Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු දන සිත් සනසන බුත්සරණ

සියලු බොදු දනන් විසින් සාවධානව අසා රස විඳීමට රචිත බුත්සරණ බොදු සාහිත්‍යයේ එන උත්තරීතර භක්ති කාව්‍යයකි. හදවතේ උතුරා ගලා යන බැති හැඟුමින් ප්‍රමුදිත වූ විද්‍යාචක්‍රවර්තීන් පොදු දනන්ගේ සිත් සතන්හි බුදු බැතිය තව තවත් ඔප් නංවනු වස් බුත්සරණ රචනා කළේ ඊට ගැළපෙන රීතියක්ද බස්වහරක්ද උපයෝගී කර ගනිමිනි.

බුත්සරණ කතුවරයාගේ අනන්‍යතාව සියුම්ව විමසා බලන කවරෙකුට වුව ඉතාම පහසුවෙන් දැකිය හැක්කේ විද්‍යාචක්‍රවර්තීන් තුළ ශ්‍රද්ධා වේගය සිය බස් වහරට හා කරන අපූරුවයි. දෘඪතර බුද්ධ භක්තිය මැනවින් ප්‍රකාශ කිරීමට සමත් උචිත භාෂා ශෛලියකින් සන්නද්ධව කියවන්නාගේ හදවත් සුවපත් කිරීමට කතුවරයාට ඇත්තේ මනා කුසලතාවයකි.

පාඨකයාගේ චිත්ත සන්තානය අභ්‍යන්තරයේ නොමැකෙන සදහම් ආලෝකයක් දැල්වීම අරමුණු කොටගෙන විද්‍යාචක්‍රවර්ති සිය කෘතියේ සෑම ඡේදයක්ම සමාප්ත කළේ “බුත්සරණ යා යුතු” යන කියුම් සහිතවය. වෙස්සන්තර ජාතකය, යමා මහ පෙළහර වන් දීර්ඝ විස්තර කථන අවසානයෙහි පමණක් නොව ග්‍රන්ථාරම්භයේ ඇති ඊට වඩා දිගින් අඩු උත්කර්ෂයෙන් නිර්මිත පරිච්ඡේද පවා අවසානයක් දකින්නේ “ බුත්සරණ යා යුතු” යනුවෙනි.

ඉතා සරල සුගම අයුරින් වචන කිහිපයකින් බුද්ධ භක්තියෙන් සුවඳ කවා ගුණ වර්ණනයක් ඉදිරිපත් කර, පාඨකයාට බුදුන් සරණ යාමේ වටිනාකම පවසන්නේ මෙපරිද්දෙනි.

”බලන්නන් ඇසට අසන්නන් කණට සිතන්නන් සිතමි, බණන්නන්ගේ බසට, වඳින්නන් වැඳුමට, පුදන්නන්ගේ පිදුමට තමන් මුත් අනෙක් සුදුසු කෙනෙකුන් නැති නියාවට මහ අශ්වකු සිටි බුදුන් සරණ යෙමියි බුත්සරණ යායුතු”

වෙනත් බාහිර කථෝපකථනයකින් තොරව කෘතියට මුලපිරීම මෙහි දැකිය හැකි තැන් සුවිශේෂ ලක්ෂණයකි. තමන්ගේ තතු හෝ අරඹන්නට යන කටයුත්තේ භාරදූරත්වය පිළිබඳව හෝ ඔහු පාඨකයා අභිබිමුව කිසිත් නොතබයි.

“ සුවයෙහි මිහිරි දන්නා, දුක්හි දැඩිකම දන්නා සදෙව් ලොව්හි සැපත් අයත්නයෙන් විදුනා කැමැති..සත් පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමියි බුත්සරණ යා යුතු” යනුවෙන් විද්‍යාචක්‍රවර්ති සිය මූලික පරමාර්ථයට අනුගතව බුදුසරණ යාමේ මහඟු ඵලයනුත්, එහි උත්තරීතර භාවයත් වර්ණනයට ලක් කරමින් ග්‍රන්ථයට මුල පුරයි. සමකාලීන ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වූ අමාවතුර හා සැසඳීමෙහිදී මෙය විශේෂයෙන්ම බුත්සරණ කරුවාට ආවේණික වූ ලකුණක් බැව් හැඟේ.

