UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුදහම කා වෙනුවෙන්ද කුමක් සඳහාද

සමස්ත බුද්ධාගම පිළිබඳ අසන ප්‍රශ්නයක් තමයි බුදුදහම කුමක් සඳහාද යන්න, ඒ සඳහා සරලව ඍජු ලෙස දියහැකි කෙටිම පිළිතුර සියල්ල සඳහා කියන එකයි. නිවන් දැකීමට මේ පොළොව මත තිබෙන සියලු වස්තුන් වැදගත් වෙනවා. බුදුදහම මානසික ශික්ෂණය ඇතිකරන දර්ශනයක්

බුදුදහම කුමක් සඳහාද කා වෙනුවෙන්ද යන්නට සරල ඍජු පිළිතුරක් ලබාදෙන්නට අසීරුයි. මක් නිසාද යත් සෑමදෙයක් සඳහාම බුදුදහම භාවිතා වෙන්න පුළුවන්කම තිබෙන නිසා. ශ්‍රී ලකාවට සංගතව ගත්ත විට විවිධ අරමුණු උදෙසා බුදුදහම භාවිතා වෙලා තිබෙනවා. බුදුදහම ඇතුළත ඕනෑම දෙයකට අදාළ විය හැකි පිළිතුරක් තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.

නිවන් අවබෝධ කරලීම සඳහා දහම් දේශනා කරීම තමයි බුදුහාමුදුරුවන්ගේ පළමු පරමාර්ථය වුනේ. එකී අරමුණ සාක්‍ෂාත් කරලීමට උන්වහන්සේ විවිධ ක්‍රමවේද උපයෝගී කරගත්තා. උදාහරණයක් වශයෙන් විවාහය ගතහොත් විවාහයේදී කරන්න තිබෙන පළමු කාර්ය තමයි කොලයක අත්සන් තබන එක. එතැන ඉඳලා ජීවිතය ගෙවන්න අවශ්‍යයි. හැබැයි, කඩදායි කොළයේ අත්සන් කිරීමේ සිට දැවැන්ත සංස්කෘතියක් නිර්මාණය වෙනවා. පෝරු චාරිත්‍ර උත්සවශ්‍රීයත් එක්ක එන සංස්කෘතියක් විවාහය තුළදී ගොඩනැගෙනවා. ඒක සංස්කෘතියක ස්වභාවය න්‍යෂ්ටියක් වටා උපචාර අභිචාර මහා රාශියක් නිර්මාණය වෙනවා වගේ. ඒවාගේම බෞද්ධ දර්ශනයේ පෙන්වාදෙන විමුක්ති මාර්ගය වටා මනුෂ්‍ය ක්‍රියාකාරිත්වයන් රැසක් පවතිනවා.

බුදුහාමුදුරුවන්ගේ දැක්මත්, දර්ශනයත්, එකම ඉලක්කයක් වුනේ සාංසාරික සත්වයාට යථාර්තාවබෝධය ලබාදීම, එය එකම අරමුණ වුනාට ඒ සඳහා ක්‍රමවිද්‍යාවන් සැකසුනා. ඒ අනුව ගිහිජනතාව සංවිධාන ගත කරන්න ඕනෑ. ගිහි ජනතාව නිවන් අරමුණ කරා සංවිධාන ගත කිරීමේදී ගිහිජනයාගේ ගිහිකම එහි යහපත්කම රැකෙන්නත් ඕනෑ. එකී යහපත්කම රැකගෙන තමයි පුද්ගලයා නිවන කරා යොමු කළ යුතු වෙන්නෙ. ඒ අනුව තමයි ගිහියන්ට යහපත් ලෙස ජීවත්විය යුතු ආකාරය බුදුදහම තුළ පෙන්වාදීල තිබෙන්නෙ.

අර්බුද ගැටලුවලින් තොරව මානසික වික්ෂිප්තභාවය අඩුවන තැනකට ගිහියා පත්කළ යුතු නිසා ආධ්‍යාත්මික වැඩසටහන් හඳුන්වලා දුන්නා. ඒ සියලු දෙය නිවන නම් ඉලක්කය උදෙසායි.

