UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වසර 115 ක තරම් දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන

අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරය

දක්‍ෂිණ ලංකාවේ බෙන්තර වලල්ලාවිට කෝරළයට අයත්, අමුගොඩ ගම පියසෙහි මීට 115 වසරකට පෙර එනම්, 1896 දී අමුගොඩ ජයසුමනාරාමය ආරම්භ කරන ලද්දේ, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ, රත්නපුර පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය හෙබැ වූ ඕමත්තේ අභයතිස්ස මහ නාහිමියන් විසිනි. එදා ඕමත්තේ නාහිමියන්ගේ වත් පිළිවෙත් කෙරෙහි පැහැදුණූ අමුගොඩ ප්‍රදේශයේ ගම් ප්‍රධානින් කිහිප දෙනෙකු වූ එස්.එස්.බී. කාරියවසම් , එස්.වී.ඩී.ඒ ද සිල්වා ගුණවර්ධන, එස්.වී. උපනේරිස් ද සිල්වා, කේ.කේ. වී.බී. ද, සිල්වා, එස්.ටී. එස්. ඒ. ද සිල්වා ගුණවර්ධන ,කේ.ටී.කේ. ද සිල්වා , එච්.එච්. ගිහනේරියා සහ අමුගොඩ රොබෝ සිඤ්ඤො යන පින්වතුන් තම ඉඩකඩම් පරිත්‍යාග කරමින් මෙම විහාරස්ථානය ඉදි කොට ඇත.

තල්ගස්පේ
පඤ්ඤාසෝම නා හිමි

අමුගොඩ
සෝමරතන නා හිමි

අමුගොඩ
සෝමානන්ද නා හිමි

අමුගොඩ ජයසුමනාරාමයේ වත්මන් දියුණුව දක්වා විහාර වංශ කතාව විවරණය කර බලන විට වත්මන් විහාරාධිපති , ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක අමුගොඩ සෝමරතන නාහිමියන් ඇතුළු මහ තෙරුන් වහන්සේ සිව් නමක් පිළිබඳව අපගේ මතකයට නැගේ. මෙහි ප්‍රථම විහාරාධිපතීන් වහන්සේ අතිගරු ඕමත්තේ අභයතිස්ස මහ නාහිමිපාණන් වහන්සේය.අනතුරුව පාතමුල්ලේ පඤ්ඤාරතන නාහිමියන් විහාරාධිපති පදවියට පත් විය. ඇල්පිටියේ සුජාත නාහිමියන් මෙහි තෙවැනි විහාරාධිපති ලෙස ක්‍රියා කළ අතර, අනතුරුව විහාරාධිපති පදවියට පත් වන්නේ තලගස්පේ පඤ්ඤාසෝම නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ පාලන කාලය වසර 16 කි.

ජයසුමනාරාමය මූලිකව ගමේ සංවර්ධන කටයුතු උන්වහන්සේගේ කාලය තුළ සිදු විය. පාසල, රෝහල, මංමාවත් මෙන්ම, 1954 දී තල්ගස්පේ ජයවර්ධනාරාමය ආරම්භ කිරීම ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය. වත්මන් විහාරාධිපති අමුගොඩ සෝමරතන නාහිමියන් විහාරාධිපතිත්වයට පත් වන විට ලැගුම්ගෙය, විහාර මන්දිරය ආදි විහාරාංග ඉදි වී තිබුණි. 1955 දී මීට අවුරුදු 57 කට පෙර විහාරාධිපතිත්වයට පත් වූ උන්වහන්සේගේ පාලන කාලය ජයසුමනාරාම වංශ කතාවේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වා දිය හැකිය. කිරිදොළ ප්‍රදේශයේ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, කැටන්දොළ ප්‍රදේශයේ බෝධිරාජාරාමය නමින් විහාරස්ථාන දෙකක් ද උන්වහන්සේ විසින් ඇති කළහ.

සෝමරතන නාහිමියෝ ලේඛකයෙකි. ප්‍රකට කවියෙකි. විවිධ ජන මාධ්‍ය ඔස්සේ සිය දැනුම බෙදා හදා දුන් අතර, සාරවත් ධර්ම ග්‍රන්ථ කිහිපයක් එළි දක්වා ඇත. උන්වහන්සේ විසින් ඉටු කරන ලද ශාසනික සේවාවන් අතර,ඉතා වැදගත් වන්නේ තම විහාර පරම්පරාව රැකගෙන ඉදිරියට ගෙන යා හැකි, ශක්ති සම්පන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කීප නමක් ශාසනයට දායාද කිරීමයි. ඒ අතර, පින්වත්ත සද්ධර්මාකර විශ්වවිද්‍යාල පිරිවෙන්හි හිටපු පරිවේණාධිපති, දැනට මලේගොඩ ශ්‍රී නන්දන ත්‍රිපිටක ධර්මායතන මහ පරිවෙන්හි සම්මාන පරිවේණාධිපති, තායි ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ලේඛකාධිකාරි මෙන්ම ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන් පිළිබඳව සඳහන් කළ යුතුමය.

