Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොටියාගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඌව බින්තැන්න මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීමේ මහෝත්සවය

මොනරාගල, විහාරමුල්ල, මුප්පනේ රාජ මහා විහාරය, කොටියාගල වත්තේගම රාජමහා විහාරය ආදී අෂ්ට මහා විහාරාධිපති මො/ සිරිසුමන මහ පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රවේදී කොටියාගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට “ සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර” ගෞරව නාමය සහිත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ඌව බින්තැන්න, මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ මහෝත්සවය මෙම 27 වනදා මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී සහ අභිනව නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය 29 වන දා විහාරමුල්ල මුප්පනේ රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ










 


ප්‍රසාදය දිනා කටයුතු කරන මහතෙර නමකි

මුප්පනේ රාජමහා විහාරය, වත්තේගම රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක අධිපතිත්වය දරන, ගරුකටයුතු කොටියාගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ඌව බින්තැන්න මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් ආශීර්වාදාත්මක පණිවුඩයක් නිකුත් කරන්නේ බලවත් සතුටිනි.

ගරුකටයුතු කොටියාගල චන්දානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශ්වවිද්‍යාල උපාධි ලබා පාසල් සේවයෙහි විදුහල්පතිවරයකු වශයෙන් ද සුවිශාල අධ්‍යාපන සේවාවක් සිදුකොට, ඉන් ඉවත්ව පිරිවෙන් අධ්‍යාපන සේවයට පැමිණ පරිවේණාධිපති ධුරයක් දරමින් පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රවර්ධනයට ද සුවිශාල මෙහෙයක් සිදුකොට ඇත. ප්‍රදේශයේ කෙරෙන ජාතික, ආගමික, සාමාජික වැඩවලදී ද පුරෝගාමී මෙහෙවරක් සිදුකරන මුන්වහන්සේ, ප්‍රදේශවාසී පැවිදි ගිහි හැම දෙනාගේම ප්‍රසාදය දිනාගෙන කටයුතු කරන මහතෙර නමකි.

විහාරස්ථාන දියුණු පවුණු කරමින්, සාසනයට වැඩදායී ගෝලබාලාදීන් විස්සකට අධික පිරිසක් හදාවඩා ගැනීමට ක්‍රියා කොට ඇති මුන්වහන්සේගේ ශිෂ්‍යයන් අතර, අපේ විද්‍යාලංකාර පිරිවෙනේ ආදිශිෂ්‍යවරයෙක් වන කොටියාගල උපරතන ස්ථවිරනම පණ්ඩිත උපාධියත්, ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, ආචාර්ය යන උපාධිත් ලබා ඇති බව ඉතා සතුටින් සඳහන් කරමි.

මුන්වහන්සේගේ සේවාවන් අගයමින් නායක පදවියක් පිරිනැමීම පිළිබඳව ප්‍රශංසා කරන අතර, එය කරනු ලබන සේවාවන් වඩාත් හොඳින් කරගෙන යාමට මහත් ශක්තියක් වනු ඇත.

ගරු කටයුතු කොටියාගල චන්දානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණින්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයෙන්, අටමස්ථාන සොළොස්මස්ථානවල ආශීර්වාදයෙන්, දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදයෙන්, විද්‍යාලංකාර පිරිවෙනේ වැඩසිටින නිර්මල සර්වඥ ධාතූන් වහන්සේගේ මෙන් ම, මුළු ත්‍රිපිටක ධර්මය අවුරුදු 3 යි මාස 5 යි දවස් 15 ක් සංඝායනා කළ විද්‍යාලංකාර පින් බිමේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැලසේවායි විද්‍යාලංකාර පිරිවෙනේ ආශීර්වාදය මම ප්‍රකාශ කරමි.


සසුනේ අභිවෘද්ධිය පිණිස කරන ලද තවත් සුවිශේෂි වූ කාර්යයකි

ඓතිහාසික මොනරාගල මුප්පනේ රජමහා විහාරය, ඇතිමලේ වත්තේගම රජ මහා විහාරය, කව්ඩාව පුරාණ විහාරය, තක්කල බෝධිරුක්ඛාරාමය, බෝහිටිය පුෂ්පාරාමය, විලඔය බෝධිරාජාරාමය, ගලබැද්ද සිරිපාන පුරාණ විහාරය, වෙහෙරගල පුරාණ විහාරය යන අෂ්ඨ මහා විහාරයන් හි විහාරාධිපති, මොනරාගල විහාරමුල්ල ශ්‍රී සුමන මහ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත අතිගෞරවාර්හ කොටියාගල චන්දානන්ද නාහිමිපාණන් වහන්සේ වෙත “ සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර” යන ගෞරවනාමය සහිත ඌව බින්තැන්න මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ පුවත අසා මම අතිශය සතුටට පත්වීමි.

