UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අතීතයත් අනාගතයත් ගැන ශෝක නොකරන ජීවිතය

පසුගිය දේ ගැන සිතමින් ශෝකවීමෙන් සිදුවන්නේ එදිනෙදා කටයුතු අතපසු වීම පමණි. එයින් කාලය අපතේ යෑමත්, යතාවබෝධයෙන් බැහැරවීමක් සිදුවන බව තේරුම් ගත යුතුය. කාලය රන් හා සමාන බව අප අසා ඇත. එහෙත් රන් සොයා ගත හැකි වුවත් අපතේ ගිය කාලය යළි සොයා ගත නොහැකිය.

විශාල බොදු පුබුදුවක් ඇතිවෙමින් තිබෙන, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර ගෙවෙන මේ කාල වකවානුවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් බෞද්ධ ප්‍රතිපදාව මත ගමන් කරන පිරිස සංඛ්‍යාත්මකව වර්ධනය වන බව පෙනේ.

එසේ වුවද බොහෝ දෙනා තුළ දක්නට ලැබෙන පසුගාමී ගුණයක් නම් අතීතය ගැන සිතමින් සුසුම් ලෑමයි. තවත් අය අනාගතය ගැන සිතමින් සුසුම් ලති. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ අතීතය ගැන හෝ අනාගතය ගැන හෝ සිතමින් දුක් නොවිය යුතු බවය. ශෝක නොකළ යුතු බව ය.

අතීතංනානු සොචෙන්ති
නප්ප ජප්පන්ති නාඝතං
පච්චුප්පන්නේ න යාපෙන්ති
තෙන වණ්ණො පසීදතී’

බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් ඒ බව දක්වා වදාළ සේක. උන්වහන්සේ කිසිවිටක තම අතීතය සිහිපත් කර හෝ අනාගතය සිහි කරමින් හෝ ශෝක නොකළහ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනා අතීතය ගැන සිතමින් තම කටයුතු අතපසු කර ගනිති. කිසිදු ආකාරයක දියුණුවක් ඇති කර නොගනිති. එසේම අනාගතය ගැන සිතමින් දුක් වන අය ද අප සමාජයේ බොහෝය. විභාගයෙන් පාස් වෙන්න පුළුවන් වෙයිද? , විවාහය හරි යයිද මේ ආකාරයේ දහසක් ප්‍රශ්න හිසෙහි තබාගෙන දුක් වෙති. ගෙවුණු අතීතයත් නූපන් අනාගතයත් ගැනම සිතමින් දුක් වන අයට ඉදිරි ගමන ඵලදායි ලෙස සකස් කර ගත නොහැකිය. සිතෙහි ඇති දුක, දොම්නස, සන්තාපය නිසා එදිනෙදා වැඩ කටයුතු නිසියාකාරව සිදු කළ නොහැකිය.

බුදුරජාණන් වහන්සේ අවවාද කළේ වර්තමානයේ ජීවත් වන ලෙසටයි. එවිට තමන්ගේ වැඩ කටයුතු නිසියාකාරව ඉටු කර ගත හැකි වනවා මෙන්ම ශරීරයේ නීරෝගිතාවයද ආරක්ෂා කර ගත හැකිය. ශරීරයේ ප්‍රසන්නතාවද වර්ධනය වේ.

පසුගිය දේ ගැන සිතමින් ශෝකවීමෙන් සිදුවන්නේ එදිනෙදා කටයුතු අතපසු වීම පමණි. එයින් කාලය අපතේ යෑමත් , යතාවබෝධයෙන් බැහැරවීමක් සිදුවන බව තේරුම් ගත යුතුය. කාලය රන් හා සමාන බව අප අසා ඇත. එහෙත් රන් සොයා ගත හැකි වුවත් අපතේ ගිය කාලය යළි සොයා ගත නොහැකිය. මේ නිසා පසුතැවිලි නොවන, ශෝක නොකරන ජීවිතයක් ගත කරන අයගේ මෙලොවත්, පරලොවත්, සැපදායක වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ බැව් අප නිතර සිහිපත් කළ යුතුය.

අපට එදිනෙදා ජීවිතය සාර්ථක කරගෙන ජීවත් විය හැකි ක්‍රමවේදය ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයේ හා සිඟාලෝවාද සූත්‍රයේද දක්වා තිබේ. විශේෂයෙන්ම සිඟාලෝවාද සූත්‍රයේදි ආර්ථිකය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට උපදෙස් ලබා දී ඇත.

