UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බාලගතිවලින් මිදී දහමින් සැනසෙන්නට දෙසූ දහමක්

ජීවිතයේ සැනසිල්ල සොයා යන සැමට තම තමාගේ් චරිත ස්වභාවයන්, ඇවතුම් පැවැතුම් පිළිබඳව අවදි වන්නට යැයි කරන ආරාධනාවකි.

‘’යානි කානි චි භික්ඛවේ භයානි උප්පජ්ජන්ති සබ්බානි
තානි බාලතෝ උප්පජ්ජන්ති නො පණ්ඩිතතො යේ කේචි
උපද්දවා උප්පජ්න්ති සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති
නො පණ්ඩිතො යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති සබ්බේ තේ
බාලතෝ උප්පජ්ජන්ති නො පණ්ඩිතෝති

“මහණෙනි යම් බියක් උපදින්නේ නම් ඒ හැම බියක්ම බාලයා නිසා උපදින්නාහ. පණ්ඩිතයා හෙවත් නුවණ ඇත්තා නිසා නූපදින්නා හ. යම්කිසි උපද්‍රවයක් උපදිත්නම් ඒ හැම උපද්‍රව බාලයා නිසා උපදිනා හ. පණ්ඩිතයා නිසා නූපදින්නා හ. යම්කිසි විපතක් වේ නම් ඒ හැම විපත්තීහු බාලයා නිසා උපදින්නා හ. පණ්ඩිතයා නිසා නූපදින්නා හ.

කාරුණික වූ පින්වත්නි

ඉහත සඳහන් කරනු ලැබුවේ, අංගුත්තර නිකායේ තික නිපාතයේ බාල වග්ගයට අයත් ධර්ම කොට්ඨාසයකි. මෙහි විස්තර කරන්නේ් බාල පුද්ගලයෙකුගේ ලක්ෂණ සහ ඔහු හෝ ඇය නිසා සිදුවන විපත්තීන් පිළිබඳවය.

මෙහිදී බාලයාගේ ලක්ෂණ සඳහන් කරන්නේ පණ්ඩිත හෙවත් නුවණැති පුද්ගලයාගේ යහපත් බවද මතුකොට දැක්වෙයි. ආරම්භයේදීම භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් බියක්, උපද්‍රවයක් සහ විපතක් ඇතිවන්නේ නම් ඒ හැම බාලයා නිසාම හට ගන්නා බවය. පණ්ඩිත තැනැත්තා නිසා එසේ නොවන බවය. බාල, අඥාන, අසත්පුරුෂ පුද්ගලයෙක් කෙතරම් හානිකර අයෙක්දැයි එමඟින් පැහැදිලිය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කරති.

‘’මහණෙනි, බටදඬුවලින් හෝ තණකරලින් කරන ලද ගෙයක් ගිනි ඇවිල ගත්තේ ද ඇතුළත හා පිටත සුණු පිළියම් කරන ලද, වැළක් වූ සුළඟ ඇති, අගුල් දැමූ යෙදු කවුළු දොර ඇති කූටාගාරය ද යම්සේ දවාද, මහණෙනි, ඒ ආකාරයෙන්ම යම් බියක් උපදිත් නම් ඒ භීතීන් බාලයා නිසා උපදනා හ. පණ්ඩිතයා නිසා නූපදනා හ. යම් උපද්‍රවයක් වෙත් නම් ඒ හැම උපද්‍රවයෝ බාලයා නිසා උපදනා හ. පණ්ඩිතයා නිසා නූපදනා හ. යම් විපතක් උපදිත් නම් ඒ හැම විපත් බාලයා නිසා උපදනා හ. පණ්ඩිතයා නිසා නූපදනා හ.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් පැහැදිලි කරති. ‘මහණෙනි, බාල පුද්ගලයා බිය සහිත වේ. පණ්ඩිත පුද්ගලයා බිය සහිත නොවේ. බාල පුද්ගලයා උපද්‍රව සහිත වේ. පණ්ඩිත පුද්ගලයා උපද්‍රව සහිත නොවේ. බාල පුද්ගලයා විපත් සහිත වේ. පණ්ඩිත පුද්ගලයා විපත් සහිත නොවේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියක් නැත. උපද්‍රවයක් නැත. විපතක් නැත.

