Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (SLAFF) 19 වන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මෙම 19 වැනිදා පස්වරු 2.30 කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. ජපානයේ අගොන්ශු නිකායේ මහානායක අතිගරු සෙයියු කිරියමා මාහිමියන්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත එදා මෙදා තුර මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පවත්වා ඇත. පාසල් දරු දැරියන් සඳහා වූ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයට අමතරව තවත් ප්‍රජා සේවාවන් රාශියක්ම එම පදනම හරහා සිදු කෙරේ. ඒ අතර දුෂ්කර බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීමත් , තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමත් පාසල් හා පිරිවෙන් පුස්තකාල හා යටිතල පහසුකම් වැඩිදියුණු කරවීමත් ප්‍රධාන තැනක් ගනියි. SLAFF හරහා මේ වනවිට අධ්‍යාපන ශිෂ්‍යත්ව 9939 ක් ද, 1129 දෙනෙකු සඳහා වෘත්තිය පුහුණුව ලබා දී ඇත.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අත්තුඩාවේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද, ජපානයේ අගොන්ශු නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක ෆූකද සෙයිඅ හිමිපාණන් ඇතුළු ජපන් අගොන්ශු දූත පිරිසකගේ සහභාගිත්වයෙන් ද සිදු කෙරේ. SLAFF හි අධ්‍යක්ෂ ජනරාල් අගොන්ශු නිකායේ දකුණු අසියානු කලාපීය උපදේශක සෝමසිරි ඒ.පතිරණ මහතාගේ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ මෙහෙයීමෙන් උළෙල සංවිධානය කෙරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.