Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අප එකිනෙකා අතර ඇතිවන සුහඳතාව ඉතා ඈත අතීතය හා සම්බන්ධවන එකක් බව අග්‍රශ්‍රාවක චරිත දෙකින් පැහැදිලි වෙනවා. මින් කල්ප ලක්‍ෂයකට පෙර අනෝමදස්සි බුදුරදුන්ගේ කාලයේදී ඇතිවූ මිත්‍රත්වය අප ගෞතම බුදුරදුන්ගේ ශාසනය දක්වා පැවති අන්දමත් ඊට හොඳ සාක්‍ෂියක් වේ. මිත්‍රත්වය තමන්ගේ යහපත සඳහාම දෙදෙනාම යොදාගත් අයුරුත් ඉන් පැහැදිලිය. සරද - සිරිවර්ධන යන තරුණයන් දෙදෙනා අතීත භවයන්හිදීත් විරාගී ලක්‍ෂණ වලින් යුක්ත වූහ. තමා සතු සියලු ධනය දුගී මගී යාචකාදීන්ට දන්දී සරද මානවකයා මහා මල් පූජාවක් පවත්වා උදාර ප්‍රාර්ථනයක් කොට තම මිතුරා ලවා මහදන් පවත්වා ඒ මගට ගැනීමට උත්සාහ දැරුවේ ඒ නිසාවෙනි.ගෞතම බුද්ධ ශාසනයේහිදීත් උපතිස්ස කෝලිත දෙදෙනාගේ මිත්‍රත්වය යහපත සඳහාම යොමු විය.

බුද්ධ ශාසනය තුළ විවිධ හැකියාවන් දැක්වූ ශ්‍රාවක පිරිස් බොහෝ වෙති. එහිදී අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකා යන චරිත වැදගත් තැන්හිලා අප සලකනු ලබනවා. එහිදීත්, “ සැරියුත් – මුගලන්” මහරහතන් වහන්සේලාගේ චරිතද්වය සුවිශේෂී වූ චරිත දෙකකි. මෙකී චරිතද්වය පිළිබඳ සුවිශේෂිකොට සඳහන් කරනුයේ ඒ උන්වහන්සේලා බුදු සසුනේ “අග්‍රශ්‍රාවක” වූ නිසාම නොව ඒ සඳහා අප එකී චරිත තුළ සුවිශේෂී වූ පොදු ලක්‍ෂණ මෙන්ම චරිත දෙක අතර එකිනෙකට වෙනස්කම් ද අවධානයට ලක් කරමු.

අප බොහෝ විට මෙම චරිත දෙකෙහි සුවිශේෂී වූ ලක්‍ෂණ දැනගෙන සිටියත් උන්වහන්සේලා අතර පැවතුනු විශේෂ ලක්‍ෂණ, විශේෂ හැකියාවන් පිළිබඳ විශේෂ අවධානය යොමුකරන්නේ නැත. එහෙයින් මෙකී ලිපිය තුළින් අප එම චරිත දෙක සංසන්දනය කොට එයිනුත් සුවිශේෂීතම වූ ලක්‍ෂණයන් හුවා දක්වා බෞද්ධ ජනයාගේ පහන් සංවේගය තව තවත් වැඩි දියුණු කිරීමට අපේක්‍ෂා කරමු.

මිත්‍රත්වය හා විරාගී ලක්‍ෂණ :–

අප එකිනෙකා අතර ඇතිවන සුහඳතාව ඉතා ඈත අතීතය හා සම්බන්ධවන එකක් බව අග්‍රශ්‍රාවක චරිත දෙකින් පැහැදිලි වෙනවා. මින් කල්ප ලක්‍ෂයකට පෙර අනෝමදස්සි බුදුරදුන්ගේ කාලයේදී ඇතිවූ මිත්‍රත්වය අප ගෞතම බුදුරදුන්ගේ ශාසනය දක්වා පැවති අන්දමත් ඊට හොඳ සාක්‍ෂියක් වේ. මිත්‍රත්වය තමන්ගේ යහපත සඳහාම දෙදෙනාම යොදාගත් අයුරුත් ඉන් පැහැදිලිය.

සරද - සිරිවර්ධන යන තරුණයන් දෙදෙනා අතීත භවයන්හිදීත් විරාගී ලක්‍ෂණ වලින් යුක්ත වූහ. තමා සතු සියලු ධනය දුගී මගී යාචකාදීන්ට දන්දී සරද මානවකයා මහා මල් පූජාවක් පවත්වා උදාර ප්‍රාර්ථනයක් කොට තම මිතුරා ලවා මහදන් පවත්වා ඒ මගට ගැනීමට උත්සාහ දැරුවේ ඒ නිසාවෙනි.

