Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උතුරු තලංගම හීනටිකුඹුර පුරාණ විහාරය

ශත වර්ෂයකට වඩා පැරැණි ඉතිහාසයකට හිමිකම් කියන හීනටිකුඹුර පුරාණ විහාරය, කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මැතිවරණ කොට්ඨාශයට අයත් උතුරු තලංගම හීනටිකුඹුර නම් ග්‍රාමයේ පිහිටා තිබේ.

ශීඝ්‍රයෙන් දියුණුව කරා එළඹෙන ජනාකීර්ණ පරිසරයක මෙම විහාරය පිහිටා තිබුණද. ඒ සංකීර්ණතා මධ්‍යයේ වුව තවමත් අපේ රටේ බහුතරයක් විහාර භූ®මියන්හි පුළුල් වපසරියක් තුළ ඇති නිදහස සංහිඳියාව යම් තරමින් හෝ මෙම විහාර භූමියේදී ද අත්විඳින්නට ලැබීම සැනසිල්ලකි.

විහාර භූමිය තල කීපයකින් සමන්විතව තිබේ. ප්‍රධාන පිවිසුමෙන් ඇතුල් වූ පසු දකුණු පස මදක් උස් බිම් තීරයක ඝන්ඨාර කුලුන, විහාර මන්දිරය සහ බුබ්බුලාකාර චෛත්‍යය ඉදි කර තිබේ.


පැරැණි ධර්ම ශාලාව

මධ්‍යකාලීන විහාර සම්ප්‍රදායේ ආකෘතියට නිමවා ඇති විහාර මන්දිරය වෙත පිවිසීමට පියගැට පෙළ නැග යා යුතු වෙයි. එය විහාරස්ථානය වෙත එන බැතිමතා වෙත ගෞරවනීය හැඟීමක් ජනිත කරවන සෙයකි. ඊට මඳක් ඉහලින් දිස්වන භූමියේ නිමවා ඇති චෛත්‍යය ද පන්සලෙහි අසිරියට කදිම සාධකයකි. විහාරස්ථානයේ වම් පස ඇති ධර්ම ශාලාව ද පැරැණි ආකෘතියකට ඉදි කර ඇත. ධර්ම ශාලාව සමීපයේ රෝපණය කර තිබෙන අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵල රුහ බෝධීන් වහන්සේ ඉදිරියේ නෙලා ඇති සමාධි පිළිම වහන්සේත් තවත් සිත් ගන්නා දර්ශනයක් ජනිත කරවයි. ලංකාවේ සිටි ප්‍රවීන මූර්ති ශිල්පියකු වූ හෙන්ට්‍රි ධර්මසේන මහතා ගේ සුරතින් මෙම ධවල පැහැති සමාධි පිළිම වහන්සේ නෙලා ඇත. බුදුන් වහන්සේගේ මුව කමලේ වූ මහා කරුණාව මෙන්ම අපරිමිත වූ මෛත්‍රියේ මහා ගුණ බලය පිළිම වහන්සේගේ මුව මත ප්‍රති නිර්මාණය කිරීමට මූර්ති ශිල්පිය සමත් වී තිබේ.

එදා 1900 වසරේ ඇතුල් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනෙහි වැඩ සිටි මාදුලාවේ ඉන්ද්‍රජෝති හිමියෝ වස් වැසීම සඳහා මෙම ස්ථානයට පැමිණියහ. නිසල බිමකට අරහත් ධජයේ පවිත්‍රත්වයේ පහස ලැබෙමින් - ශුද්ධ භූමියක් බවට පරිවර්තනය වීමේ මූලාරම්භය සිදු වන්නේ මෙතැන් සිටය. එදා බටකොළ සෙවෙලි කළ මඩු කෑල්ලකට ගෙවැදෙන උන් වහන්සේ වස් සමාදන් වී, පවාරණය කර මේ නිසල බිමෙන් පිටවී යති.


වරාපිටියේ ආනන්ද හිමි

ඉන්පසුව මෙතැනට වඩින දොරපේ සීලානන්ද නා හිමියන් විහාරස්ථානය ස්ථාපිත කළ මුල්ම ස්වාමීන් වහන්සේ ලෙස විහාර වංශ කතාවේ නම සටහන් කර තබයි. උන් වහන්සේ ගේ යුගයේ දී මෙහි බද්ධ සීමා මාලකය, විහාර මන්දිරය, පැරැණි සංඝාවාසය ඉදි වෙයි. 1930 දී පමණ උන්වහන්සේ අපවත් වෙති. තවත් යුග කීපයකට පසුව මෙහි වත්මන් විහාරාධිපති වශයෙන් තවමත් නිම නොවුණු යුග මෙහෙවරක නියැලී සිටින්නේ වරාපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ ය.

1982 වසරේ දී යාබද ඉඩමක් මිලට ගැනීමෙන් විහාර භූමිය පුළුල් වෙයි. විහාරස්ථානයට මහත් අඩුවක්ව පැවැති චෛත්‍ය ගොඩනැගෙයි. අභිනව දෙමහල් දාන ශාලාව ඉදිවෙයි. බෝධීන් වහන්සේ වටා ප්‍රාකාර, මළු, රන්වැට මෙන්ම බෝ සෙවනේ සමාධි පිළිම වහන්සේ නිර්මාණය වේ.

දැන් විහාරස්ථානය ශීඝ්‍ර වර්ධනයක් කරා පැමිණ තිබේ. ගොදුරු ගම්හි පවුල් ඒකක 2000 ක් පමණ මෙම විහාරස්ථානය ආශ්‍රයෙන් සදහම් සුවය ලබති. ආගමික සමාජ සේවාවන්හි කේන්ද්‍රස්ථානයක් බවට පත්වී ඇති විහාරස්ථානයේ ප්‍රදේශයේ දූ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරවීමට නිදහස් ඉංග්‍රීසි පාසලක් පවත්වාගෙන යයි.


