Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

(ගුවන්විදුලි ධර්ම දේශනාවකි)

චිත්තේන මේ අධිගතං
හලංදානි පකාසිතුං
රාග දෝස පරේතේහි
නායං ධම්මෝ සුසංබුධෝ
පටිසෝතගාමිං නිපුනං
ගම්බීරං දුග්ගසං අනූං
රාග රට්ඨා නදක්ඛෙන්ති
තමුක්කදේන ආවටාතී

යනුවෙන් ගාථා ධර්ම දෙකක් මජ්ඣිම නිකායේ අරිය පරියේසන සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් මහා විහාරයේ වැඩවසන දිනයෙක පිණ්ඩපාතේ වැඩම කළා. බුදුරදුන් බැහැදැකීමටත්, ධර්මය ශ්‍රවණය කිරීමටත් පැමිණි ජනපදවාසී භික්ෂුන් වහන්සේලා පන්සියයක පිරිසක් අනද හාමුරුවෝ අමතා මෙසේ ප්‍රකාශ කළා.

‘’ආයුෂ්මත් ආනන්ද හාමුදුරුවන් වහන්ස, මීට කලකට පෙරයි බුදුහාමුදුරුවන් දැක්කෙත්. ධර්මය ශ්‍රවණය කළෙත්. ආනන්ද හාමුදුරුවනේ අද එය ඉටුකර දුන්නොත් ඉතා හොඳයි.

මෙවන් කාරණා සම්බන්ධයෙන් ආරාධනයට අයිතිය තිබෙන්නේ අනඳ හාමුදුරුවන්ට පමණයි. බුදුරජාණන් වහන්සේගේ දෛනික වැඩසටහන පිළිබඳව නොපිරිහෙළා දන්නේ අනඳ හාමුදුරුවෝ පමණයි.

බුදුරජාණන් වහන්සේ එදා දන් වැළදීමෙන් පසුව අනඳ හාමුදුරුවන්ට කථාකොට දහවලේ වැඩසිටීමට මිගාරමාතුපාසාද පුර්වාරාමයට යමුයි කියනවා. එවිට අනද හාමුදුරුවෝ ස්වාමිනි, මේ ළඟ තිබෙන රම්‍යක බ්‍රාහ්මණයගේ ආශ්‍රමය ඉතා රමණීයයි. අනුකම්පා කරලා එහි වැඩමවා වදාරන්නයි කියලා ආරාධනා කළා.

ජනපදවාසී භික්ෂූන් පන්සියය වැඩසිටියේ මේ රම්‍යක ආශ්‍රමයේ. අනඳ හිමිගේ ආරාධනය පිළිගෙන ආශ්‍රමයට වැඩි බුදුරදුන් බුද්ධාසනයේ වැඩසිටිමින් මහණෙනි, මොනවද? දැන් කථා කරමින් සිටියේ කියලා ඇහුවා.

ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, අපි අමුතු යමක් කථා කළේ නැහැ. ඔබ වහන්සේ ගැනයි කථා කරමින් සිටියේ කියා භික්ෂුන් පිළිතුරු දුන්නා.

ඉතා හොඳයි මහණෙනි, සැදැහැයෙන් පැවිදි වූ නුඹලා දැහැමි කථාවකින් යුතුව නැතිනම් ආර්යය නිහැඬියාවෙන් සිටිය යුතුයි කියා බුදුරදුන් ප්‍රකාශ කළා. අන්න ඒ කියන කරුණු දෙක පිළිබඳ සෙවීම් දෙකක් තිබෙනවා.

ද්වේ මා භික්ඛවේ පරියේසනා
අරියාච පරියේසනා
අනරියාච පරියේසනා

එනම් ආර්යය සෙවීම හා අනාර්යය සෙවීමයි.