ගෞතම බුද්ධ ශාසනයේහිදීත් උපතිස්ස කෝලිත දෙදෙනාගේ මිත්‍රත්වය යහපත සදහාම යොමු විය. ගිරග්ග සමජ්ජ නාට්‍යය බැලූ දිනයෙහි දෙදෙනාගේම සිතෙහි විරාගී ලක්‍ෂණ පහළවීම විශේෂ සිද්ධියක් විය. තම අභිමතාර්ථය ඉටුවනතුරු මිත්‍ර සංකල්පය පදනම් කරගෙන කතිකාවතක් ඇතිකර ගැනීම තවත් විශේෂ කරුණක් ,අස්සජි හිමියන්ගෙන් විමුක්ති මාර්ගය අසා දැනගත් පසු දෙදෙනා අතර අදහස් හුවමාරු කරගෙන නිවන් මගට යොමුවීමත් තවත් වැදගත් කරුණක් ලෙස සැලකිය හැකිය. තමා නිවන් මගට යොමුකළ කල්‍යාණ මිත්‍ර සැරියුත් මහ රහත් හිමියන්ගේ ගුණ මුගලන් මහ රහත් හිමියන් එක්තරා අවස්ථාවකදී මෙසේ ප්‍රකාශ කළහ.

“ සාරිපුතෙතාච පඤ්ඤාය
සීලෙනු පස්සේ මෙනව
යොපි පාරගතො භික්ඛු
එතා වපරමො සියා” (ථෙරගාථා)

ඤාණයෙන්, සීලයෙන්, කෙලෙස් සන්සිඳීමෙන් යම් භික්ෂුවක් පරතෙරට ගියේද? ඒ සැරියුත් තෙරුන්ය. උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් භික්‍ෂූන් අතර නැත.

ශාසනය සුරක්ෂිත වීම

බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ගෙන් ආරම්භ කළ බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමේ ගෞරවය අයත් වන්නේ අග්‍රශ්‍රාවක දෙනමටය. රාහුල කුමරුන් පැවිදි කිරීමේ පටන් බොහෝ කුලපුත්‍රයෝ සසුන්ගත කිරීමෙන් ඔවුන්ට නිවන් මග හෙළි කළා සේම ඔවුන් විශේෂ දක්‍ෂතා ඇති පුද්ගලයන් බවට පත් කළහ. භික්‍ෂුනට අවවාද කිරීමෙහි දක්‍ෂතාවක් සැරියුත් හිමියන්ට තිබූ බව පහත ප්‍රකාශනයෙන් මනාව පැහැදිලි වේ.

“ සාරිපුත්ත, යස්සං දිසායං ත්වං විහරසි,
අසුඤ්ඤා සා දිසා තවහි ඔවාදෝ බුද්ධානං
ඔවාද සදිසො”
(මනෝරථපූරණී අට්ඨකථා)

එසේම එකල පැවති නොයෙක් වාද , විවාද වලට සහභාගි වෙමින් සසුනේ දීප්තියද ඇති කළහ. සච්චා, ලෝලා, පටාචාරා, ආවාටකායා යන කාන්තාවන් සතර දෙන වාද දහසක් (1000ක්) ඉගෙන දඹදිව සියල්ලන් පරදවමින් සිටි අවස්ථාවෙහි ඔවුන් පරදවා සසුන්ගත කිරීමට පවා සැරියුත් හිමියන් සමත් වූහ. එසේම සෘද්ධි බලයෙන් මුගලන් හිමියන් කළ විශ්මයජනක ක්‍රියා නිසා තවත් බොහෝ දෙන බුදු සසුන කෙරෙහි මහත් ගෞරවයක් ඇති කර ගත්හ. එනිසාම අග්‍රශ්‍රාවක තනතුරු හැරුණු කොට සසුනේ තවත් වැදගත් තනතුරු දෙකක්ද උන්වහන්සේලාට හිමි වුණා. එයින් මහා ප්‍රඥාවන්තයින් අතර අගතනතුර සැරියුත් හිමියන්ටද මහා ඍද්ධි බල ඇත්තවුන් අතර අගතනතුර මුගලන් හිමියන්ටද හිමි විය. ඒවා සිදු වූයේ ඔවුන්ගේ සහජ දක්‍ෂතා මෙන්ම නොබිඳුණු සාංසාරික විශිෂ්ඨ මිත්‍රත්වය නිසාවෙනි. තවද දෙව්දත් තෙරුන් සංඝ භේදය කොට ගයා ශීර්ෂයට භික්ෂු පිරිසක් ගෙන ගිය අවස්ථාවෙහි බුදුරදුන්ගේ අවසරය ඇතිව නැවත ධර්ම දේශනා කොට ඔවුන්ට යහමග පෙන්වා නැවත කැඳවාගෙන ආයේ ද සැරියුත් මුගලන් මහ රහත් අගසව් දෙනමය.