ඒකෙන භොගෙ භුඤ්ජ්‍යෙය
ද්විහි කම්මං පයොජයෙ
චතුත්ථංච නිධා ප්‍යෙය
ආපදාසු භවිස්සති’

උපයනු ලබන ආදායම කොටස් සතරකට බෙදා වෙන් කර එක් කොටසක් එදිනෙදා අවශ්‍යතා සඳහා යොදා ගැනීම කළ යුතුය. කොටස් දෙකක් ආයෝජනය කළ යුතුය. ඉතිරි කොටස හදිසි අවශ්‍යතා සඳහා යොදා ගැනීමට ආරක්ෂාකාරීව තැන්පත් කළ යුතුය. අවමංගල්‍යයකදී, ලෙඩකට දුකකට අප සතුව යම් තැන්පත් මුදලක් තිබිය යුතුය. එසේ අතෙහි මුදල් නොතිබුණහොත් අන්‍යයන්ට අතපෑමට සිදුවේ. එවිට ණය වීමට සිදුවේ. ගත් ණය වෙනුවෙන් බොහෝ විට පොලී මුදලක්ද ගෙවීමට සිදුවනු ඇත. එසේ වූ විට තමාගේ හිසට තවත් බරක් වැටී තවත් අසරණ වේ. අනන සුඛය හෙවත් සෙස්සන්ට අත නොපා ජීවත්වීමේ සැපය දිවිය පහසු කරයි.

රාජ්‍ය සේවයේ යෙදෙන්නකුට එසේත්, නැත්නම් වෙනත් පෞද්ගලික ආයතනයක සේවකයකුට තම ව්‍යාපාරයන්හි ආයෝජනය කිරීමක් අවශ්‍ය වන්නේ නැත. එහෙයින් ඔහුට පළමු කොටසත්, දෙවන තුන්වන කොටස් දෙකත් එදිනෙදා පරිභෝජනය සඳහා යොදාගත හැකිය.

සිවුවන කොටස පමණක් හදිසි අවස්ථා සඳහා තැන්පත් කර තබා ගැනීම වැදගත් ය.

තමන්ට ලැබෙන ආදායම අනුව අය වැය ක්‍රමවත්ව පවත්වා ගැනීම සැලකිල්ලට ගත යුතුය. බුදුරජාණන් වහන්සේ නිවැරැදි ක්‍රමයට ධනය ඉපැයීමේ හා ධනය පරිභෝජනය කිරීමේ වැදගත්කම පැහැදිලිව දක්වා තිබේ. ධනය උපයන්නේ ඇයි? ජීවිතය පහසුවෙන් පවත්වා ගැනීමට යුතුකම් ඉටුකිරීමට හා කුසල් දහම්හි යෙදීම ආදිය සඳහාය. තවත් අයුරකින් කිවහොත් තමන් ගත කරන නිවැරැදි දිවි පෙවෙත ආරක්ෂා කර ගැනීමටය. තම ඥාතින්ට හිතවතුන් ඇතුළු පිරිසට යුතුකම් ඉටුකිරීම අත්‍යවශ්‍ය කරුණකි. යුතුකම ඉටු කරන නින්දා නොලබන පුද්ගලයා සමාජයෙන්ද අගැයීමට ලක්වෙයි. ඇතැම් පුද්ගලයකු මිය ගිය විට “අනේ ඒ මනුස්සය තව ටික කාලයක් හිටියනම් කොච්චර හොඳයිද? යුතුකම් දන්න මනුස්සයා කාට කාටත් උදවු කරනවා” යනුවෙන් ඔහු ගැන ගුණ වර්ණනා කරනු අප අසා ඇත.

මේ ආකාරයෙන්ම ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයේදි මෙලොව හිත සුව පිණිස හේතුවන කරුණු 4 ක් දක්වා ඇත. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජීවිකතා යනුවෙන් එම කරුණු බුදු හිමියෝ දේශනා කළ සේක.

ඕනෑම අයකුට තම දිවිය ආර්ථික ශක්තිය අනුව සකස් කර ගත හැක්කේ උත්සාහයෙනි. ජීවිතයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධානම කරුණු දෙකක් වන්නේ උත්සාහය හා පෙර කළ පුණ්‍ය ශක්තියයි. උත්සාහය, වීර්යය, මෙහිදී විශේෂයෙන් මතුකර නොගතහොත් කුසල ශක්තියද ඇතැම්විට මතු නොවනු ඇත.

“අද සීතලයි, අද උෂ්ණයි, කුසගිනියි, උදෑසන වැඩියි” මේ ආදි වශයෙන් අලසයා තම කටයුතු මඟ හරියි. එසේ විවිධාකාර හේතු සාදාගෙන තම වැඩ කටයුතු මඟ හරින්නාට යහපත් ජීවිතයක් ගොඩ නඟා ගත නොහැකිය.

උත්සාහයෙන් උපයා ගත් දේ ආරක්ෂා කර ගැනීම ඊළඟ වැදගත්ම කරුණයි. එය ආරක්ඛ සම්පදා යනුවෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්හ. සොර සතුරන්ගෙන්, ස්වභාවික උවදුරුවලින් තමන් උපයාගත් වස්තුව ආරක්ෂා කර ගත යුතුය. ඒ සඳහා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීමත්, තමන් විනාශය කරා ගෙන යන භෝග විනාශ මුඛයන්ගෙන් වෙන්වීමත් ඉතා වැදගත් වේ.