ආර්යය කියන වචනේ් තේරුම් කිහිපයක් තිබෙනවා. කෙලෙස් සතුරන් නසන නිසා ආර්යය කියනවා. මාර්ගඵල ධර්ම අධිගමයට අරිය කියනවා. ලෝක සභ්‍යත්වයේ ආදිම කොටස්කරුවන් නිසාත් අරිය කියනවා. අරියා පරියේසනා අනරියා පරියේසනා කියා දේශනා කරන්න ආරම්භ කළ නමුත් ඒ උද්දේශ ක්‍රමය අනුව නොමෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

අනරියා පරියේසනා අනාර්ය සෙවීම ගැනයි.

යථා මග්ගකුසලෝ පුරිසො පඨමා
වජ්ජේතබ්බං අපාය මග්ගං දස්සෙන්තෝ
වාමාං මුංජිත්වා දක්ඛිනං ගන්හාති වදති
ඒවං දේසනා කුසලතාය පඨමං
වජ්ජේතබ්බං අනරිය පරියේසනා
ආචික්ඛිත්වා
පජ්ජා ඉතරං ආචික්ඛිස්සාමිති
උද්දේසානුක්ඛමං බිංදිත්වා ඒණමාහා

ඒ කියන්නේ මාර්ග පිළිබඳ දැනීමක් ඇති දක්ෂකමක් ඇත්තෙකුගෙන් නොදත් කෙනෙක් අහවල් ගමට යන පාර විමසනවා එවිට අර පුද්ගලයා පළමුවෙන්ම නොයා යුතු මාර්ගය කියනවා. අසවල් තැනට ගියාම වම් පැත්තට නොගිහිල්ලා දකුණු පැත්තට යන්න කියනවා. එවිට අර පාර නොදත් තැනැත්තා නොයා යුතු මාවතෙන් යා යුතු මාවත පහදා ගැනීමයි සිරිත.

ඒවාගේම බුදුරජාණන් වහන්සේ දේශනා කුසලතාවෙන් යුක්ත නිසා නොසෙවිය යුතු මාවත පළමුවෙන් දේශනා කළා. අපි කරන සිරිත වන්නේ ඉපදීමේ වරදට යටත්වෙලා ඉඳගෙන ඉපදීමේ වරද නැවතත් සෙවීමයි. යම්තාක් විපත්ති සිදුවෙනවා නම් ඒ සිදුවෙන්නේ ජාතිය කියන හටගැනීම නිසයි. ඒ වාගේම ජරාව ස්වභාවය කොටගෙන ඇති අපි ඒ ජරාවට යටත්වෙලා ඉඳගෙන ඉතාමත්ම අකමැති දිරීම තමයි හොයන්නේ.

ව්‍යාධිය නැත්නම් ලෙඩ ස්වභාවය කොටගෙන යටත්වෙලා ඉඳගෙන ව්‍යාධිය නැත්නම් ලෙඩ තමයි අපි හොයන්නේ. ඒ වගේම එකභවයකට සීමා වී ඇති ජීවත්වීමේ හැකියාව නැතිවීම තමයි මරණය කියන්නේ. අහන්න, දකින්න, කියන්න, හිතන්න පවා අකමැති මරණයට යටත්වෙලා ඉඳගෙන කොච්චරවත් සංසාරෙදි හොයන්නේ මරණයම තමයි. ජාති ධර්ම ජරා ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා.

අඹුදරුවෝ, ඒ වගේම දැසි දස්සෝ ගවමහේසාදය ජාති ධර්මයි. රන් රිදී මුතුමැණික් ආදියත් ව්‍යාධි ධර්මයට අයිතියි. මේ සියල්ල පස්කම් සැපයට අයිතිවෙනවා. අනරිය පර්යේසන නැත්නම් මේ සියල්ල වැරැදි සෙවීම් හැටියටයි බුදුහාමුදුරුවො දේශනා කළේ.

