UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනියතබව දකිමු

මෙම සිරුර තුළ වටිනා යයි ගතහැකි හර ධර්මයක් නැත. අසෝබන බව, දුගඳ, පිළිකුල නිතර දක්නට ඇත. නන් වෙර ගත්ත ද යහපත් පි‍්‍රයතාවකින් පවත්වා ගන්නට නොහැක. නිතර සෝදයි. සුවඳ තවරයි. නන් සළු පිළි අන්දයි. අබරණ පළඳවයි. එහෙත් යථා බව කුමක්ද? ක්ෂණයකින් වෙනස් වීමයි.

කුම්භූපමං කාය මිමං විදිත්වා
නගරූපමං චිත්ත මිදං ඨපෙත්වා
යොධේථ මාරං පඤ්ඤායුධේන
ජිතං ච රක්ඛේ අනිවේසනෝ සියා.

මේ කය උපමාවට හිස් කළයක්
මේ සිත මිනිසුන් ගැවසුන නුවරක්
සතුරන් කෙලෙසුන් හා ඇත සටනක්
පැණ අවි දැරු දන ලැබ ගයි දිනුමක්

මුළාවේ අඳුරු තිමිර සිඳ දිවි මග ආලෝක වන්නේ ලොවුතුරු දහම වූ බුදු දහම තුළිනි. දිවියෙහි ඇති සැටි දැක දිවියට අලුත් අරුතක් බුදු දහම තුළින් එක් කරයි. බුදු බණ දන්නෝ නිති ජය ගන්නෝ වෙති. සසර දුක නසා ලබන්නට වෙර දරන පරම සුවය විමුක්තිය ලබා දෙන්නේද ඉන් මෙපිට ලෞකික ජීවිතය ජය ගැනීමට නිවැරැදි මඟ පෙන්වන්නේ ද බුදු දහමයි.

අප නිති අගයන, අගයා සරසන, සරසා අබිමන් උපදවන කය බුදු බණ තුළ දකින්නේ කළයක් ලෙසයි. “ඉමං කායං කුම්භ උපමං විදිත්වා”. මේ කය කළයක් මෙන් දැන යනු එහි අරුතයි. කළය උපමාව තුළ අරුතත් දෙකක් වෙයි. එනම් අනිත්‍යතාව සහ හිස් බවයි.

අනිත්‍ය බව

“සබ්බෙ සංඛාරා අනිච්චා” “අනිච්චා වත සංඛාරා” සියල්ල අනිත්‍ය වූ ලොව තුළ කය ද අනිත්‍ය වේ. කය ස්කන්ධ පහක සංකලනයකි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය නිත්‍ය නොවේ. රූපය පෙණ පිඩකි. වේදනාව දිය බුබුලකි. සඤ්ඤාව මිරිඟුවකි. සංඛාර හර නැති කෙසෙල් කඳකි. විඤ්ඤාණය ඉන්ද්‍රජාලයකි. පඤ්චස්කන්ධය උපමාවලින් දක්වතොත් එසේ ය.

රූප ගත් විට ද මහා භූත, ඉන්ද්‍රිය, විෂය, භාව, හදය, ආහාර, විකාර, විඤ්ඤත්ති ආදී වශයෙන් විසි අටකි. ඒවා එකිනෙක ගත් විට ද වෙනස් වෙයි. එනම් අනිත්‍යයි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ වශයෙන් වන නාමස්කන්ධය ද එසේ ය. අනිත්‍ය ලක්‍ෂණ කොට ඇත.

හිස් බව

මෙම සිරුර තුළ වටිනා යයි ගතහැකි හර ධර්මයක් නැත. අසෝබන බව, දුගඳ, පිළිකුල නිතර දක්නට ඇත. නන් වෙර ගත්ත ද යහපත් පි‍්‍රයතාවකින් පවත්වා ගන්නට නොහැක. නිතර සෝදයි. සුවඳ තවරයි. නන් සළු පිළි අන්දයි. අබරණ පළඳවයි. එහෙත් යථා බව කුමක්ද? ක්ෂණයකින් වෙනස් වීමයි. අපිරිසුදුයි. දුගඳයි.