අපි හිතමු. අපට යුද්ධය දිනිය යුතුයි කියලා. යුද්ධයක් දිනන්න නම් සතුරාට පහර දීලා සතුරා පරාජය කළයුතු වෙනවා. ඒ සඳහා සාහිත්‍යයක් නිර්මාණය කළයුතු වෙනවා. ඒ සාහිත්‍යයෙන් ජාතිකාභිමානය ජාත්‍යාලය, නිර්මාණය කරන්න ඕනෑ. මාධ්‍ය පාවිච්චි කරන්න ඕනෑ. ඒ නිසා ජාතිකාභිමානයෙන් ජාත්‍යාලයෙන් ඔඳ වැඩුණු පිරිසක් තරුණයන් අතරින් තෝරාගෙන හමුදාවට බඳවාගත යුතු වෙනවා. යුද්ධයට එන හමුදා සෙබළන්නේ දෙමාපියන් සනසන්න ඕනෑ. මේ අධ්‍යාත්මික සුවය සඳහා බෝධිපූජා සංස්කෘතියක් ඇතිකළ යුතු වෙනවා. හමුදා සෙබළා ජාතිය බේරීමේ කාර්යයයේ නියැළෙන මුරදේවතාවෙක් බවට පත්කිරීමට මාධ්‍ය මෙහෙයුමක් දියත් කළ යුතු වෙනවා. මේ ආදී දහසක් ක්‍රියාදාමයන් යුද්ධය ජයගැනීම නමැති මූලික පරමාර්ථය ඉටුකරගැනීම උදෙසා සිදුකළ යුතු වෙනවා. යුද්ධය අවසානික එකම අරමුණ වුනාට පෙර සඳහන් කළ ආනුසංගික වැඩසටහන් නැතිව යුද්ධය දිනන්න බැහැ. අන්න ඒ වාගේ තමයි නිවනත්. නිවන නම් වූ අවසානික අරමුණ වටා ආනුසංගික කරුණු රාශියක් බැඳිලා පවතිනවා.

නිවන් අරමුණට ළඟාවීමට විධිමත් සංස්කෘතික මිනිසෙක් විය යුතු වෙනවා.

සමස්ත බුද්ධාගම පිළිබඳ අසන ප්‍රශ්නයක් තමයි බුදුදහම කුමක් සඳහාද යන්න, ඒ සඳහා සරලව ඍජු ලෙස දියහැකි කෙටිම පිළිතුර සියල්ල සඳහා කියන එකයි. නිවන් දැකීමට මේ පොළොව මත තිබෙන සියලු වස්තුන් වැදගත් වෙනවා. බුදුදහම මානසික ශික්ෂණය ඇතිකරන දර්ශනයක්, උදාහරණයක් වශයෙන් පුද්ගලයා පාරිභෝගික භාණ්ඩවලට බැඳී ඇති ආකාරය තුළ පවතින රැවටීම, ආර්ථික රටාව තුළ පුද්ගලයා අතරමං කරලා.

පාරිභෝගික භාණ්ඩ බුදුහාමුදුරුවොත් පාවිච්චි කළා. අපිත් පාවිච්චි කරනවා. එදත් මිනිසුන්ට අවශ්‍යතා තිබ්බා. අදත් මිනිසුන්ට අවශ්‍යතා තිබෙනවා. අවශ්‍යතා පිළිබඳ කිසිම වෙනසක් නැහැ. නමුත් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ වෙනසක් තිබෙනවා.

උදාහරණයක් වශයෙන් ඇඳුමක අවශ්‍යතාව සැළකිල්ලට ගත්තොත්, එදා ඇඳුම අවශ්‍ය වුනේ විළිවසා ගැනීම සඳහා. අදත් ඇඳුම් පාවිච්චි කරනවා නමුත් විලිවසා ගැනීමටම පමණක් නොවේ. විලිවසාගැනීම මෙන්ම මෝස්තර නිරූපණයට රූපය ඉස්මතුකරලීමට, සංස්කෘතියට, ගැලපීම තරාතිරමට ගැලපීම නිල ඇඳුමට ගැලපීම යනාදි වශයෙන් ඇඳුම විවිධාකාර වෙනවා.

බුදුහාමුදුරුවො එදා භික්‍ෂූන්ට හඳුන්වා දුන් චීවරයක් ගිහි ජනතාව අඳින ඇඳුමත් හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්නවා. ගිහියන්ගේ ඇඳුම් නිවසට, කඩපිලට, මඟුලටය, අවමඟුලට කාර්යාලයට පන්සලට යනාදි ස්ථානයෙන් ස්ථානයට විවිධ වෙනවා. නමුත් මේ සෑම ස්ථානයකටම භික්‍ෂුවකගේ ඇඳුම පොදු වෙනවා.

පුද්ගලයා අඳින ඇඳුම සංස්කෘතියට, සමාජයට , රටට ගැලපිය යුතු වෙනවා. අජීවි ඇඳුම් ගිහියන්ගේ සජීවි මනස මෙහෙයවනවා. නමුත් භික්‍ෂුවක් තම සජීවි මනසින් අජීවි ඇඳුම් මෙහෙයවනවා.