කල්‍යාණ මිතුරන් ඇසුර තමන්ගේ මෙලොව, පරලොව හිත සුව පිණිස අතිශය වැදගත් වන්නකි. අප වටා එක් රොක් වී සිටින බොහෝ මිතුරන් සැබෑ මිතුරන් නොවේ. ඔවුන් මිත්‍ර ප්‍රතිරූපකයන්ය. තමන්ද විනාශ වෙමින් අනුන්ද අයහපතට, විපතට, ඇද දමන්නන්ය. නිවන් දක්නා මොහොත දක්වාම බාලයන්ගේ ඇසුර නොලබා සත්පුරුෂ ඇසුර ප්‍රාර්ථනා කිරීම වැදගත්ම කරුණක් වන්නේ එහෙයිනි.

ඉමිනා පුඤ්ඤ කම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

කවුද මේ බාලයන්? අයහපත් දේ කියන කරන, අයහපත් දේ සිතන, වැරැදි ක්‍රියාවන්ට පොලොඹවන පුද්ගලයන් බාලයන් ලෙස සලකා අප ඈත් කළ යුතුය.

වරක් ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විචාලහ.

“ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, සම්මා සම්බුද්ධ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසා නොවේද?

එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ වදාළේ,

නැත ආනන්දය, සම්මා සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර මතයි” යනුවෙනි.

සමජීවිකතාවද සාර්ථක දිවියකට බෙහෙවින් මහෝපකාරී වන්නකි. සමජීවිකතා යන්නෙන් අදහස් කරන්නේ ජීවිතය සමබර ලෙසින් පවත්වාගෙන යෑමයි. ආර්ථිකය අඩපණ කර ගන්නේ නැතිව එදිනෙදා කටයුතු සාර්ථක ලෙසින් පවත්වාගෙන යෑමට සමජීවිකතාව බෙහෙවින් වැදගත්ය.

තමන් අතට ලැබෙන වැටුප රුපියල් 10,000 ක් නම් ඊට සරිලන ලෙස ජීවිතය හැඩ ගස්වා ගත යුතුය. නමුත් අපේ සමාජයේ එවැනි වැටුපක් ලබන අයකු සාමාන්‍යයෙන් කරන්නේ වැටුපෙන් අඩකට ආසන්න මුදලක් වැය කර ඇඳුම් ආයිත්තම් ගැනීමයි. එසේ වුවහොත් ජීවිතයේ අය වැය සමව පවත්වා ගත නොහැකිය. අය වැය සමව පවත්වා ගැනීම සාර්ථක දිවියකට උපකාරයක් වේ.

අප කළ යුත්තේ තම ජීවිතය දෛවයට භාර නොදී උතුම් අරමුණු කරා ළඟාවීමට හැකිවන පරිදි ජීවිතය සකස් කර ගැනීමය. තමන් ලබා උපන් හැටි හෝ වෙන්න තියෙන දේ වළක්වන්න බැහැ යනුවෙන් හෝ එසේත් නැතිනම් කරුමෙ තමයි, කියා හෝ පසුතැවීම අඥානකමයි.

තමාගේ යහපත සලසා ගත හැක්කේ තමන්ටය. ශාස්තෘන්වහන්ස්ට කළ හැක්කේ මාර්ගය පෙන්වා දීම පමණි.

මෙහිදී සිහිපත් කළ යුතු වන්නේ පැවිදි ගිහි සම්බන්ධතාව මැනවින් පවත්වා ගැනීමද යහපත් දිවියකට අඩිතාලම සදන බවයි. සිඟාලෝවාද සූත්‍රයේද පැවිදි ගිහි සබඳතාව පවත්වා ගත යුත්තේ කෙසේද යන්න මැනැවින් විග්‍රහ කෙරේ.

අවමංගල්‍යයක් හෝ වෙනත් කරදරයක් විපත්තියක් සිදු වූ විට බොහෝ පිරිස් විහාරස්ථාන කරා ඇදී එති. ඒ පැවිදි ගිහි සබඳතාවයේ එක් ප්‍රතිඵලයකි. එසේම මංගල්‍යයකට පෙර බොහෝ විට විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගැනීම සිදුවේ. ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ තම ජීවිතය ඵලදායක ලෙස මෙහෙවන අයුරු පිළිබඳ අවවාද ලැබීමට භික්‍ෂූන් වහන්සේ නිතර ඇසුරු කළ යුතුය. අපගේ උත්සාහය විය යුත්තේ සරු දේ සරුලෙසත් නිසරු දේ නිසරු ලෙසත් හඳුනාගෙන එදිනෙදා ජීවිතයට මුහුණ දීමය. එසේ නොමැතිව අතීතය හෝ අනාගතය හෝ ගැන සිතමින් ශෝකවීමෙන් සිදුවන්නේ අනාගතයත් වර්තමානයත් යන දෙකම දුක් සහගත වීම පමණි.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]