කතමාච භික්ඛවේ අරියාව පරියේසනං

මහණෙනි, ආර්යය පරියේසන කියන්නේ මොනවාද? කිවහොත් සෙවීම, ඉපදීම, ජරාවීම, ව්‍යාධිය, මරණය, සෝකය, යනාදියෙහි දෝස දැනගෙන ඒවාට කලකිරිලා ජාත්‍යාදි දුක්වලින් නිදහස් අමාමහ නිවන සෙවීම තමා ආර්යය පරියේසන කියලා උගන්වන්නේ. මහණෙනි, බුදුබව ලැබීමට පෙර බෝසත් අවධියේ පෙර කියු අනාර්යය සෙවිම් සියල්ලක්ම මා විසින් සෙව්වා. වැරැදි සෙවීම්වලින් අස් වූ අය තමා අමා මහ නිවන ලැබුවේ. පංච වග්ගිය ආලාරකාම, උද්දකරාම පුත්ත යන කා ළඟත් පැවැති ධර්මය මම හොඳට ඉගෙන ගත්තා. ඒ වගේම අෂ්ට සමාපත්තිය දක්වා ගියා. නමුත් මා සෑහීමකට පත්වුණේ නෑ. සම්පූර්ණ ආර්යය පරියේසනය ඔවුන් ළඟ තිබුණේ නැහැ. එතැනින් මා පිටත්වුණේ මෙන්න මෙහෙම හිතලා කියා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මෙසේ වදාරනවා.

නායං ධම්මෝ නිබ්බිධාය
නවිරාගාය නනිරෝධාය
නරූපසමාය නඅභිඤ්ඤාය
නසම්බෝධාය න නිබ්බානාය
සංවට්ඨතී

මේ ධර්මය කලකිරීමට හෝ නො ඇලීමට හෝ දුක් නැති කිරීමට හෝ ක්ලේශයන් සන්සිඳුවා ගැනීමට හෝ එහෙම නැත්නම් විශිෂ්ට නුවණින් දැනගැනිමට හෝ චතුරාර්ය සත්‍යය අවබෝධයට හෝ කරුණක් වෙන්නේ නෑ කියලා බුදුරදුන් දේශනා කළා.

ඉන් අනතුරුව කිං කුසල ගවේසීව එහෙම නැත්නම් කුසලය කියන්නේ කුමක්ද? කියලා සොයමින් මගධ දේශයේ පිළිවෙලින් ඇවිදිමින් උරුවේලා, සේනානි නියම් ගමට පැමිණුනා. මේ බිම් පෙදෙස ඉතා රමණීයයි. දිය පිපි මලින් විසිතුරුයි. දුටුවන් පහඳිනවා. මොණර පිලක් වාගේ වන ප්‍රදේශයක් තිබෙනවා. ඒ වාගේම පිරිසුදු නිල් මැණික් කඳක් වැනි වතුරෙන් යුක්ත සිහිල් ජලධාරාව ගලාබසින නේරංජනා නදිය තිබෙනවා. ගමන් පහසුවත් හොඳින් තිබෛනවා. සොඳුරු මේ පෙදෙසේ ප්‍රධන් වීර්යයට සුදුසු බව බෝධිසත්වයෝ තේරුම් ගත්තා අපරාජිත පර්යංක බෝ මැඩ පිළිබඳව බුදුරදුන් දේශනා කළා.

ඤාණංච පණමේ දස්සනං උදපාධි සියලු ධර්මයන් දැනීමට සමර්ථ සර්වඤතා ඥානය මට උදාවුනා.

අකුප්පා මේ වේතෝ විමුත්ති මාගේ අරහත්ඵල විමුක්තිය රාගාධියෙන් කිසිකලෙක මාගේ අරහත්ඵල විමුක්තිය රාගාධියෙන් කිසිකලෙකත් කිපෙන්නේ නැහැ.

