Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහම කාටත් පොදු වූ ජීවන දහමකි. සැදැහැවත් පුද්ගලයා ජීවත්විය යුතු ආකාරය, දන් පින් කළ යුතු ආකාරය එහි මැනවින් දක්වා තිබේ. එමෙන්ම සම්බුදු දහම තුළ සිතීමේ හා විමසීමේ නිදහස මැනවින් අගය කර තිබේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ තමන් අසා ඇති නිසාවත්, පාරම්පරිකව පැවත එන නිසාත්, එසේත් නැත්නම් කවුරුන් හෝ පැවසූ නිසාවත් නොපිළිගන්නා ලෙසයි. ධර්මයට විනයට අනුව සිතා බලා තම සිතට වැටහේ නම් පමණක් පිළිගන්නා ලෙස බුදු දහමේ උගන්වනු ලැබේ.

වසර 2600 ක කාලයක් ථෙරවාදී බුදුදහම යෙහෙන් වැජඹුණේය. කාලයාගේ ඇවෑමෙන් බුදුදහමටද විවිධාකාර බාධා එල්ලවුණි. ඇත්තෙන්ම එය අරුමයක් ද නොවේ. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිටම මේ ආකාරයේ ගැටලු පැවතුණා. ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේ අතර ඇති වූ විවාදය මීට හොඳම උදාහරණයක්. දේවදත්ත තෙරුන් විසින් ‘පංචවරයක්’ ඉල්ලා බුදුරජාණන් වහන්සේ එය නොපිළිගත් විට තමන්ට පක්ෂපාතී වූ භික්ෂූන් වහන්සේ පන්සිය නමක් ගයා ශීර්ෂයට කැඳවාගෙන යාමත් මීට තවත් හොඳ උදාහරණයක්.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ “ සුභද්‍ර” භික්ෂුව විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු “ ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු.

අපට දැන් කැමැත්තක් කළ හැකිය. අකැමැත්තක් නොකළ හැකිය” යන්නත් ඉන් පසුව විවිධ අවස්ථාවන්හිදි බුදු දහමට මෙන්ම ශාසනයටත් ඇදී ආ විවිධ ආකාරයේ ගැටලු බාධා ආදිය නිසා ගිහි පිරිස් මෙන්ම පැවිදි පිරිස් අතරටද බුදුදහම පැතිරයාමේදී විවිධ ගැටලු මතුවිය.

විශේෂයෙන්ම නිවැරැදි දේ කුමක්ද යන්න තෝරා බේරා ගැනීමට නොහැකි තත්ත්වයට බෞද්ධයා අසරණ භාවයට පත්වූ අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය අද වැඩියෙන් අපට දැනෙන බව පැහැදලයි.

මේ තත්ත්වය මත බෞද්ධයන් අන්‍ය ආගම්වලට හරවා ගැනීම පහසු වී තිබෙන බව පෙනෙනවා. බොහෝ විට මේ තත්වයට පත්වන්නේ දුගී දුප්පත් අයයි. එසේ වුවත් යමක් කමක් ඇති අයද මේ ආකාරයේ මං මුළාවට පත්ව ඇති බවක්ද පෙනේ.

අන්‍ය ආගම්වලට හරවා ගැනීම පහසු වී ඇත්තේ දුගී භාවය ඉලක්ක කරගෙන ජනතාව මුලා කර ගැනීමෙනි.

මෙහිදී දුගී පුද්ගලයන්ට කුමන හෝ ආකාරයක ද්‍රව්‍යමය ආධාරයක් ලබා දී ඔවුන් අන්‍ය ආගම් වලට හරවා ගැනීමට මේ අන්‍යාගමික ක්‍රමවේදයන් පතුරවන්නන් කටයුතු කරනවා.

ඔවුන්ගේ බලාපොරොත්තුව තමන්ට අවශ්‍ය අයුරින් තමන්ට අවශ්‍ය ආගමට දුගී පිරිස් හරවා ගැනීමයි.ඇතැම් විට දරුවන්ට හොඳ පාසලක් ලබාදීමට කටයුතු කිරීමෙන්ද තවත් විටෙක පැල්පත් නිවාස වෙනුවට හොඳ නිවසක් ලබාදෙන පොරොන්දු මතද අසරණ ජනතාව තම ආගමට හරවා ගැනීමට ඇතැම් සංවිධාන කටයුතු කරනවා. එසේම යමක් කමක් ඇති පුද්ගලයන් කෙරෙහිද වෙනත් මාර්ගයන් උපයෝගී කරගෙන ඔවුන්ගේ මුදල් දුගී දුප්පත් අයගේ යහපතට යෙදවීම මහත් කුසලයක් බව පෙන්වා ඔවුන් මගින් දුගියාට යමක් ලබාදී ඔහුගේ සිත වෙනස් කර තම ආගම් කෙරෙහි නැඹුරු කරවීමට පියවර ගනී. මේ සංවිධාන එවන් පුද්ගලයන් ඉලක්ක කරගෙන තම කටයුතු ක්‍රියාත්මක කිරීම මෙහි ඇති විශේෂිතම ලක්ෂණයයි.