ගුරුළුගෝමීහු “ නව ගුණ හැම කියත් නොපිළිවනින් ආදී වශයෙන් බුදුගුණ වර්ණනයෙහි දුෂ්කරතාවය පවසා නොවියත් හුදී ජනන් සදහා සිය බසින් සැකෙවින් අමාවතුර රචනයට පිවිසෙති. එහෙත් විද්‍යාචක්‍රවර්තීන් තුළ තමා අත ගැසූ කාර්ය බුදුගුණ ගැයීම පිළිබඳව දැඩි ඒකමිතියක් පැවති බැව් හැඟී යන්නේ නව අරහාදී බුදුගුණම පවසා, ඊට අතිරේකව වෙස්සන්තර ජාතකයද විස්තර කර ඇති හෙයිනි. නව ගුණයම එක කෘතියක් තුළ බහා පිළිගැන්වීමට ආයාස දැරීම ශ්‍රද්ධා භක්තියේ අපරිමිත බව විද්‍යාචක්‍රවර්තින් තුළ වූ ආවේණික ලක්ෂණයක් බව ප්‍රකට කරන්නකි.

විද්‍යාචක්‍රවර්තීන්ට පෙර හෝ පසුව සිංහල බෞද්ධ සාහිත්‍යයේ එකද ලේඛකයකු නොපිළිපන් මංපෙතකට ඔහු පය ගසා ඇති අන්දම මැනවින් පැහැදිලිවේ. බුත්සරණ නොයෙකුත් කරුණු කාරණා කැටි කර ගත් කෝෂ ග්‍රන්ථයක් ලෙසද අනූපම බොදු බැතිය ඇළලී ගිය සිතකින් වෑහෙන ශ්‍රද්ධා භක්ති ප්‍රවාහයක් ලෙසද හැඳින්විය හැකිය.

බුදුපියාණන් වහන්සේ කෙරෙහිම නතු වූ බැතිබර හිතකින් විද්‍යාචක්‍රවර්තීන් ගුරුළු ගෝමීන් මෙන් විචාර මගකට නොපිවිස, බුද්ධ ගුණ වැනුමෙහි ලා තම තේමාවට ගැලපෙන භක්ති මං පෙතම තෝරා ගෙන ඇත. ගුරුළු ගෝමින් කිසි විටෙකත් බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට “ බුදුනු” “අපබුදුන්” යන වචන හැර ඊට වැඩි ශ්‍රද්ධා සූචක භක්ත්‍යාවන්ත විශේෂනයක් භාවිතයට ගෙන නොමැත. එහෙත් විද්‍යාචක්‍රවර්තීහු බුදුරජාණන්වහන්සේ සිහිගැන්වීමේදී විශේෂණ පද හා වර්ණනාත්මක යෙදුම් කිහිපයක් එක් නොකළේ කලාතුරකිනි. එම තන්හි පවා විවිධ ක්‍රම වලින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හැකි තරම් ඉහළින් පැවසීමට ආයාස දරා ඇත.

බුත්සරණ රචනයේදි විද්‍යාචක්‍රවර්ති බොහෝ විටම කරුණු සම්පාදනය කර ගැන්ම සඳහා පෙළ අටුවා ග්‍රන්ථයන්ද, විශුද්ධි මාර්ගය වැනි ශ්‍රේෂ්ඨ ධර්මව්‍යාඛ්‍යානයෙන්ද ඇසුරු කළ මුත් ඔහු සිය නිර්මාණය හුදු පරිවර්තනයක් බවට පත් නොකිරීමට වගබලා ගෙන ඇත. ඔහුට උචිත පරිද්දෙන් භක්තිය කුළු ගැන්වෙන අයුරින් අවස්ථා නිරූපණය සිද්ධි වර්ණනයද කළේ ස්වාධීනව. වෙස්සන්තර ජාතකය මේ සඳහා ඉතාම ගැලපෙන නිදසුනවේ.

වෙස්සන්තර ජාතකය ඉදිරිපත් කර ඇති අයුරු සියුම්ව පිරික්ෂන විට විද්‍යාචක්‍රවර්ති ශ්‍රේෂ්ඨ ලේඛකයකු දක්ෂ පරිවර්තකයකු පමණක් නොව ස්වතන්ත්‍ර නිර්මාණ ශක්තියෙන් පොහොසත් කවියකු බවද හැඟී යයි. ඔහු මෙම කතා ප්‍රවෘත්තිය පවසන්නේ කරුණා රසයට පි‍්‍රය ඉපිදවීම තමාගේ ආවේණික ලකුණකැයි සිතීමට ඉඩහසර පාදමිනි.