අයමන්ති මා ජාති

මේ මාගේ අවසාන ජාතියයි නත්ථි දානි පුනබ්බවෝ මා නැවත කිසිදාක උපදින්නෙ නෑ. මෙලෙස තමන් වහන්සේ අවබෝධ කොටගත් ධර්මය බුදුරදුන් විස්තර කරනවා මුහුදු පතුලෙ තිබෙන දෙයක් වගේ ගැඹුරු ධර්මය දකින්න අමාරුයි. අවබෝධයට අපහසුයි. ශාන්තයි. රාගාධි ගිනි නැහැ. ඒ වාගේම ප්‍රණීතයි. සෑහීමකට පත්වෙන්නේ නෑ. තර්කයෙන් දැනගන්න පුළුවන්කමක් නැහැ. එහි උරුමය තිබෙන්නේ නුවණැති අයට පමණයි. මේ ධර්මය මා අනුන්ට දේශනා කරනවා. ඒ අයට මෙය තේරුම්ගත නොහැකිනම්, මා වෙහෙසට පත්වෙනවා හැර වෙන වැඩක් වෙන්නෙ නැහැ. පෙර සඳහන් කළ ගාථා ධර්ම දෙක මේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

කිච්චේන මේ අධිගතං
හලදොනි පකාසිතං

රාග දෝස පරේතේහී
නයං ධම්මෝ සුසංබුධෝ

රාග, දෝසාදියෙන් යුක්ත අයට මේ කියන චතුරාර්යය සත්‍යය ධර්මය පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන්කමක් නැහැ. මං විසිනුත් දුකසේ අවබෝධ කොටගත් එය ප්‍රකාශ කිරීමෙන් ඵලක් නැහැ.

පටිසෝත ගාමිං නිපුනං
ගම්බීරං දුග්ගසං අනුං
රාග රට්ඨා නදක්ඛෙන්ති
තමුක්කංදේන ආවටා

රාගාධි දෘෂ්ටිවල රැඳීලා මුලාවෙලා ඒවායින් වැහිලා සියුම් ගැඹුරු වූ මිත්‍යාදියට ප්‍රතිවිරුද්ධ ආර්යය සත්‍යධර්මය දකින්නට පුළුවන්කමක් නෑ. බොහොම අමාරුයි.

මහබ්‍රහ්මයාගේ ආරාධනයෙන් ධර්මය දේශනා කළ පසුව බුදුරදුන් බෝධිසත්ත්ව අවධියේ තමන්ට උදව් උපකාර කළවුන් ආලාරකාලාම, උද්දකරාම පුත්තයන් සිහිකළා. ඒ වනවිට ඔවුන් මරණයට පත්ව ඇතිබව දැන පස්වග මහණුන්ට සෙත සැලසීමේ අරමුණින් ගමන් ඇරඹුවා. පස්වග මහණුන්ට ධර්මය දේශනා කිරීමෙන් ඔවුනට නිර්වාණාවබෝධය පසක් කොට දුන්නා.

තමන් වහන්සේ උපදින කෙනෙක්ව ඉඳගෙන ඉපදීමේ ආදීනව දැනගෙන නූපදින උත්තරිතර නිවන සොයාගත්තා. තමා දිරන කෙනෙක්ව ඉඳගෙන ජරාවේ වැරැදි දැනගෙන නොදිරෙන අජරාමර නිවන සොයාගත්තා. ලෙඩවන කෙනෙක්ව ඉඳගෙන ලෙඩනොවන නිර්වාණය සොයාගත්තා.

මැරෙන කෙනෙක් ව ඉඳගෙන මරණයේ ආදීනව දැනගෙන අමරණීය නිවන සොයා ගත්තා. තමා ශෝක කරන කෙනෙක්ව ඉඳගෙන එහි වැරැද්ද දැනගෙන නිස්ශෝකී නිර්වාණය සොයාගත්තා. තමා කිලුටු කෙනෙක්ව ඉඳගෙන කිලුටෙහි තිබෙන ආදීනව දැනගෙන නොකිලිටි වන නිවන සොයාගත්තා. ඥාන දර්ශනය පහළ වුණා. රූපාදී පස්කම් සැපයෙහි ඇලීම, මුලාව, කිඳාබැසීම නැතිවුණා.

