Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

සාහිත්‍යය මාසයට සමගාමීව පූජාපිටිය ප්‍රාදේශීය සභාව පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කටුගස්තොට කලාප අධ්‍යාපන කාර්යාලය, පූජාපිටිය සංස්කෘතික මධ්‍යස්ථානය සහ සෙසු රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරන ලද ‘සක්නද’ සාහිත්‍ය කලා මහෝත්සවයේ දී ආගමික සංස්කෘතික හා ශාස්ත්‍රීය ලිපි සහ ග්‍රන්ථ තුළින් ශ්‍රී ලාංකේය පාඨකයන් අවදි කිරීම උදෙසා ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් ‘කලා ප්‍රසාදිනී’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ. ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමන් විසින් එම සම්මානය පිළිගැන්වූ අවස්ථාව. පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර කුමාර මඬලුස්ස මහතා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිලක් රාජපක්‍ෂ මහතා කටුගස්තොට කලාප අධ්‍යපන අධ්‍යක්‍ෂ සී.ටී.පී. මායාදුන්නේ මහත්මිය, පූජාපිටිය ප්‍රාදේශීය මහ ලේකම් දයා මැණිකේ සරත්චන්ද්‍ර මහත්මිය, සක්නද උත්සව කමිටුවේ ලේකම් මහින්ද ලාල් ප්‍රේමවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

දමයන්ති ජයකොඩි මහත්මිය විසින් රචනා කරන ලද “ගෞතම බුද්ධ චරිතය – අසිරිමත් සිද්ධාර්ථ ගෞතම කුමාරයාණෝ” බෞද්ධ ග්‍රන්ථය පසුගියදා ඇමරිකාවේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පැවති දොරට වැඩීමේ උත්සවයේ දී මහා සංඝරත්නයට පිළිගන්වන ලදී. නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් වෙත එම කෘතිය දමයන්ති ජයකොඩි මහත්මිය පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. එම අවස්ථාවට පිටිගල ගුණරතන, හීන්ඛුන්නේ කොණ්ඩඤ්ඤ, හුංගම්පොල සිරිරතන, ඔක්කම්පිටියේ ප්‍රඥාරතන යන ස්වාමීන් වහන්සේලා ඇතුළු ප්‍රකාශක දයාවංශ ජයකොඩි, උදිත දමින්ද ජයකොඩි සහ ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ද සහභාගී වූහ.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.