Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යහපත් චේතනාවෙන් යුක්ත වූ කල යහපත් ප්‍රතිඵලද අයහපත් චේතනාවෙන් යුක්ත වූ කල අයහපත් ප්‍රතිඵලද උදාකර දෙයි. මෙම කරුණුවලට අනුව පැහැදිලි වන්නේ මිනිස් , තිරිසන්, ගස්වැල් යන අංශ ගත් විට හොඳ නරක යන සදාචාරමය ඇගයුම් අනුව තීරණ ගත හැකි වන්නේ සහ ඒ අනුව ජීවත් විය හැකි වන්නේ මිනිසාට පමණක් බවයි.

පුද්ගලයා සිදුකරනු ලබන ඕනෑම ක්‍රියාවක මූලාරම්භය මනසයි. ක්‍රියාව කොටස් දෙකකි. හොඳ සහ නරක යනුවෙනි. එම ක්‍රියාව තුළ කුමන හෝ පදනමක් ඇත. විශේෂයෙන් මනෝවිද්‍යාත්මක පදනමක් ද වේ. මනසින් උසස් සත්වයෙක් ලෙස මිනිසාට යමක් සිතා බලා කටයුතු කිරීමේ හැකියාවක් ඔහුට ඇත. උසස් මනසක් ප්‍රධාන කොට ඇති සත්වයා හොඳ , නරක, පව, පින, යහපත ,අයහපත , කුසල්, අකුසල් ආදී සදාචාරාත්මක ක්‍රියා තෝරාගනු ලබන්නේ මනස මෙහෙයවනු ලබන අත්දැකීමෙන්ය.

සසර සැරිසරන සත්වයා සමාජයේ හැසිරීමේදී තමා අතින් සිදුවන ක්‍රියාව හා ප්‍රතිඵලය අතර ඇති වගකීම භාරගත යුතුය. එසේම චේතනාව හා ක්‍රියාව අතර සබැදියාව මෙසේ පෙන්වාදිය හැකිය.

යහපත් චේතනා යහපත් ක්‍රියා
යහපත් චේතනා අයහපත් ක්‍රියා
අයහපත් චේතනා යහපත් ක්‍රියා
අයහපත් චේතනා අයහපත් ක්‍රියා

යහපත් චේතනාවෙන් යුක්ත වූ කල යහපත් ප්‍රතිඵලද අයහපත් චේතනාවෙන් යුක්ත වූ කල අයහපත් ප්‍රතිඵලද උදාකර දෙයි.මෙම කරුණුවලට අනුව පැහැදිලි වන්නේ මිනිස් , තිරිසන්, ගස්වැල් යන අංශ ගත් විට හොඳ නරක යන සදාචාරමය ඇගයුම් අනුව තීරණ ගත හැකි වන්නේ සහ ඒ අනුව ජීවත් විය හැකි වන්නේ මිනිසාට පමණක් බවයි. මිනිසත් බවක් ලැබූ සැම මිනිසෙකු සඳහාම සදාචාර වගකීම් පැවරිය හැකි වන්නේද යන ගැටලුව මතුවෙයි. සිහි විකල් වූවන් කුඩා දරුවන් අවුල් මානසිකත්වයක් සහිත පුද්ගලයන්ගේ වගකීම සිය ක්‍රියාවන් සඳහා පැවරිය හැකි නොවේ. එවැනි වූ පුද්ගලයා ගෙන් යහපත් වූ සදාචාරාත්මක ක්‍රියා බලාපොරොත්තු විය නොහැකිය. බුදුරජාණන් වහන්සේ මනෝවිද්‍යාත්මක ක්‍රම ඔස්සේ පුද්ගලයා සුමගට ගත්හ. සමාජයට පිළිලයක් වී සදාචාර විරෝධි ක්‍රියා කළවූවන් යහපත් මාවතට ගෙන යහපතෙහි පිහිටවූයේ සදාචාරාත්මක මනෝවිද්‍යා ක්‍රම ඔස්සේය. “අංගුලිමාල “ කතා පුවත ඒ අතරින් ප්‍රධාන වේ. මජ්ඣිම නිකායේ “ මධුර” සූත්‍රයේදී චේතනාව මෙහෙයවා මිනිසා කරනු ලබන කර්මවල හොඳ හෝ නරක විපාකය ජාතිභේදයකින් තොරව විපාක දෙන බව දැක්වෙයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ සදාචාර ක්‍රියා උල්ලංඝනය කළ ධර්මය අවබෝධ කරගත නොහැකි සැමට මනෝවිද්‍යාත්මක ක්‍රමයක් මගින් ධර්මය දේශනා කළහ. ධම්මපදයේ දණ්ඩවග්ග යේ මනා උපමාවක් දක්වා ඇත.