බුදු දහම කාටත් පොදු වූ ජීවන දහමකි. සැදැහැවත් පුද්ගලයා ජීවත්විය යුතු ආකාරය, දන් පින් කළ යුතු ආකාරය එහි මැනවින් දක්වා තිබේ.

එමෙන්ම සම්බුදු දහම තුළ සිතීමේ හා විමසීමේ නිදහස මැනවින් අගය කර තිබේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ තමන් අසා ඇති නිසාවත්, පාරම්පරිකව පැවත එන නිසාත්, එසේත් නැත්නම් කවුරුන් හෝ පැවසූ නිසාවත් නොපිළිගන්නා ලෙසයි. ධර්මයට විනයට අනුව සිතා බලා තම සිතට වැටහේ නම් පමණක් පිළිගන්නා ලෙස බුදු දහමේ උගන්වනු ලැබේ.

බුදු දහමේ කිසිදු බල කිරීමෙක් නැත. විහාරස්ථානයට යාමටද අනිවාර්යය නොකරයි. සිල් සමාදන්වීම අනිවාර්ය කර නොමැත. භික්ෂූන් වහන්සේට හෝ දුගී මගී යාචකයන්ට දන් දීම හෝ අනිවාර්යය කර නොමැත.

මේ නිසා ඇතැම් පුද්ගලයන් බුදු දහමින් කුසල් කිරීම උදෙසා ජනතාව යොමු කර නැතැයි පවසා තම ආගමට හරවා ගැනීමට උත්සුක විය හැකිය. එය සම්පූර්ණයෙන්ම වැරැදි සහගතයි.

බුදු දහම තරම් නිදහස් චින්තනය අගය කළ වෙනත් ආගමක් දර්ශනයක් තවමත් බිහි වී නොමැත. මහජන අදහස්වලට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව, බුදුදහම ලෝ වැසියන්ට හඳුන්වා දී ඇත්තේ ආගමක් දර්ශනයක් ලෙසින් නොව නිවැරැදි ජීවන ප්‍රතිපදාවක් ලෙසයි. වර්තමානයේ පැවිදි ගිහි සබැදියාව දුරස් වී බෞද්ධයන් අන්‍යාගමික සංවිධානවල ගොදුරක් බවට පත්වී ඇත්තේ ප්‍රමාණවත් උගත්, බුද්ධිමත් භික්‍ෂූන් වහන්සේ බහුතරයක් අපට නොමැතිවීම නිසා විය හැකියි.

විශේෂයෙන්ම පාලි හා සංස්කෘත භාෂා පිළිබඳව මනා දැනුමකින් යුත් භික්‍ෂූන් වහන්සේ පිරිසක් රටේ තම ශාසනික සේවා නිසි පරිදි ඉටු කරන්නේ නම් බෞද්ධයන් මෙලෙස අන්‍යාගමික සංවිධානවල ගොදුරු බවට පත්වන්නේ නැහැ.

ථෙරවාදී බුදු දහම ගැන හොඳින් කරුණු හැදෑරීමට පාලි භාෂාව ඉවහල් වන්නා සේම මහායාන බුදු දහම ගැන දැන ගැනීමට සංස්කෘත භාෂාව පිළිබඳ මැනවින් දැනගෙන සිටීම අත්‍යවශ්‍ය වේ.

මේ භාෂා දෙකෙහිම වැදගත්කම වැඩි වශයෙන් දැනී ඇත්තේ එහෙයිනි. එසේම පාලි හා සංස්කෘත උගත් භික්ෂූන් වහන්සේ උසස් අධ්‍යාපනය ලබා ගිහියාට නිසි පරිදි දහම් කරුණු ලබාදීම වහ වහා කළ යුතුවේ.

නමුත් අද බොහෝ විට සිදුවන්නේ තරුණ භික්‍ෂූන් වහන්සේ උසස් අධ්‍යාපනය ලබා නාගරික විහාරස්ථාන සොයා යාමයි. ඇතැම් විට තවත් පිරිසක් උපැවිදි වේ. මේ නිසා ගම්වල පන්සල් වැසී යන තත්ත්වයට පත්වෙලා. වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේ නමක් හැරෙන්නට දැන උගත් භික්‍ෂූන් වහන්සේ අද ග්‍රාමීය වශයෙන් දැකීම පවා අසීරුය. ස්ථිර වාසස්ථානය ගමේ පන්සලේ වුනත් ඇතැම් භික්ෂූන් නගරයේ පාසලක, පිරිවෙනක ඉගැන්වීමෙහි කටයුතුවල යෙදෙනවා.අපේ සැබෑ තත්ත්වය මේකයි.