ජාතකට්ඨ කතාවෙහි වෙස්සන්තර ජාතකය කියවීමෙන් ලද ආස්වාදය මෙනෙහි කරමින් විද්‍යාචක්‍රවර්තී ස්වාධීනව දැඩි කරුණා රසයක්ද බෝධිසත්ත්වයන් කෙරෙහි අතිමහත් භක්තියක්ද උපදවීමත් එම කතා ප්‍රවෘත්තිය කියන්නේ වෙස්සන්තර රජු හා එක්ව කථාවේ එන සියලු අත්දැකීම් වලට ශෝකි සිදුවීම් වලට මුහුණ දුන්නෙකු ලෙසිනි.

එබැවින් බුත්සරණෙහි වෙසතුරුදා පුවත විද්‍යාචක්‍රවර්තීන්ගේ අව්‍යාජ කවීත්වයත්, පුළුල් චින්තන ශක්තියත් මිනිස් හැඟීම් ආවේග සිතුම් පැතුම් පිළිබඳ පෘථුල අවබෝධයක් ගෙනහැරපාන කැඩපතක් බඳුය.

දරුවන් දන්දීම පිළිබඳව විද්‍යාචක්‍රවර්තීන් ඉදිරිපත් කරනු ලබන වචන සිත්තම භාව පූර්ණ වර්ණනා හා විස්තර කවර තරම් වූ දරදඬු පුද්ගලයකු ගේ වුවද හදවත කකියවයි. “දරුවන් පෙරැළි පියාණන් වඳිමින් පියුම්පෙති වැනි අත්සුගින් වඳිමින්” අප පිටින් වැගිරෙන ලෙහෙ බලන්න අත බැදි පළු බලන්න මුරයන් නොබැන පිදෙන මෙයකු අප කා මරා පියන තුරුද අවසන්ට අප වැඳ සමු ගත් බව කියන්නෙ, අප සුවපත් බවද නැවත දැක්මත් නොවන බවද කියන්නැයි “ මෙසේ කියා හඬමින් සෙමින් සිටි සඳ බෝධිසත්ත්වයෝ දරුන්ගේ දුක් බලාළ කකියවා...එන කල අප දෙදෙනා උරින් ආ දරුවෝ දැන් කටු බොරුළුයේ කෙසේ නම් යෙද්දෝ හො....මෑණියන් තන මැද සැතපුණු දරුවෝ රෑ කොතනක නෙවැ නිදද්දෝ හො....” “පියුම් පෙති වැනි ...” යන යෙදුමෙන් ජාලිය ක්‍රිෂ්ණජිනාවන්ගේ සියුමැලි ළඳ බොළඳ බව මනා කොට නිරූපණය කරන රචකයා සුරතල් දරුවන්ගේ ශෝක සන්තාපය පමණක් නොව, සෙනෙහෙවන්ත පියෙකුගේ වේදනාබරිත හැඟුම්ද එකසේ පාඨකයා වෙත ළන්කරවයි.

කරුණා රසයද ඉක්මවා නැගී සිටින අපිරිමිත බුද්ධ භක්තිය වෙස්සන්තර ජාතකයට මුසු කරන විද්‍යාචක්‍රවර්ති බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණ වැනුමන් ඉදිරිපත් කරන අයුරින් යොදන මෙම වර්ණනය පාඨක චිත්ත සන්තාපයේ ශාන්තිය සැනසීම පුබුදුවයි. “ මෙකප බුදුවන්නා වූ මුළු ලොවට වැඩක් වැ සිතන්නාවූ ඒ මහානයන් වහන්සෙ....දන් දී මෙහි මැ එක්සිත් වූ සේක. එසේ නොසිතුවහොත්, බෝමැඬට පිටදී වජ්‍රාසනයෙහි වැඩ හිඳ මර සෙනඟ ප්‍රලය කොට කෙසේ නම් බුදුවන සේක්ද?..මේ සසර අවුලෙහි බැඳුන සත්ත්වයෝ කා මුහුණු බලද්ද.මේමැ සත්ත්වයෝ නිවන් පුරට ගෙන යන්නෝ කවුරුද?....”