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මුලින් දැක් වූ උපමාව ගළපා බලන්න. බටදඬුවලින් හෝ තෘණවලින් කරන ලද ගෙයක් ගිනි ඇවිල ගත්තේ නම් එහි දොරගුළු වසා ඇත්තේ නම් කුමක් සිදුවන්නේද? ගෙය පමණක් නොව ගේ් තුළ ඇති සියලු වස්තූ®න්ද, ඇතුළත සිටින්නා වූ පිරිසද ගින්නට හසුවනු ඇත. එය මහත් වූ බියකි. මහත් වූ උපද්‍රවයකි. මහත් වූ විපතකි. එමෙන්ම බාල හෙවත් අඥාන පුද්ගලයා නිසා ස්ථානයක, පරිසරයක පමණක් නොව ඇසුරු කරන ලද පිරිසද මහත් වූ බියට, උපද්‍රවයන්ට හා විපත්වලට මුහුණපෑමට සිදුවනු ඇත. ගෘහස්ථ පරිසරයක අඥාන පුද්ගලයන් නිසා අපමණ විපත් සිදුවේ.

එවැනි පුද්ගලයා නිසා මවුපියන්ට දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, හිතමිතුරන්ට ආදී වශයෙන් සැමට විපත්තිකරය. පැවිදි පරිසරයක ද අඥාන පැවිද්දෙක් නිසා මුළු සාසනයටම මහත් වූ විපත් ගෙනදෙනු ඇත.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති. ලක්ෂණ තුනකින් සමන්විත බාලයා හඳුනාගෙන එම බාල ලක්ෂණ තුන තමා විසින් අත්හරින්න. පණ්ඩිත පුද්ගලයාගේ ලක්ෂණ තුන අවබෝධ කොටගෙන එම ලක්ෂණ තමා කෙරේ සමාදන් කරවාගෙන පවත්වා ගන්න. මහණෙනි, ඔබ පහත සඳහන් කරන ආකාරයට හික්මිය යුතුය.

‘කම්ම ලක්ඛණො භික්ඛෙවෙ බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො, අපදානසොභිනී පඤ්ඤාති’

‘’මහණෙනි, බාලතෙමේ කර්මය ලකුණු කොට ඇතියේ ය. පණ්ඩිත තෙමේ කර්මය ලකුණු කොට ඇතියේ ය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනීය’’.

මෙහිදී බාලයාගේ සහ පණ්ඩිත තැනැත්තාගේ් කර්ම ලක්ෂණ ලෙස දැක්වූයේ කුමක්ද? ‘’මහණෙනි ධර්ම තුනකි. සමන්විත වූ බාලයා දත යුතුය. ඒ කවර කරුණු ද? බාලයා කාය දුශ්චරිතයෙන් ද, වාග් දුශ්චරිතයෙන් ද, මනෝ දුශ්චරිතයෙන් ද සමන්නාගතය. ‘මහණෙනි ධර්ම තුනකින් සමන්නාගත වූ පණ්ඩිත පුද්ගලයා දත යුතුය.

ඒ කවර කරුණුද? පණ්ඩිත පුද්ගලයා කාය සුචරිතයෙන් ද, වාග් සුචරිතයෙන් ද, මනෝ සුචරිතයෙන් ද සමන්නාගතය. භාග්‍යවතුන් වහන්සේ ඉහත දේශනා කළ ධර්ම කොට්ඨාසයේ ඉතාමත් අගනා දහම් පෙළක් ඇත්තේ ය. එනම් ‘’අපදාන සෝභිනී පඤ්ඤා’’ යනුවෙනි. එනම් ප්‍රඥාව චරිතාපදානයෙන් පෙන්වන්නේය හෝ මතුවන්නේ ය නම් අදහසයි. බාල පුද්ගලයා යනු හොඳ නරක හෝ කුසල් අකුසල් තේරුම් ගන්නට තරම් නුවණක් නැත්තාය. එසේ නොමැති නම් පාපී සිතිවිලි නිසා යහපත මඟහැර අයහපතටම පාපයටම, අකුසලටයම යොමුවන තැනැත්තාය.

