Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගෝනහේනේ විමලානන්ද නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 7 වනදා

කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමාධිපති ගෝනහේනේ විමලානන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් “ මංගල ධර්මකීර්ති ශ්‍රී පේමානන්ද” ගෞරවනාමය සහිත සියනෑ අලුත්කුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබා ගැනීමේ මංගල මහෝත්සවය මෙම 07 වනදා පස්වරු 3 ට මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී සිදු කැරේ.අභිනව නායක පදවි ප්‍රාප්ත ගෝනහේනේ විමලානන්ද නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය ඔක්තෝබර් 9 වනදා පස්වරු 3 ට ශ්‍රී සෝමවර්ධනාරාම මහා විහාරයේදී සිදු කැරේ.

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක මහෝපාධ්‍යාය ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා, කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මැතිතුමා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ.

එම අවස්ථාවට අරමංගොඩ පඤ්ඤාතිලක මහ නාහිමි, අමුණුගොඩ සෝමානන්ද නාහිමි, පෙතියාගොඩ දේවානන්ද නාහිමි, වටරැක අනුරුද්ධ නාහිමි, වෑබඩ ධම්මපාල නාහිමි, ගිරාකඩුවේ සද්ධාතිස්ස නා හිමි, තෝරපිටියේ ආනන්ද නාහිමි, වස්කඩුවේ මහින්දවංශ මහ නාහිමි පානකාවේ පේමරතන නාහිමි, හබරකඩ සෝභිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයද මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මැතිතුමා ආපදා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මැතිතුමා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, ඛනිජතෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මැතිතුමා ගම්පහ දිසා මන්ත්‍රි රුවන් විජේවර්ධන මැතිතුමා , බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගුණසිරි ජයනාත්, කපිතාන් ප්‍රදීප් පෙරේරා, බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සහන් ප්‍රදීප් විතාන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වෙති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.