සුවිශේෂ ගුණ :-

අග්‍රශ්‍රාවක සැරියුත් හාමුදුරුවන් පිරිනිවන් පෑමට සූදානම් වූ මොහොතෙහිදීත් තමාගේ මැණියන් මිසදිටුවෙන් මුදවා ගැනීමට බලවත් ප්‍රයත්නයක යෙදුණහ. එය මාතෘ උපස්ථානය අග්‍රශ්‍රාවකයෙකු ගෙන් පවා සිදුවූ බවට හොඳම නිදසුනකි. මෙයින් නිහතමානී ගුණාංගය මනාව ප්‍රකට වේ. එසේම ඊට අනෙක් පැත්ත මුගලන් හාමුදුරුවන්ගේ අවසානය පිළිබඳ කල්පනා කරනවිට ඉතා දිගු කලකට ඉහතදී දෙමාපියන්ට විරුද්ධවීම /තාඩන පීඩනවලට ලක් කිරීම්වලට වන්දි ගෙවීමට සිදුවූ බව පැහැදිලි වේ. මෙම කරුණු අප මෙසේ ඉදිරිපත් කළේ මුගලන් හිමියන්ගේ චරිතය දෙස අශුභවාදී දැකීමට නොව ඒ කෙරෙහි සර්ව ශුභවාදීව සිතා කෙතරම් සෘද්ධි බලයෙන් ප්‍රබල වූවත්, සීලයෙන්, ගුණයෙන් උසස් වුවත් මුගලන් හිමියන්ටත් මෙයින් මිදෙන්නට බැරි වුණා නේද? යන චෛතසිකය ඇති කරලීමටය. ඒ අනුව දෙමාපියන්ට සැලකීමෙන් ගෞරවය ලැබෙන බවත් අවමන් කිරීමෙන් අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරුවීමට සිදුවන අයුරුත් ඉන් පැහැදිලිය. ඒ නිසාම ඔබ සිදු කරන සෑම ක්‍රියාවකටම හොඳ හෝ නරක විපාකයක් තිබෙන බව මොනවට කියාපායි.

ස්තූපාර්හ පුද්ගලයන් වීම

බුදුරදුන්ට පළමුව අග්‍රශ්‍රාවක දෙනම පිරිනිවන් පෑම විශේෂ ලක්‍ෂණයකි. දෙදෙනා වහන්සේම බුදුරදුන්ගෙන් පිරිනිවන් පෑමට පෙර අවසර ලබා ගත්හ. එමෙන්ම දෙදෙනා වහන්සේම ප්‍රාතිහාර්ය පෑහ. දෙදෙනා වහන්සේම විශේෂ ධර්ම දේශනා දෙකක් පැවැත්වූහ. සැරියුත් හිමියන් පිරිනිවන් පෑමෙන් ආදාහන කටයුතු කිරීමෙන් පසු ඉතිරි වූ ධාතු පෙරහන අතේ තබාගෙන බුදුරජාණන් වහන්සේ ගාථා පන්සියයකින් (500 ) උන්වහන්සේ පිළිබඳ ගුණ වර්ණනාවක් කළහ. එසේම වැඳුම් පිදුම් කිරීමටද ධාතු චෛත්‍යයක් කරවූහ. මුගලන් හිමියන්ගේ ආදාහනයෙන් පසුද එම ධාතුන් වහන්සේලා ගෙන සෑයක් කරවූහ. (සුමංගල විලාසිනි)

නැවත බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්මී ගංගානම් නදිය දෙසට වැඩම කොට උක්කවේලා නම ස්ථානයේදි අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේගේ පිරිනිවන් පෑම නිමිතිකොට විශේෂ ධර්ම දේශනයක් ද පැවැත්වූහ. මේ අන්දමින් බුදුරදුන් පවා මෙවැනි ධාතු චෛත්‍යය කරවූයේ, ගුණ කථනයන් පැවැත්වූයේ සෙසු භික්‍ෂු පරපුරටද අග්‍රශ්‍රාවක දෙනමගේ චරිතවලින් ගතහැකිව තිබූ ආදර්ශයන් බොහෝමයක් තිබූ නිසාවෙනි.

සැරියුත් මුගලන් මහ රහත් දෙනමගේ උදාර චරිත පිළිබඳව සාකච්ඡා කළ යුතුය. එම චරිතවලින් අපේ චරිත සංවර්ධනයට යම් ආදර්ශයක් ගත හැකි නම් එය අප හැම දෙනාටම ප්‍රයෝජනවත් වේ. “අපදාන සෝභිනී පඤ්ඤා” යන ධර්ම පාඨයෙන් කියැවෙන්නේ ප්‍රඥාව බැබළෙන්නේ යහපත් චරිතය නිසා බවයි. එනිසා අපේ බුද්ධිය කෙතරම් දියුණු වූවත් යහපත් චරිතයක් නැතිනම් එහි වටිනාකමක් නැත. ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ චරිත පිළිබඳ දැනගත් විට ඒ අනුව ක්‍රියා කිරීමෙන් අපේ ජීවිතයේ අඩුපාඩු සකස් කරගෙන හොඳ මිනිසුන් හැටියට ජීවත්වීමට පුළුවනි. එම නිසා බුදුරදුන් විසින් මවකට උපමා කළ සැරියුත් හාමුදුරුවෝත් කිරි මවකට උපමා කළ මුගලන් හාමුදුරුවෝත් වෙසෙසින් ආදර්ශයට ගෙන තමාගේ චරිතයද සකස් කරගෙන යහපත් මිනිසුන් වී ගුණ ධර්ම දියුණු කොට ඒ ගුණ ධර්මයන්ගේ බලයෙන් උතුම් වූ නිර්වාණ ධර්මය ලබා ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරගනිමු.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.