බාලයාගේ ලක්ෂණ ලෙස දැක් වූ ත්‍රිවිධ දුශ්චරිතය තරමක් විමසා බලමු. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති. ‘’මහණෙනි බාලයාගේ බාලභිඤාණයෝ බාල නිමිත්තෝ, බාල චරිතයෝ තුන්දෙනෙකි. ඒ තුන්දෙනා කවරෙක්ද? මේ ලෝකයෙහි බාල පුද්ගලයා නපුරු සිතිවිලිවලින් යුතු වෙයි.

(බාලො දුච්චින්තිත චිත්ත ච හෝති) නපුරු වචන කතා කරනුයේ වෙයි. (දුබ්භාසිතාභාසී) නපුරු ක්‍රියා කරනුයේ ද වෙයි. (දුක්කතකම්මකාරී) මහණෙනි, ඉදින් බාලයා නපුරු සිතිවිලි සිතන්නේ නපුරු දේවල් කතා කරන්නේ, නපුරු කර්ම කරන්නේ ද පණ්ඩිතයන් විසින් මේ බාලයෙක්ය, අසත්පුපැෂයෙක් යනුවෙන් ඒ පිරිස හඳුනා ගන්නා හ. මෙම ලක්ෂණ තුන්දෙනා බාලයාගේ බාල ලක්ෂණ වෙති. බාල නිමිත්ත වෙති. බලාපදාන වෙති’’

‘’මහණෙනි, පණ්ඩිත පුද්ගලයාගේ් පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත නිමිති, පණ්ඩිත චරිත තුන්දෙනෙක් වෙති. ඒ තුන්දෙනා කවරෙක්ද? පණ්ඩිත පුද්ගලයා යහපත් සිතිවිලි සිතන්නේ වෙයි. (පණ්ඩිතො සුචින්තිත චින්තී ච හෝති) යහපත් දේ පවසන්නේ වෙයි. (සුභාසිතභාසී) යහපත් දේම කරන්නේ වෙයි. (සුකතකම්මකාරී) යම්හෙයින් පණ්ඩිත පුද්ගලයා යහපත් සිතිවිලි නොසිතන්නේ නම්, මනා වූ වචන නො පවසන්නේ නම් මනා වූ කර්ම නොකරන්නේ නම්, පණ්ඩිතයන් විසින් මේ පණ්ඩිතයෙක්ය, සත්පුරුෂයෙක් ය යනුවෙන් කෙසේ හඳුනා ගනී ද? යහපත් සිතිවිලි සිතන නිසාම, යහපත් වූ වචන පවසන නිසාම, යහපත් වූ කර්ම කරන නිසාම, පණ්ඩිතයෝ මේ සත්පුරුෂයෙකැයි, පණ්ඩිතයෙකැයි හඳුනා ගනිති. මේ පණ්ඩිත පුද්ගලයාගේ පණ්ඩිත ලක්ෂණයෝ ය. පණ්ඩිත නිමිත්තයෝ ය. පණ්ඩිතාපදානයෝ ය. මහණෙනි, නුඹලා විසින් මේ බව දැන මෙසේම හික්මිය යුතුය’.

බාලයාගේ සහ පණ්ඩිත පුද්ගලයාගේ ගති ලක්ෂණ මැනවින් අවබෝධ කොටගෙන පණ්ඩිත ලක්ෂණම, පණ්ඩිත නිමිත්තම, පණ්ඩිත චරිතයන්ම පුරුදු කිරීම, පණ්ඩිත ලක්ෂණවල සත්පුරුෂ ලක්ෂණවල හික්මීම යනුවෙන් අදහස් කෙරේ.