බෝ සෙවනෙහි ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ

ආගන්තුක භික්ෂූන් වහන්සේලාට ඉඳුම් හිටුම් දාන මානාදියෙන් සංග්‍රහ කරමින්, අධ්‍යාපනයට අත හිත දෙමින් කළ සේවාවන්ගේ ඵල අද දැක ගැනීමට ලැබෙයි. එම තරුණ භික්ෂූන් වහන්සේලා අද ඕස්ට්‍රේලියාව, කොරියාව, එංගලන්තය, ඇමරිකාව ආදී රට රාජ්‍යයන්හි ධර්ම ප්‍රචාරය සඳහා යොමුවී සිටිති.

අද මෙම විහාරස්ථානය තවත් නො මැකෙන කඩ ඉමක් පසු කිරීමට සැදී පැහැදී සිටියි.


බෝධීන් වහන්සේ

2009 වසරේ දී ශ්‍රී සර්වඥධාතු මන්දිරය සහිත තෙමහල් ධර්ම ශාලාව සෑදීමට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවූවේ දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා අතිනි. එම පුණ්‍ය කටයුත්ත සිදුවී ගෙවී ගොස් ඇත්තේ වසර 2 1/2ක පමණ කෙටි කාලයකි. එම කෙටි කාලය තුළ මෙම දැවැන්ත අභියෝගය ජය ගැනීමට විහාරාධිපතින් වහන්සේ සමත්වී සිටිති.

ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පී මිල්රෝයි පෙරේරා මහතාගේ කදිම සැලසුමකට අනුව මෙම තෙමහල් ගොඩනැගිල්ල රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයක පමණ වියදමින් ඉදිවී තිබේ.

පින් කැට, මල් වට්ටි, වෙන්දේසි සල්පිල් ආදියෙන් තොරව දායකයන් සහ ගම්වැසියන් අනවශ්‍ය ලෙස පීඩාවට පත් නො කරමින් ධන පරිත්‍යාගශීලීන් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී මෙම මහඟු සද් කාර්යට සද් භාවයෙන් දායක වූ බව විහාරාධිපති ආනන්ද හිමියෝ පවසති. නායක හාමුදුරුවන් ගේ අප්‍රතිහත ධෛර්යය ට ශක්තියක් වී ඇති සංඝමිත්තා කුළඟන සමිතිය, උපෝසථ දාන පදනම විහාර සංවර්ධන පදනම විහාරස්ථ දායක සභාව මේ සඳහා ක්‍රියාශීලී වී තිබේ.

පැරැණි විහාර සංඝාවාස සම්ප්‍රදාය සුරකිමින් නව තාක්‍ෂණ යේ සුවිශේෂතා මත නව ධාතු මන්දිර ගොඩනැගිල්ල ඉදිවී තිබේ. හාත්පස නිරාවරණය වී ඇති බිම් මහල පරිසරය හා යාවී තිබේ. දෙවන මහලේ ධාතු මන්දිරය ඉදිවී ඇත. එහි නේවාසික භික්‍ෂූන් වහන්සේ 40 ක් පමණ සංඛ්‍යාවකට කුටි 15 කින් සමන්විත සුව පහසු සංඝාවාසයක් නිමැවෙයි. ඉහළ මළුව පුස්තකාලයක් සහිත කියැවීම් ශාලාවක්, බහුකාර්ය ශාලාවක් සඳහා වෙන්වෙයි.

මෙම සංඝාවාසය පරහිතකාමී සද්කාර්යයන් වෙනුවෙන් ගොඩ නංවා තිබීම උතුම් ක්‍රියාවකි.

ලංකාවේ විවිධ දුෂ්කර ප්‍රදේශවල සිට අගනුවරට වැඩම වන තරුණ භික්‍ෂූන් වහන්සේට අධ්‍යාපන කාර්යයට අත හිත දීම මෙහි එක් අරමුණකි. පෑන පැන්සල, සිවුර, දානය, ඉඳුම් හිටුම් සියල්ල සිදු කෙරෙන්නේ නොමිලයේ වීම විශේෂයකි.

දුර බැහැර සිට විවිධ අවශ්‍යතාවයන් සඳහා වැඩම කරන භික්‍ෂූන් වහන්සේට නවාතැන් පහසුකම් සැළසීම, ප්‍රතිකාර අපේක්‍ෂාවෙන් ගිලන්වී අගනුවරට පැමිණෙන භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් නවාතැන්, දාන ආදිය සැපයීම, භික්‍ෂූන් වහන්සේට තොරතුරු තාක්‍ෂණය දැනුම වර්ධනයට අවශ්‍ය පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීම, සසුන් ගතවීමට අපේක්‍ෂා කරන ගිහි පින්වතුන් වෙනුවෙන් ඒ සඳහා පුහුණුව ලබාදීම ආදී උදාර කාර්යන් රැසකට මෙම තෙමහල් මන්දිරයේ සියලු දොර කවුළු විවෘතව පවතී.

ශාසනික සමාජ සද් කාර්යන් රැසකට අතැඹුලක් බඳු වූ මෙම තෙමහල් මන්දිරය 2011 ඔක්තෝබර් 9 වැනි දින පෙරවරු 9. 00 ට යෙදෙන සුබ නැකැතින් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර මහතා අතින්ම විවෘත වීම ද විශේෂයකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.