පිළිකුලයි. බාහිරෙන් සැරසූ සිරුර ඇතුළතින් නෙක කුණප පුඤ්ජයකි. අසූචි පිර වූ රන් තලියකට උපමා කරන්නේ එහෙයිනි. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, දළඹුව, පිත්තාසය, ඇලදිව, පෙනහළු, මහබඩවැල, කුඩා බඩවැල, නොදිරවූ ආහාර, දිරවූ ආහාර, (අසූචි) හිස් මොළ, පිත, සෙම, සොටු, සැරව, ලේ,දහදිය, මේද, කඳුළු, වුරුණු තෙල්, කෙළ සඳ මිඳුළු, මුත්‍ර ආදී තිස් දෙකක් වූ කුණපයන් ගහණ ය. කුණු වන සුළු ය. ඕජස් ගලයි. පණුවන් සිරි සිරි ගා දඟලයි. දුගඳ හමයි. මෙවන් වූ සිරුරේ වටිනාකමක්, හරයක් කොයින්ද? එහෙයින් ම හිස් ය. මෙම සිරුර ඇසුරුකරගත් සිත නගරයකි. “ඉමං චිත්තං නගර උපමං ඨපෙත්වා” රටක් ගත් විට නගර ගම් නියම්ගම් වලින් යුක්තයි. ගම්, නියම් ගම් පාලනය වන්නේ, පෝෂණය වන්නේ, රැකෙන්නේ නගරයෙනි. රජු, මැති ඇමැතිවරු රාජ සභාව, සිටුවරු නගරය ඇසුරු කොට සිටිති. රටක පාලන තන්ත්‍රය පවතින්නේ නගරය තුළයි. නගරය රැකුණොත් ගම් දනව් ද සුරැකේ. යුද්ධයකදී ගම් දනව් කෙසේ වෙතත් නගරය සුරකින්නේ මෙනිසාවෙනි.

සිරුර රටක් නම් එම රටෙහි නගරය සිතයි. අනිත්‍ය වූ, හිස් වූ සිරුරේ පෝෂණයට පාලනයට, රැකවරණයට ප්‍රසම්පාදන සැපයිය යුතු යි. ඇස්, කන්, නාසා, දිව, ශරීරය යන ආයතන තුළින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ප්‍රසම්පාදන (අරමුණු) ලබා ගනියි. මෙහි දී ප්‍රණීත, හොඳ, යහපත් ප්‍රසම්පාදනම අපේක්‍ෂා කරයි. එහෙත් අනිෂ්ට දේ ද ලැබෙයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් සියල්ලම ලැබේ. තමා කැමැති දේම ලබන්නට, අකැමැති දේ දුරු කරන්නට අරගල කිරීම සිදුවේ. මේ නොනවතින අරගලයේ දී සිත් නගරයට සතුරන් ඇතුළු විය හැක. මෙම සතුරන් වන්නේ රාගය, ද්වේශය, බද්ධ වෛරය, ගුණමකුකම, අනුන් හෙළා දැකීම, තමන් උසස් කොට සැලකීම, අනුන් හා සැසඳීම, ඊර්ෂ්‍යාව, මසුරුකම, තද ගතිය, වඩාත් තද ගතිය (යම් දෘෂ්ඨිවල දැඩිව එල්බ ගැනීම) මත් වීම, වඩාත් මත් වීම ආදියයි. මොවුහු සිත් නගරය අවුල් කරති, විනාශ කරති, තවති, දවති.

සිත් නගරය බිඳ දැමූ විට කායික ක්‍රියාකාරීත්වයද දුර්වල වෙයි. යහපත් සිත් පහළ නොවන විට දිවි මඟ සංවර්ධනය නොවෙයි. සතුට හීන වෙයි. සතුට ලබන්නට වඩාත් පවට නැඹුරු වෙයි. දොම්නස, දුක, කනගාටුව, අසහනය ගොඩනැඟෙයි. මෙලොව දිවි මඟ විනාශ වෙයි. පරලොව ද විනාශ වෙයි.

සිත් නගරය රැක ගන්නට සේනාංක තැනිය යුතුයි. දාන, ශීල, භාවනා යන ත්‍රිශික්ෂාව පුරුදු කළ යුතු වෙයි. දාන ශීල භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්ම දේශනා, ධම්ම සවණ, දිට්ඨිජුකම්ම යන දස පුණ්‍ය ක්‍රියාවන්හි බහුල වශයෙන් යෙදිය යුතු ය. සද්ධා, ශීල, හිරි, ඔත්තප්ප, පඤ්ඤා, සුත, චාග යන ධනය රැස් කළ යුතු වෙයි. යහපත් දැක්ම යහපත් කල්පනාව, යහපත් වචන, යහපත් ක්‍රියා, යහපත් දිවි පැවැත්ම, යහපත් වීර්ය, යහපත් සිහිය, යහපත් සමාධිය යන අරි අටැඟි මඟෙහි ගමන් කළ යුතු ය. අනතුරුව ප්‍රඥා අවියෙන් පහර දී කෙලෙස් සතුරන් දිනිය යුතු යි. එවිට සිත නගරය රැකේ. දුක, දොම්නස, අසහනය පහ වෙයි. සතුට ලැබෙයි. ලෝකෝත්තර සුව අත්පත් කර ගනියි. නිවනින් සැනසෙයි.

සියල්ලෝම නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]