බාල සහ පණ්ඩිත ලක්ෂණ අප විසින් අවබෝධ කොට ගත යුත්තේ පිරිස් අතර පටිඝයක් ලෙස ගැටීමට, බෙදීමට, අමනාපකම් ඇතිකර ගැනීමට හේතුවක් කර ගැනීමට නොවේ. තම චරිතයෙහි බාල ලක්ෂණ වෙත්නම් ඒවා බැහැර කරමින් පණ්ඩිත ලක්ෂණ පුරුදුකර ගැනීමටය. සත්පුරුෂයෙක් ලෙස අන් අය කෙරේ බාල ලක්ෂණ වෙත්නම් කාරුණිකව පෙන්වා දිය හැකිය. එනම් අවමන් කිරීමේ හෝ නිග්‍රහ කිරීමේ අදහසින් නොවේ.

බාල ලක්ෂණ ඇති අය, අවංකම ඒවා තේරුම් ගෙන තවදුරටත් ඒවා තම චරිතයෙහි පවත්වා නොගෙන පණ්ඩිත සහ සත්පුරුෂයන්ගේ් ආශ්‍රයද ඇතුව තමා නිවරැදි කරගත යුතුය. යම් බාලයෝ තම බාල ගති ලක්ෂණ, බාලගති ලක්ෂණ ලෙස තේරුම් නොගන්නා අතර, වරෙක එම බාල ගති හා නිමිති නිවරැදි ලක්ෂණ ලෙස සිතන්නට සහ පවසන්නට ද පුරුදු වී සිටිති. භාග්‍යවතුන් වහන්සේ ඒ බව මෙසේ පැහැදිලි කොට දේශනා කරති.

‘අච්චයං අච්චයතෝ න පස්සති
අච්චයං අච්චයතෝ දිස්වා
යථා ධම්මං න පටිකරෝති
පරස්ස ඛෝ පන අච්චයං
දේසන්තස්ස යථා ධම්මං
න පතිගණ්හාති

‘බාල හෙවත් අඥාන පුද්ගලයා වරද වරදක් ලෙස නොදකියි. බාල හෙවත් අඥාන පුද්ගලයා වරද වරදක් බව දැක ඇවතට නිසි පිළියම් නොකරයි. ඒ වරද හෙවත් අපරාධය දෙසන හෙවත් පවසන අන් පුද්ගලයාගේ නිවැරැදි වදන් නොපිළි ගනියි.

යමෙක් තම වරද වරදක් ලෙස නො දක්නා තෙක් වරද නිවරැදි කරගන්නට වෑයම් කරන්නේ නැත. එයට හේතුව තමා නිවරැදි යයි සිතා සිටින බැවිනි. මේ අතර මෙවැනි බාල පුද්ගලයෝද සිටිති. එනම් තමා වැරැදි හෝ වරදක් කරන බව දනිති. එනමුත් ඒ නොපෙන්වා තමා නිවරැදි බවම පෙන්වීමට වංචනිකව උත්සාහ ගනිති. යම් සත්පුරුෂ හෝ කල්‍යාණවන්තයෙක් වරද පෙන්වා දෙන විට එය නිහතමානීව නිවරැදි කර ගැනීම වෙනුවෙන් ඒ වරද කරුණාවෙන් පවා පෙන්වා දෙන සත්පුරුෂ අය සමඟ තරහ ගනිති. යම් විටෙක වෛර බැඳ ගනිති. එනමුත් පණ්ඩිත හෙවත් ප්‍රඥාවන්තයා එසේ නොවේ. වරද වරදක් ලෙස දකියි. වරද වරදක් ලෙස දැක එම වරද නිවැරැදි කර ගැනීමට ධර්මානුකූ®ල පිළියම් යොදයි. යමෙක් වරද පෙන්වා දෙන විට නිහතමානීවත්, කාරුණිකවත් එය පිළිගනියි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ් උතුම් වූ චරිත ලක්ෂණ එයට මනා වූ නිදසුන්ය.

