Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමුගොඩ ජයසුමනාරාමයේ දෙමහල් සීමා මන්දිරය අග්‍රාමාත්‍යතුමන් අතින් විවෘත කිරීම 23 දා

ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරය තලගස්පේ ජයවර්ධනාරාමය කැටන්දොළ බෝධිරාජාරාමය හා කිරිදොළ ඉංගලහේනෙ ආරණ්‍ය සෙනසුන යන චතුර් විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ, එක්නැළිගොඩ විහාර පාර්ශවයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය, කවීශ්වර, ආචාර්ය, අමුගොඩ සෝමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි, විහාරාධිකාරී, දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නාහිමියන් ඇතුළු දායක කාරකාදීන්ගේ සංවිධානයෙන් ලක්‍ෂ 45 ක ධනව්‍යයෙන් තායිලන්තයේ බැංකොක් නුවර කැප්ටන් ප්‍රාමෝක් නා උබෝල් මැතිතුමා ඇතුළු ඥාතීන් විසින් තම දෙමාපියන් වන අභාවප්‍රාප්ත කර්නල් චාලේච් සේයින්ගරම්, තේන්මුවන් සේයින්ගරම් දෙපළ සිහි කිරීම් වස් අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ ඉදිකොට ඇති 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දෙමහල් සීමා මන්දිරය මෙම මස 23 දින පෙරවරු 10.15 ට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක රාජකීය පණ්ඩිත, දෛවී භාෂා විශාරද අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සරාභිධාන මහනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි, මහෝපාධ්‍යය පණ්ඩිත කුරුවිට සරණංකර මහා නාහිමි, මහෝපාධ්‍යය ගෞරව ශාස්ත්‍රවේදී කොස්ගොඩ සරණංකර මහනාහිමි, ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා නායක ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්දවංශ මහනාහිමි, ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සහ බෙන්තර ඇල්පිටිය ශ්‍රී.ලං.නි.ප. ප්‍රධාන සංවිධායිකා ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනියගේ ඇරයුමෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අතින් උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට නියමිතය.

එදින වාර්ෂික කඨින මහා පින්කම සිදුකෙරෙන අතර බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම සඳහා විශේෂ තායි දූත පිරිසක් ද, සහභාගී වීමට නියමිතය. දහවල සියක් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද, පිරිනැමේ. අමුගොඩ සෝමානන්ද නාහිමියන් සහ බෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායිකා ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය, ජයසුමනාරාම පුරාණ මහා විහාර සංවර්ධන සමිතිය, උපාසක උපාසිකා සමිතිය, ශ්‍රී ලුම්බිණි දහම් පාසල ඇතුළු සංවිධාන මගින් එම උත්සවය සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.