අමුගොඩ සෝමරතන නාහිමියන් ගේ දෙවැනි ශිෂ්‍ය රත්නය රාජකීය පණ්ඩිත දර්ශනපති ඇත්කඳුරේ සුමනසාර ස්වාමින්ද්‍රයන් වහන්සේය. දැනට කැලණිය සරසවියේ සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙන් හි කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරති. කිරින්දේ රතනාලංකාර හිමි තෙවැනි ශිෂ්‍ය රත්නය වන අතර, කතරගම කඳසුරිඳුගම ශ්‍රී බෝධිරාජාරාමයේ අධිපතිත්වය උසුලති. සිව්වැනි ශිෂ්‍ය රත්නය පිටිගල සෝමාලංකාර හිමිවේ. සෙවනගල සුමංගල , සෙවනගල සිරිනන්ද, සෙවනගල පඤ්ඤාරංසි සහ සෙවනගල නාරද හිමිවරුන් ද දැනට පිරිවෙන් අධ්‍යාපනයේ යෙදී සිටිති. වර්ෂ 115 ක තරම් දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන අමුගොඩ ශ්‍රී ජයසුමනාරාම මහා විහාරස්ථානයේ විහාර මන්දිරය ගල්කණු මත ඉදිවී ඇති අතර, 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ, මෛත්‍රි බෝසත් පිළිම වහන්සේ මෙන්ම සච්චක දමනය, නාලාගිරි දමනය, දසකන, මිහින්තලාව, බෝසත් උපත වැනි සිදුවීම් මූර්තියෙන් හා බිතු සිතුවම් වලින් ද විහාර මන්දිරයේ දක්නට ලැබේ.

වත්මන් විහාරාධිපති නාහිමියෝ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උසුලමින් උදාර ශාසනික සේවාවක් ඉටු කරන අතර, උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අමුගොඩ සෝමානන්ද නාහිමියෝ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය හොබවති. උන්වහන්සේ විසින් දැනට විහාර සංවර්ධන කටයුතු අරඹා ඇති අතර, මේ වන විට දානපතියන්ගේ සහයෝගය ඇතිව ලක්ෂ 90 ක් පමණ වැය කරමින් පැරැණි සංඝාවාසය ප්‍රතිසංස්කරණය කර ඇත. ඊට යාබදව තෙමහල් ධර්ම මන්දිරයක් හා දාන ශාලාවක් ඉදි වෙමින් පවතී. එසේම තායිලන්තය, බුරුමය,, කොරියාව, ජපානය, ඉන්දුනීසියාව, ඕස්ෙට්‍රිලියාව, ලාඕසය, කාම්බෝජය , චීනය වැනි විවිධ රටවලින් ලැබුණු කෝටි හතරක පමණ වටිනාකමින් යුත් බුද්ධ ප්‍රතිමා ඇතුළු විවිධ පූජා භාණ්ඩ තැන්පත් කිරීම සඳහා අභිනව ධාතු මන්දිරයක් ඉදි කර ඇත.තායිලන්තයෙන් රුපියල් ලක්‍ෂ 60 ක් වටිනා බුද්ධ ප්‍රතිමා හා පූජා භාණ්ඩ ද බෝධින් වහන්සේ අභියස තැන්පත් කිරීම සඳහා තායිලන්ත බුද්ධ ප්‍රතිමා 28 ක් ද ලැබී ඇත.

තායිලන්ත රජ පවුලේ මිත්‍රත්වයක් ඇති කැප්ටන් ප්‍රාමෝක් හා උබෝල් මැතිතුමා ඇතුළු පවුලේ ඥාතීන් විසින් ඉදි කරවන ලද සීමා මන්දිරය තායිලන්ත හා කොරියාවේ දුත පිරිසකගේ සහභාගිත්වයෙන් , විවෘත කරනු ලබන්නේ මියගිය දෙමාපියන් වන තායිලන්තයේ බැංකොක් නුවර වැදගත් පරපුරකට අයත් Col, Chal eow saengrm and Miss Thongmu Saengra යන දෙපොල සිහිපත් කරවීමෙනි. අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙණ ශ්‍රී ඤණේශ්වර මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ශි‍්‍ර ලංකා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සුරතින් 2011 ඔක්තෝබර් මස 23 වැනි දින මෙම අභිනව දෙමහල් සීමා මන්දිරය විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

මෙම සියලු සංවර්ධන කාර්යයන්හි දි ජයසුමනාරාම විහාරස්ථ දායක සභාව විහාර සංවර්ධන සමිතිය, උපාසක උපාසිකා සමිතිය, ලුම්බිණි දහම් පාසල, කැලල්පත සුමුදු සර්වෝදය ශ්‍රමදාන සමිතිය, සිඟිති පෙර පාසල තුළින් ලැබුණු සහයෝගය ඉතා අගය කොට සැලකිය යුතුය. අමුගොඩ ජයසුමනාරාමය ආදායම් බද්දෙන් නිදහස් පුණ්‍ය ආයතනයකි.

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]