මේ තත්ත්වය මත රාජ්‍ය නොවන සංවිධාන ලෙසින් නැතිනම් සංයමව ආගම ව්‍යාප්ත කිරීමට ගම්මාන වලට එන පිරිස් තම අවශ්‍යතා කිසිදු බාධාවකින් තොරව ඉටු කර ගන්නවා.

ජනතාව දැනුවත් කරන්නට අයෙක් නැහැ.

උගත් බුද්ධිමත් භික්ෂූන් වහන්සේ නමක් පෙරමුණ ගත්තා නම් බෞද්ධාගමට ‘දුගී දුප්පත්’ යන සාධකය ගැටලුවක් වන්නේ නැහැ.

පංචශීලය ආරක්ෂා කර ගනිමින් සතර සංග්‍රහ වස්තු (දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යා, සමානාත්මතා) වැනි ධර්මතා මුල් කරගත් සමාජයක බෞද්ධාගමින් පලා යාමට හෝ බෞද්ධයකු නොවී දිවි ගෙවීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ.

තමන් දානය හෙවත් දීමෙහි කටයුතු කරනවා නම්, පි‍්‍රයවචනය සැමවිටම භාවිතා කරන්නේ නම් අර්ථචර්යාව හෙවත් දැහැමි දිවි පැවැත්මකට අනුව කටයුතු කරන්නේ නම් හා සමානාත්මතාවෙන් යුතුව අන්‍යයන් දෙස බලන්නේ නම් යහපත් සමාජයක් ගොඩ නැංවීම අසීරු වන්නේ නැහැ. භික්‍ෂූන් වහන්සේ අවශ්‍ය වන්නේ මාර්ගෝපදේශනය සඳහායි. දන්දීම කෙසේ කළ යුතුද? අන්‍යයන්ගේ සුව පහසුව සලසන්නේ කෙසේද? අනුන්ට කරදරයක් නොවන ලෙසින් දිවිගෙවිය යුත්තේ කෙසේද? වැනි එදිනෙදා ජීවිතයෙහි මුල් තැන ගන්නා කරුණු කෙරෙහි භික්ෂූන් වහන්සේ වැඩි අවධානයක් යොමු කර ඒ සම්බන්ධව ගිහියන් දැනුවත් කළ යුතු වෙනවා. එවිට පැවිදි ගිහි සබඳතා වර්ධනය වනවා පමණක් නොව යහපත් දිවි පැවැත්මකට ගිහියා යොමු වීමද නිතැතින්ම සිදුවෙනවා.

එවිට අසරණ නැති බරි අයට තමන්ට හැකි අයුරින් උපකාරී වීමට සියලු ගිහි පිරිසට අවකාශ ලැබෙනවා.

එසේ නොමැතිව විහාරස්ථානය දායකයන්ට ඇප උපස්ථාන කරනු ලබන ආයතනයක් හෝ ඒ සඳහා මුල් වී කටයුතු කරනු ලබන පූජනීය ස්ථානයක් නොවන බව අප සිත්හි තබා ගත යුතුයි.

විහාරස්ථානයෙන් කෙරෙන්නේ යහ මඟ පෙන්වා දීම, යහමඟට යොමු කිරීම පමණයි. එසේම මිනිසාට ජීවත්වීමට අවශ්‍ය සිවුපසය පමණ දැන පරිභෝගයද විහාරස්ථානය මගින් ජනතාවට ලබා දෙන උපදෙස් අතර වනවා. එසේ වුවත් අද සාමජය බහු භාණ්ඩික වී ඇති හෙයින් මිනිසා කොතරම් ලැබුණද ඉන් තෘප්තිමත් වන බවක් පෙනෙන්නට නැත. එයද මිනිසාගේ දියුණුවට බාධාවකි. අතීතයේ ගැමියාගේ පාරිභෝගික භාණ්ඩ මෙන්ම අපේක්‍ෂාවන්ද සිමිත වුණා.

කෙතරම් ලැබුණත් තෘප්තිමත් නොවන තත්ත්වයකට මිනිසා පෙළඹ තිබීම කනගාටුදායකයි.

බහු භාණ්ඩික වී ඇති මිනිසා තම වාසස්ථාන අධික මිල ගණන් ගෙවා ලබාගන්නා භාණ්ඩවලින් පුරවා ගන්නේ අනෙක් අයට පෙනෙන්නටයි. ඇතැම් පුටු මේස වසර ගණනකට වරක්වත් භාවිතා කරන්නේ නැහැ.

අධික වටිනාකමින් යුත් දල්වන පහන් ආදිය නොදල්වාම පිලිස්සී යන අවස්ථා ද තිබෙනවා. මෙතරම් අධික ආසාවන්ට යොමුවී ඇති නිසා බොහෝ දෙනාට අය වැය සමව පවත්වා ගන්නත් බැහැ.