තවත් බාලයාගේ් ලක්ෂණ කීපයක් මෙසේය. නුවණින් ප්‍රශ්න කරන්නේ වෙයි. නුවණින් ප්‍රශ්න විසඳන්නේ වෙයි. සරලවත්, පැහැදිලිවත්, අර්ථවත්ව, පද පිළිවෙලින් අන් අය විසින් විසඳන ලද ප්‍රශ්න සතුටින් පිළි නොගනියි. එනමුත් ඤාණවන්තයා එසේ නොවේ. යෝනිසෝමනසිකාරයෙන් යුතු නුවණින්ම ප්‍රශ්න කරනුයේ වෙයි. ඒ නුවණින්ම ප්‍රශ්න විසඳයි. සරලවත්, පැහැදිලිවත්, අර්ථවත්ව, පද පිළිවෙළින් අන් අය විසින් විසඳන ලද ප්‍රශ්න සතුටින්ම පිළිගනියි.

මෙහිදී අඥාන පුද්ගලයාගේ සහ නුවණැති පුද්ගලයන්ගේ වෙනස මනාව පැහැදිලි වෙයි. අප විසින් මෙහිදී මෙනෙහි කළ යුත්තේ මා කෙරේ හෝ අප කෙරේ පවතින්නේ කුමන ගති නිමිති හෝ ලක්ෂණයන් ද යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ තවදුරටත් පැහැදිලි කොට දේශනා කරති. අව්‍යක්ත අසත්පුරුෂ බාල පුද්ගලයා විනාශකරගත් පළුදුකරගත් බැහැරකරගත් ගුණ ඇතිව ආත්මය හෙවත් ජීවිතය පවත්වයි. වරද සහිත වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වෙයි. බොහෝ පව්ද රැස් කරයි. එනම් සිත, කය, වචනය නම් වූ තිදොරිනි. එනමුත් නුවණැත්තා අපමණ සපිරි ගුණ, පළුදු නොවූ, විනාශ නොවූ ගුණ ඇතිව ජීවිතය පවත්වයි. නිදොස් වූයේ වෙයි. නුවණ ඇත්තන් විසින් උපදවා නොකොට යුත්තේ ද වෙයි. බොහෝ කුසල් ද රැස් කරයි. ඒ සිත, කය, වචනය නම් වූ තිදොරිනි.

බාල පුද්ගලයා ත්‍රිවිධ ආකාර මල හෙවත් කෙළෙස් අත් නොහරියේ ගෙනවිත් බහා තැබුව සේ නිරයෙහි පිහිටියේ වෙයි. දුස්සීල වෙයි. ඊර්ෂ්‍යා ඇත්තේ වෙයි. මසුරු වූයේ වෙයි. මේ ත්‍රිවිධ මළවලින් යුතුවීම නිසා නිරයෙහි ඉපදීමට සිදුවෙයි. එනමුත් නුවණැති පුද්ගලයා සුගතියෙහි ඉපදීමට මාර්ගය සකසා ගනී. ඒ කෙසේද? සිල්වත් වීමෙනි. ඊර්ෂ්‍යාව නොමැති වීමෙනි. මසුරු නොවීමෙනි. ඒ ත්‍රිවිධ මළ හෙවත් කෙළෙස් අත්හැරීම හෙවත් ප්‍රහීණ කිරීම නිසාය. ඔබටත් මටත් ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවවාදය කුමක්ද? බාල ලක්ෂණ, ගති, නිමිති, වේනම් ඒවා බැහැර කොට පණ්ඩිත ලක්ෂණයන්හි හික්මීම හෙවත් ශික්ෂණයක් ලබන ලෙසය. එනම් පණ්ඩිත ලක්ෂණ පුරුදු කරගන්නා ලෙසය. බාලයෝ මෙලොවදීත් පිරිහෙති. පරලොවදීත් නිරයෙහි වැටී පිරිහෙති. පණ්ඩිතයෝ මෙලොවදීත් දහමින් දියුණු වෙති. සතුටුවෙති. ලෝකෝත්තර සුවද ලබා සතුටු වෙති. ඔබ අප සැමට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම වීර්යය වඩමු.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]