Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බර්ලින් සම්බෝධි විහාරයේ කඨින පූජෝත්සවය

ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථ මෙවර කඨින මහා පූජෝත්සවය ඔක්තෝබර් මස 22 වැනි සෙනසුරාදා දින පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා බර්ලින් බෞද්ධ සංගම් ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් බර්ලින් සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති හා ගම්පහ දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

ජර්මනියේ නව තානාපති සරත් කෝන්ගහගේ මහතා විසින් සධාතුක කරඬුව වැඩමවීමෙන් අනතුරුව ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් වැඩමවා වදාළ මහා සංඝරත්නය සහ විශේෂ ආරාධිත අමුත්තන් පිළිගැනීම සිදුකළ අතර අනතුරුව පොල් තෙල් පහන දැල්වීම ජර්මනියේ නව තානාපති අධිනීතිඥ සරත් කෝන්ගහගේ් මහතා, බර්ලින් ජර්මන් බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ෙරෙනර් නොආක් සහ ජර්මන් සිංහල පින්වතුන් හා දරු දැරියන් අතින් සිදු කෙරිණි.

පිරිස පංචශීලයෙහි පිහිටුවීම දෙහිවල ශ්‍රී මහාබෝධි විහාරාධිපති ශාස්ත්‍රපති මිහිරිපැන්නේ ශ්‍රී සෝභිත හිමියන් අතින් සිදු කිරීමෙන් අනතුරුව කඨිනානිශංස අනුශාසනාව ඔස්ට්‍රියාවේ වියානානුවර ශ්‍රී ඤාණපෝණික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය විජයරාජපුර සීලවංශ නාහිමියන් විසින් ජර්මන් භාෂාවෙන් පවත්වනු ලැබීය. දවල් සංඝගත දක්ෂිණාව පැවැත්වීමෙන් අනතුරුව කඨින චීවර පූජාව සිදු කැරිණි.

කඨින පින්කම අවසානයේ බර්ලින් සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් පුණ්‍යානුමෝදනාව සිදුකළ අතර, ජර්මනියේ නව තානාපති සරත්කෝන්ගහගේ් මහතාට සහ වසර දෙකක කාල සීමාවක් ජර්මනියේ නියෝජ්‍ය තානාපති ලෙසට කටයුතු කර සිය සේවා කාලය අවසන් කොට ශ්‍රී ලංකාවට තවදුරටත් සේවය කිරීම සඳහා පිටත්ව යන මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාට ද තෙරුවන් සරණේ ආශිර්වාදය ලබාදීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව පැවසීය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පැවැති ත්‍රස්තවාදය අතුගා දැමීමට පෙරමුණගත් වීර සෙන්පතියන් අතර මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා සුවිශේෂි චරිතයක් වන බවත් තම ජීවිතය පරදුවට තබා රට බේරා ගැනීමට කටයුතු කළ බවත්, තමන් වහන්සේ ජර්මනියේ වසර 19 ක කාලයක් තිස්සේ වැඩ වසමින් ශ්‍රී ලංකා තානාපතිවරු හය හත් දෙනෙක් සමග එකට කටයුතු කළ බවත්, මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගෙන් සුවිශේෂි මෙහෙවරක් ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සිදු වූ බවත් පැවසූහ. තානාපති කාර්යාලයේ අවුරුදු උත්සව, වෙසක් උත්සව, පිරිත් පින්කම්, දීපාවලි උත්සව, නත්තල් උත්සව ආදිය කිසි දිනක නො පැවැත්වුණ බවත්, නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා සිය කටයුතු භාරගත් දින සිට මෙබඳු උත්සවයන් පැවැත්වීමෙන් ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුළ සමගිය සමාදානය ඇති කිරීමේලා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ බවත් කිසි දිනක ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල භූමියට නො පැමිණි ද්‍රවිඩ පිරිසක් උත්සවලට සහභාගි කර ගනිමින් සිංහල ද්‍රවිඩ පිරිස් තුළ එකමුතුව ඇති කළ බවද කීය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.