එහි ආදීනව දැක්කා. ක්ලේශ මාරයාට කැමැති පරිද්දෙන් යමක් ක්‍රියාවේ යොදන්නට බැරිවුණා. කැලේ සිටින මුවෙක් වැද්දාගේ පාශයට අහුවුනාම සිදුවෙන විපතින් මිදුනා වාගේ මර උගුලෙන් නිදහස් වුණා. මාරයාගේ ඇස් අන්ධ කරලා දැම්මා. මාරයාට නොපෙනෙන තැනට ගමන් කළා.

පර්වතයක් පාමුල කුඹුරුයායක් තිබෙනවාය කියලා හිතමු. කුඹුරු යාය අවට ඇති කුඹුරු ආරක්ෂා කිරීමට රැයේ පැල්පත් හදාගෙන ගිනිමැල ගසාගෙන අන්ධකාරයේ පැල්පත්වල මිනිස්සු ඉන්නවා. පර්වත මුදුනේ සිටගෙන ඇස් ඇති කෙනෙක් බැලුවහොත් පෙනෙන්නේ ගිනිමැලය විතරයි. පැල්පත්, මිනිස්සු පෙනෙන්නෙ නැහැ. ඒ වගේ දහම් පහස මතුවට නැගෙන බුදුරජාණන් වහන්සේට කත කල්‍යාණං මිස අකත කල්‍යාණයං පෙනෙන්නෙ නැහැ. පින් කළ අය මිස පින් නොකළ අය පෙනෙන්නෙ නැහැ. හික්මවිය යුතු වාසනාවන්ත අය පෙනෙනවා මිස හික්මවන්නට බැරි අවාසනාවන්ත අය පෙනෙන්නේ නැහැ. එවන් උදවිය බුදු ඇසට හසුවෙන්නෙ නැහැ කියනවා. ගිහි අයට පමණක් නොව පැවිද්දන්ටත් මේ තත්ත්වය එනවා.

ප්‍රත්‍යවේක්ෂා නොකර සිව්පසය ප්‍රයෝජනයට ගන්න යම්කිසි භික්ෂුවක් පැවිදි වුවහොත් ඔහුගේ ඒ සෙවීම අනාර්යයි. අනාර්යය පරියේසනය හෙවත් වැරැදි සෙවීමක් කියනවා පස්කම් සැපත සෙවීම අගාරිය මෙන්ම අනගාරියන්ටද අයහපත පිණිසම හේතු වෙනවා. කැලේක සිටින මුවෙක් වගේය කියනවා ශ්‍රමණ බ්‍රාහ්මණවරු. වැද්ද විසින් අටවන ශාපය වගේ කියනවා සිව්පසය. වැද්ද පාශයට අහුවුනා වගේ කියනවා ප්‍රත්‍යවේක්ෂා නොකර සිව්පසය ප්‍රයෝජනයට ගැනීම.

එතකොට වැද්ද එන වෙලාවට පැනලා යාමට නොහැකි වෙනවා වගේය කියනවා කෙලෙස් මාරයාගේ වසඟයට යටත්වූ අවස්ථාවට ඉන් මිදීම අසීරුය.

ඒ මර උගුලට අහුවුනාම නිදහසක් නැහැ. නිරතුරුවම බය දැනෙනවා. ප්‍රත්‍යවේක්ෂා කරමින් සිව්පසය ගත්විට බයක් නැහැ ඒ මර උගුලෙන් නිදහස් වුන අය වෙනවා. සැපසේ ජීවත්වෙන්න පුළුවන්. බුදුදහමේ ඉගෙන්වෙන චතුරාර්ය සත්‍ය, ආර්යය අෂ්ටාංගික මාර්ගය, ජීවිතයට සම්බන්ධ කරගත් විට දුකින් එතෙරවීමට ගිහි පැවිදි දෙපාර්ශවයටම හැකිවෙනවා. බුද්ධ චරීතය ස්වකීය ජීවිතයම ආදර්ශයක් කර ගන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.