බිහිකරන ලද රාමඤ්ඤ නිකායේ මූලස්ථානය එවක් පටන් මෙම ධර්මාශ්‍රමය වූ අතර එය ‘දූව පන්සල’ යනුවෙන් ද ප්‍රචලිත ය.


චෛත්‍ය රාජයාණන් වහන්සේ

1868 වසරේදී හඳගල රජමහා විහාරාධිපති පුලියංකුලමේ දීපංකර හිමිපාණන් විසින් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි ශාඛාවක් හිඳගල විහාරයේ සිට මූල මහා විහාරස්ථානයට වැඩමකොට රෝපණය කොට ඇති අතර එය වර්ථමානයේදීත් ඉතා නෙත් පිනවන ලෙසින් පවති යි.

වර්තමානයේදී මෙම මූල මහා විහාරස්ථානය ඇසුරින් බෞද්ධ සමාජයට හා ජනතාවට වන සේවය අපමණ ය. ඒ හැරුණු විට අද දක්වාම නිකායේ මහා නායක පදවියට පත්කිරීම කාරක, පාලක මහා සංඝ සභා රැස්වී එම පදවිය ස්ථිර කරනු ලබන්නේ ද පයාගල මූලමහ විහාරස්ථානයේදී ය.

 

 

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.