ඉස්ලාම් ධර්මයේ ‘සකාත්’ යනුවෙන් තමා උපයන ධනයෙන් 2 1/2 % ක් අසරණයන්ට ලබාදිය යුතු බව දැක්වෙන කරුණු සියලුම ඉස්ලාම් දහම අදහන අයගෙන් සිදුවන බව අප අමතක නොකළ යුතුයි. එය නීතියක් නොවන නමුත් සිතට එකඟව සැම දෙනා විසින්ම ඉටු කරනු ලබනවා.

සිකුරාදා දිනවල දවල් සියලුම මුස්ලිම් ජනතාව තම සියලුම වැඩ කටයුතු අතහැර ආගම ඇදහීමට යනවා.

අපට මසකට සැරයක් ලබාදෙන පෝය නිවාඩුවවත් අප ආගම දහමට යොමු කරකනවාද? සති අන්තයක පෝය නිවාඩුව යෙදුනහොත් බොහේ විටම දුර ගමනක් යොදා ගැනෙනවා.

මෙවන් වාතාවරණයක් තුළදී යහපත් බෞද්ධ සමාජයක් ගොඩ නඟා ගැනීම හෝ බෞද්ධයන් වෙනත් ආගමික සංවිධානයන්හි ගොදුරු බවට පත්වීම වැළැක්විය නොහැකිය.

බුද්ධාගමට මුල් තැනක් දීමට ජනාධිපතිතුමාගේ සිට සියලුම නායකයන් බැඳී සිටිනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් . ගැටලුව වී ඇත්තේ සාමාන්‍ය පිරිස් තම අවබෝධය ඇති කර නොගැනීමත් ඔවුන්ට එම අවබෝධය ලබා දීමට බුද්ධිමත් උගත් පැවිදි භික්ෂූන් පිරිස මඳ වීමත් ය.

මේ වන විට යුරෝපා රටවල් රැසක බුදුදහම ඇගැයීමට ලක්වෙලා තියෙනවා.ඇතැම් පිරිස් නිවැරැදි කරුණු දැන ගැනීමට ශ්‍රී ලාංකික භික්ෂූන් හමුවීමටත් උත්සාහ දරන ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. ඒ බුදු දහමේ ඇති වටිනාකම නිසයි.

කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංග බුදු දහමින් මැනවින් පිළිබිඹු කර තිබෙනවා.බෞද්ධයින් නිසි පරිදි පිළිවෙත් කරා යොමුවෙනවා නම් තමන් කළ යුත්තේ කුමක්දැයි වටහා ගන්නවා නම් කිසිදු අවස්ථාවක බෞද්ධයන් අන්‍ය ආගම් ලබ්ධිකයන්ට හරවා ගැනීමට බැහැ.

තම ලාභ ප්‍රයෝජනය තකා එසේ වෙනත් ආගමකට, දර්ශනයකට යොමු වනවා නම් ඒ තැනැත්තා සිදු කර ගන්නේ අකුසලයක් ළඟා කර ගැනීම පමණ යි. බුදු දහම නිදහස් චින්තනය අගය කළත් තම ලාභ ප්‍රයෝජනයට කටයුතු කිරීම කිසිසේත් අනුමත කර නැහැ.

බුදු දහමේ සඳහන් ආකාරයට ආමිස, දානය, අභය දානය, ධර්ම දානය යන ත්‍රිවිධ දානමය පින්කම්හි අප නිරත වනවා නම් බෞද්ධයන් අන්‍යාගමික ග්‍රහණයෙන් මුදා ගැනීමට එයත් ඉවහල් වන බව අප සිත්හි තබා ගත යුතු යි.

එසේම භික්ෂූන් වහන්සේ ගැන දායක දායිකාවන් නිතර සොයා බලා කටයුතු කරනවා නම් උගත් බුද්ධිමත් පැවිදි පරපුරක් බිහි කර ගැනීමටත් අපට හැකියාව ලැබෙන බව සිහි තබා ගත යුතු ය.

අන්‍ය ආගම්වලට ජනතාව යොමු කරන අන්‍යාගම්කරන පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට යොමු කර තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගන්නා ලෙස ද පසුගියදා ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුණා.

ඇත්තෙන්ම මෙම පනත මඟින් ඉල්ලා සිටින්නේ බෞද්ධ කතෝලික හින්දු ඇතුළු සියලුම ආගම් අදහන්නන් මූලධර්මවාදි සංවිධානවලින් බේරාගන්නා ලෙස ය

මේ පනත සම්මත කර ගැනීම තුළින් ආගමික සහජීවනයටද මඟ පෑදෙන බව අප අමතක නොකළ යුතුයි.

සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.