“අතතානං උපම කත්වා
න හණෙය්‍ය න ඝාතයේ”


ඡායා - ජනක

හී දණ්ඩකින් ගැරඩියෙකුට තාඩන පීඩන කළ දරුවන්ට දෙනු ලබන මනෝවිද්‍යාත්මක ක්‍රමය වන්නේ තමන් උපමාවට ගන්න. සිතන්න මෙලොව උපන් සෑම සත්වයෙක්ම දඩුවමට බියවේ. මරණයට බිය වේ. ඒ නිසා තමන් තමන්ව උපමා කර ගන්න. තමාගේ වේදනාවට සමාන වේදනාවක් මිනිස් තිරිසන් සියල්ලන්ටම පොදුය. සියල්ලෝ දඩුවමට මරණයට බිය වෙති. එය සදාතනික සත්‍යයකි. මිනිස් අයිතිවාසිකම වනසා දැමීම අයහපත් ක්‍රියාවකි. භාග්‍යවතුන් වහන්සේ එම ගාථාවෙන් උපමාවක් භාවිතා කරමින් තමන් තමන්ට ආදරය දක්වන්නේ යම් සේද? එසේම අන්‍යයන්ට ආදරය කළ යුතු බව දක්වයි.

බුදුරජාණන් වහන්සේ ඇතැම් විට ඇතැමුන්ට යම් කිසි මනෝවිද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ මිනිසුන් ගේ දුක අවබෝධ කර ගනිමින් ධර්ම දේශනා කරමින් සිත් සුවපත් කළ සේක. ලෝභ, ද්වේශ, මෝහ ආදි නරක චේතනාවෙන් ඈත් විය යුතුය. ලෝභකම යනු පංචේන්ද්‍රියන් පිනවීමට ඇති ආශාවයි. මිනිසා එය හොදින් හෝ නරකින් සිදු කරයි. ලෝභ සහගත පුද්ගලයා අනුන්ගේ දේ පැහැර ගැනීමට මාන බලයි. නිතර අන්සතු වස්තුවට ඇලුම් කරයි. පුද්ගලයා තමාට අයිති යමෙක් හෝ යමක් ලබා ගැනීමේදී සදාචාර විරෝධි ක්‍රියා අනුගමනය කළ හැකිය. ආශාවන්ගෙන් ලෝභයෙන් වියුක්ත පුද්ගලයා තුළින් මෙවැන්නක් සිදු නොවන අතර මිනිසා එය හොදින් වටහා ගනියි.

යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසුවෙන් සිහි මද ගතියෙන් මළ පුතු උකුලේ හොවමින් සුවපත් කරන්නට වෛද්‍යවරු සොයා ගිය කිසාගෝතමී ටද බුදුරජාණන් වහන්සේ නොමළ ගෙයකින් අබ මිටයක් ගෙනෙන්න යැයි ලෝකස්වභාවය තමාටම අවබෝධ කර ගැනීම සදහා මනෝවිද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කිරීමට සැලැස්වීමෙන්ය. සිවු මසක් එකදු ගාථාවක් පාඩම් කරගැනීමට නොහැකි වූ මහණකම හැර ගිහිවීමට සිතු චුල්ලපන්ථක භික්‍ෂුවටද මනෝවිද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ සත්‍ය අවබෝධ කරදුන්හ. තම සහෝදරයාට වෛර බැද ගිහිව වසන්නට සිතූ චුල්ලපන්ථක භික්‍ෂුව ඇතැම් විට සමාජයටම වෛර කිරීමට පෙළෙඹෙන්නට ඇත. බුදුරජාණන් වහන්සේ සුදු රෙදි කැබැල්ලක් පිරිමැදීමට දීම තුළින් එම භික්‍ෂුවට සත්‍යවටහා දුන්හ. සදාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඈත්වීමට මිනිසාගේ ක්‍රියා හා ආවේග නොයෙක් මානසික රෝගද බලපානු ලබයි. සදාචාර වගකීම සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක දැකීමෙන් බලන විට, කැමැත්ත , අරමුණු, අභිප්‍රාය, ආශාව, අවශ්‍යතාවය යන කරුණුද වැදගත් වේ.