විනයධර, ධර්මධර, බහුශ්‍රැත, ශික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේ නමක්වන, අතිගෞරවාර්හ ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද කොටියාගල චන්දානන්ද නාහිමිපාණන් වහන්සේ වෙත ප්‍රධාන සංඝනායක පදවියක් පිරිනැමීම ශාසනයේ අභිවෘද්ධිය පිණිස කරන ලද තවත් සුවිශේෂී වූ කාර්යයකි.

දීර්ඝ කාලයක් මෙම සසුන් කෙත ඔපවත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා කටයුතු කරනු ලබන, ආදර්ශ සම්පන්න යතිවරයාණන් වහන්සේ නමක් බව උන්වහන්සේගේ ශාසනික කටයුතු වලින් පැහැදිලි වේ. ප්‍රදේශයේ සැමගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීමෙහි ලා කැපවී කටයුතු කරන උන්වහන්සේ, උතුම් වූ ගුරු සේවාවට පිවිසෙමින් පාසල් ගණනාවක හා පිරිවෙන් හී සේවය කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි අපමණ වූ වෙහෙසක් දරමින් කටයුතු කළ බව ප්‍රකටය.

2600 සම්බුද්ධත්ව ජයන්ති කාලසීමාව තුළ සමස්ත බෞද්ධ ජනතාව පිළිවෙතින් පෙළ ගැසෙන මේ මොහොතේ, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරන මහා සංඝරත්නය වෙනුවෙන් මෙවැනි නායක පදවි පිරිනැමීම අතිපූජනීය කටයුත්තකි.

“සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර” යන ගෞරව නාමය සහිත ඌව බින්තැන්න මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද ශාස්ත්‍රවේදී පණ්ඩිත අතිගෞරවාර්හ කොටියාගල චන්දානන්ද නාහිමිපාණන් වහන්සේ සිදු කරනු ලබන ආගමික, සාමාජීය සේවාවන් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ! යි ප්‍රාර්ථනා කරමි.


ඉටු කළ සේවාව මිල කළ නොහැක

පුරාණ රජ මහා විහාරාරාම කිහිපයක් ම ඇතුළු පුරාණ මහා විහාරාරාම අටක අධිපති පදවිය උසුලමින් රටට දැයට හා සමයට ඉටු කළ අසීමිත මෙහෙවර වඩාත් ඔප් නංවමින් පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ ආශ්‍රිත මල්වතු මහා විහාරයේ අතිගරු මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අනුනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මල්වතු මහා සංඝ සභාව විසින් සුදුස්සාට හිමි ස්ථානය නිර්මාණය කරමින් ගෞරව කීර්ති නම්බු නාම සහිත තෙපළාතකම සංඝ නායක පදවියට කොටියාගල චන්දානන්ද හිමිපාණන් වහන්සේ පත් කරනු ලැබීම මහත් ආඩම්බරයකි.

1957 වර්ෂයේ දී කොටියාගල ගම්මානයේ උපත ලබා කොටියාගල කණිෂ්ඨ විද්‍යාලයෙන් මූළික අධ්‍යාපනය ලබමින් සිටිය දී වයස 13 දී පැවිදි බිමට පිවිසි උන් වහන්සේ මුප්පනේ රජමහා විහාරස්ථ සිරි සුමන පිරිවෙනෙන් හා පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙනෙන් ද්විතියික අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත් අතර කලක් ආචාර්යවරයෙක් ලෙස දඹගල්ල තැරෑල ශ්‍රී විජයවර්ධන පිරිවෙනේ සේවය කළ සේක. පසුව රජයේ ගුරු පත්වීමක් ලැබ වෙහෙරගල හා කොටියාගල කණිෂ්ඨ විද්‍යාලවලත් මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලයෙත් ආචාර්යවරයෙක් වශයෙන් දිගු කලක් සේවය කළ උන් වහන්සේ එමගින් අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා ඉටු කළ සේවාව මිළ කළ නොහැක.