එකම අවශ්‍යතාවය සඳහා විවිධාකාරයේ නිෂ්පාදන වෙළෙඳ පොළට එනවා. පාරිභෝගිකයාව පරිභෝජනවාදි ආර්ථික හා නිෂ්පාදන රටාවක් සහිත සමාජය තුළ රැවටීමට ලක් කරනවා. ඒ නිසයි පාරිභෝගිකයාට තම අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගනිමින් සරල දිවිපෙවෙතකට පිවිසීමට බුදුහාමුදුරුවෝ උපදෙස් දී තිබෙන්නේ එකී උපදෙස් තුළින් සහනශීලි ජීවිත පවත්වා ගෙන යාමට පුද්ගලයාට හැකිවෙනවා.

ඌනෝ ලෝකෝ අතිත්ථෝ
තණ්හා දාසෝ

පරිභෝජනවාදය, පාරිභෝගිකත්වය ලෝකය වශයෙන් ගත්තහම ඌනෝ, හැමවෙලාවෙම මදි අතිත්ථො අතෘප්තිකරයි. තණ්හා දාසෝ තණ්හාවට දාසයෝ ඉවරවීමක් නැහැ. ආශා කරන පාරිභෝගික භාණ්ඩ හොයලා ඉවරකරන්න පුද්ගලයාට පුළුවන් කමක් නැහැ. පරිභෝජන ආර්ථිකයක නිෂ්පාදන ඉවරයක් නැහැ. අවසානයේදි මිනිසුන්ට කාලයත්, ධනයත්, නැතිවෙලා. හිතේ සන්සුන්කමත් නැතිවෙලා, අතොරක් නැති ආශාවන් තුළ පැටලිලා.

බුදුහාමුදුරුවෝ පාවිච්චි කළ පාත්තරය ගත්විට උන්වහන්සේ වැළඳුවේ, වතුර බිව්වේ, නෑවේ, රෙදි සේදුවේ , වතුර රත්කර ගත්තෙ, සෝදලා කරලා බඩුබාහිරාදිය රැගෙන ගියෙත් පාත්තරයෙන්. බුදුහාමුදුරුවන්ට එකී අවශ්‍යතා රැසක් සඳහා එකම උපකරණය වූ පාත්තරය භාවිත වුවද වර්තමානයේ පෘතග්ජනයාට එකී අවශ්‍යතා සඳහා පවතින්නේ විවිධ උපකරණයන්ය. එදා අවශ්‍යතා සපුරා ගනු ලැබුවේ සරලව වුවත් වත්මනේ එය සංකීර්ණයි.

බුදුහාමුදුරුවන්ට අර ඔක්කොම ඉඩත් ඉතුරුවෙලා. බඩුත් ඉතුරු වෙලා කාලයත් ඉතුරු වෙච්ච නිසා හිතන්න වේලාව ඉතුරු වෙලා. මිනිස්සු තම තමන්ගේ අධ්‍යාත්මික සන්සුන්කම කැඩෙන බිදෙන භාණ්ඩවලට උකස් කරලා අසහනයට, අතෘප්තියට පත්වෙලා. පවුල් තුළ සමඟිය බිඳ වැටිලා. ආර්ථිකය තුළ අතරමං වෙලා, මෙවන් පසුබිමක් තුළ සිටිමින් අධ්‍යාත්මිකත්වය පෝෂණය කරගන්න බැහැ. නිවන් අරමුණ කරා යාමට නම් පෙළදහම් උගන්වන සංහිදියාව ජීවිත තුළ පුරුදුකරගත යුතු වෙනවා. පුද්ගලයාගේ උපතේ ඉදන් මරණය දක්වා සියලු ක්‍රියාකාරිත්වයන් යහපත් ලෙස පවත්වාගෙන යාමට මංපෙත් පෙන්වාදෙන පිරිසිදු ආගමික දර්ශනයක් ලෙස ශ්‍රී සම්බුදු දහම හඳුනාගන්න පුළුවන්.

පුද්ගල ක්‍රියාකාරිත්වය යහපත් වීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඉහළටම පා නඟමින් විමුක්ති මාවතට පිවිසීමේ හැකියාව බුදුදහම තුළ පවතිනවා. බුදුදහමෙන් පෙන්වාදෙන කරුණු කාරණා ලෞකික ලෝකෝත්තර යන උභය අංශයම සුවපත් කරගැනීම සඳහා පුද්ගලයාට උපකාරී වෙනවා.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 09 වන දා බදාදා අපරභාග 11.20 ට ලබයි.
11 වන දා පූර්ව භාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]