රූප මදයෙන් මත්ව සිටි ඛේමා කුමාරිකාව බුදුරජාණන් වහන්සේ රූපයට ගර්හා කරමින් ධර්ම දේශනා කරන්නේ යැයි දාසියන් ඇයට පැවසූ විට උදහස් වූ ඛේමා කුමාරිකාව පන්සියයක් කුමාරිකාවන් සමග බුදුරදුන් හමුවීමට ගියාය. එහිදී ද උන්වහන්සේ ඛේමාට මනෝවිද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ යථාර්ථය අවබෝධ කර දුන්හ. ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණි ඛේමා කුමාරිකාවට පමණක් පෙනෙන සේ සරාගික රූප රාජිනියන් බුදුරජාණන් වහන්සේට පවන් සලමින් සිටින සේ දැකීමට සැලැස්වීය. සුන්දර වූ රූපයම මහළු වීමත් ඇග රැලි වැටීමත් ,ජරා ජීර්ණයට පත්වීමත්, මරණයට පත්වීමත් ආදි සියල්ල ඇයට මනසින් අවබෝධ කර ගැනීමට මනෝවිද්‍යාත්මකව අවබෝධ කර දුන්හ. එතුලින් ඇය යථාර්ථය අවබෝධ කරගත් අතර කිසිවෙකුට හිංසාවක් නොකරන සේ සදාචාර සම්පන්න විය.

ප්‍රවීන අධ්‍යාත්මක වෛද්‍යවරයෙකු සේ බුදුරජාණන් වහන්සේ අසතුට,ආශාව සියලු මිනිසුන් පීඩාවට පත් කරන රෝගයක් බව හදුනාගත්හ. බුදුන් වහන්සේ එම රෝග නිධානය ආවරණය කොට දැක්වූයේ දුකට හේතුව ආත්මාර්ථකාමී ගිජු බව හා තෘෂ්ණාවයි. එම රෝගයට ප්‍රතිකාර වූ නිර්වාණය උන්වහන්සේ සොයගත් සේක. රෝගයට නියමිත බෙහෙත් වට්ටෝරුව නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ප්‍රවීණ දක්‍ෂ වෛද්‍යවරයෙකු රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී නිර්දේශ කරනු ලබන බෙහෙත් ද්‍රව්‍ය කායික මෙන්ම මානසික ප්‍රතිකාරයකි. දුක නිරාවරණයට මග පෙන්වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය සමෝදානික වෛද්‍ය ක්‍රමයක් සේය. එය සකස් වී ඇත්තේ තෘෂ්ණාව නම් වූ රෝගය සහමුලින්ම සුව කිරීම සඳහාය. ආධ්‍යාත්මික ගුණ සංවර්ධනය ඇති කර ගැනීමේ මාර්ගයද, දුකින් මිදීමේ මාර්ගයද එයම වේ. මෙයද බුදුන් වහන්සේ දේශනා කළ එක් මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයකි. කය සුවපත් වනුයේ මනස තැන්පත් වන තරමටමය. පුද්ගලයා සදාචාරසම්පන්න වීම තුළ ආධ්‍යාත්මයද ගොඩනැගේ. පියවරෙන් පියවර ඒ සඳහා උත්සාහ ගත යුතුය.

මිනිසා යහපතට පෙළඹවීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇතැම් දේශනාද එසේය. පළමුව දැහැමි ජීවිතයක් තුළින් ගුණ සංවර්ධනයක් ඇති කරගත යුතුය. සිත සන්සුන් නොකරගත් පුද්ගලයාට දුකින් මිදිය නොහැකිය. එනිසා පළමුව දංදීම, දෙවනුව සිල් රැකීමද, තෙවනුව දැහැමි ජීවිතයකටද පුරුදු පුහුණු වී එමගින් සසරින් එතෙර විය යුතු යැයි පෙන්වා දුන්හ. පළමුව පංච සීල ප්‍රතිපදාවද, පසුව අටසිල් ද ඉන් අනතුරුව දස සිල් ද ත්‍රිලක්‍ෂණයද චතුරාර්ය සත්‍යයද අවබෝධ කරගත යුතු යැයි චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේදී බුදුන් වහන්සේ මනෝවිද්‍යාත්මකව පසක් කළ සේක.

ඒ අනුව මහා කාරුණිකයන් වහන්සේ පන්සාලිස් වසක් ලෝක සත්වයා වෙනුවෙන් දේශිත බුදු බණ උගත් නූගත් සැමට සාධාරණය. සදාචාරාත්මක සමාජයක් වෙනුවෙන් මිනිසාට උපක්‍රමශීලිව උපායශීලිව හෝ යහපත කියාදිය යුතුය. පුද්ගලයා සදාචාරවත් ගුණධර්මවලින් පෝෂිත දැහැමි පුද්ගලයෙක් කිරීමටත් සමාජය සදාචාර සම්පන්න කිරීමටත් බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන් ප්‍රශංසනීය බව වටහාගත හැකිය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.