බුත්සරණ භක්ති කාව්‍යයක් වන හෙයින් විස්තර වර්ණනා එයට පිවිස තිබීම ස්වභාවිකය. එසේ වුවද බුදුරජාණන් වහන්සේ කෙරේ බුත්සරණ කතුවරයා දක්වන අත්‍යන්ත භක්තිය ඔහුටම ආවේණික ලකුණක් වන තරමට ස්වාධීනය. ගැඹුරුය.

අමාවතුරත්, ධර්මප්‍රදීපිකාවත් නිශ්ශබ්දව කියවා රසය උකහා ගැනීමට රචනා වී ඇතැයි සිතෙතත් බුත්සරණ පද ලාලිත්‍ය දෙස බලන විට සැබැවින්ම මේ කෘතිය නිර්මාණය වී ඇත්තේ ශ්‍රවණය කර රස විඳීමටය. කතුවරයා පද ලාලිත්‍ය පෝෂණය කර ඇත්තේ අමුතු ආයාසයක් විඳ දරා නොවේ. එය නිරායාසයෙන් නැඟි එන කවීත්වය හා බැඳී පවතින්නකි. සද්ධර්මරත්නාවලිය රචනා කළ ධර්මසේන හිමියන් යෙදූ උපමා වලට සම කිරීමට තරම් පොහොසත් උපමා යොදා ගැන්මට විද්‍යාචක්‍රවර්තීන්ද සමත්වී ඇත. දෙසිය පනස් අටක් උපාය යොදමින් විද්‍යාචක්‍රවර්තීන් මේ මා හැඟි නිමවුම අලංකාර කර ඇති අන්දම සැබැවින්ම සොඳුරුය.

“ මඳ නොකොට බොහො නොකොට පමණ දැන සුනු කෑකල්හි යහපත් වැ යෙදෙන බුලතක් සේ “

“ බුරුල්ලෙහි මිටු පහර ලද සේ මැ කිරි එරවූ දෙනෙක සේ“

“ උස් වූ කෙත්වතට පෑ පැනින් යට කෙත්වත් රැකෙන්නා සේ “

“ පැන්වත් කොට තුබූ බත පිළිහිණි නොවන්නා සේ”

“ මුහුදේ ඉපිද ලුණුකර නොවු මුහුදු මසක් සේ”

විද්‍යාචක්‍රවර්තීන්ගේ උපමා නැවුම්ය. එසේම ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනයේදී භාවිත කළ උපමා මෙන් ජීවන අත්දැකීම් ඔස්සේ නිෂ්පාදනය කළ අව්‍යාජ උපමාවන්ය. මේ තුළ බුත්සරණේ කවි ශක්තිය තවත් ඔප වැටෙයි.

කාව්‍ය සංකල්පනා මැවීමෙහිලා විද්‍යාචක්‍රවර්තීන් දක්වන්නේ සැලකිය යුතු පැසසිය යුතු සමත්කමකි. ඇලි ඇතු දන්දීමෙන් පසු උද්ගත වූ තත්ත්වය වර්ණනා කරනු ලබනනේ කාව්‍යාත්මක අයුරිනි. “ වෙස්සන්තර රජ්ජුරුවන් දුක්පත් මුවා දැක “ මම මේ දුක් නොබලමි “ කියන්නා සේ හිරු සැඟවිණි” බුත්සරණ සැදැහැති උපාසකයකු බුදුරජාණන් වහන්සේට පූජෝපහාර පැවැත්වීම දැල්වූ පහන් වැටක් වැන්න.

නාලාගිරි දමනය, වෙස්සන්තර ජාතකය, වැනි හදවත වැළඳ ගන්නා නිර්මාණ ශාන්ත ලෙස රැස් විහිදුවන පහන්සිළු වැනිය. විවිධ විශේෂණ පුනරුක්ති ඇතුළත් වර්ණනා, සිහින් සුලන් රැලි වලට නතු වී සැලෙමින් ලාලිත්‍යයක් මතු කරන පහන් සිළු බඳුය. මේ මුළු පසන් වැටේ සියලුම පහන් සිළු වලින් මතු වන්නේ බැතිබර සඳහන් ආලෝක කදම්භයන්ය.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.