ශ්‍රී සම්බුද්ධ දේශිතයත්, ශ්‍රී සම්බුද්ධ භාවිතයත් උපරිම ලෙසින් අනුගමනය කළ උන්වහන්සේ සිය ගුරු දේවයන්ට උවටැන් කිරීම සඳහා දිවි හිමියෙන් ම කටයුතු කළ සේක. එම උත්තරීතර කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා උන්වහන්සේ රජයේ ගුරු සේවයට ආයුබෝවන් කී අතර අනාගත පරපුර වෙනුවෙන් පැවැති වගකීම ඉටුකර ලීම සඳහා මුප්පනේ ශ්‍රී සුමන පිරිවෙනේ පරිවේනාධිපති ධූරයේ වැඩ භාර ගත් සේක.

සිය ගුරු දේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු පැරණි විහාරාරාම අටක විහාරාධිපති හා භාරකාරත්වය තමාටම භාර ගැනීමට සිදු වුවත් කොටියාගල හිමිපාණන් ඉන් නොසැළුණ අතර විහාරාරාම හතකම භාරකාරත්වය සිය අධීක්‍ෂණය යටතේ සහෝදර භික්ෂූන් වහන්සේලා ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට බාර කළ සේක.

සුවිශේෂ වූ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවක් අනාගතයට දායාද කළ උන් වහන්සේ මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විවිධ තනතුරු හොබවමින් සහ මොනරාගල දිස්ත්‍රික් පරිවේනාධිපතිවරුන්ගේ සංගමයේ විවිධ තනතුරු දරමින් ශාසනයට ඉටු කළ මෙහෙය අපමණ ය. අළුතින් පිරිවෙන් ආරම්භ කිරීමට පවා උපස්ථම්භක වූ උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ ලා කළ සේවය ද ඉහළින් ම අගය කළ යුතුය. දැනටමත් විහාර මුල්ල ශ්‍රී සුමන පිරිවෙනේ අධිපති ධූරය දරමින් ගිහි පැවිදි ශිෂ්‍ය පරම්පරාවේ ම හෙට දවස වෙනුවෙන් කැපවන උන්වහන්සේ ආදර්ශවත්ය.

නැණ වෘද්ධ ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ සුපේෂල ශික්‍ෂාකාමී මහා සංඝ රත්නය වැඩි වැඩියෙන් අත්‍යාවශ්‍ය මෙවන් යුගයක අෂ්ට මහා විහාරාම ඇසුරින් පූජ්‍ය පාද කොටියාගල චන්ද්‍රනන්ද හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අනාගත අභිවෘද්ධිය උදෙසා රටට ජාතියට හා සම්බුද්ධ ශාසනයට දායාද කළ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව තුළින් ඉටුවන ශාසනික හා සමාජ මෙහෙවර ඉතාමත් ම වැදගත් ය.

උන් වහන්සේ වෙත පිරිනමන ලද සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර නම් වූ කීර්ති නාමයේ ගෞරවය ආරක්‍ෂා කර ගනිමින් අභිනවයෙන් හිමි වූ සංඝනායක පදවියට ආභරණයක් වෙමින් ශාසනික මෙහෙවර ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබ නොමදව දීර්ඝ කාලයක් නිදුක් නිරෝගීව සසුන් අඹරේ දිදුලන තාරකාවක් ලෙස යෙහෙන් වැජඹීමට උන් වහන්සේ ට අවස්ථාව ලැබේවා ! යි මම ප්‍රාර්ථනා කරමි.


ඉටු කරන උදාර ශාසනික හා අධ්‍යාපන මෙහෙය අතිමහත් ය

ඓතිහාසික මොනරාගල මුප්පනේ රාජමහා විහාරය, කොටියාගල වත්තේගම රාජමහා විහාරය ආදී අෂ්ට මහා විහාරාධිපති හා භාරකාර විහාරමුල්ල ශ්‍රී සුමන මහා පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත සාම විනිසුරු කොටියාගල චන්දානන්ද ස්වාමීන් වහන්සේ වෙත ශ්‍යමෝපාලිවංශික මහා නිකායික මල්වතු පාර්ශවයේ අති ගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංසද් වර්ගික කාරක සංඝ සභාව මගින් “සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර” යන ගෞරව නාම සම්මුතිය සමඟ ඌව බින්තැන්න, මඩකලපුව යන තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇති බව අසා මම බලවත් සේ සතුටට පත් වීමි.

උන්වහන්සේ මොනරාගල විහාරමුල්ල ශ්‍රී සුමන පිරිවෙනෙන් හා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව කොටියාගල හා වෙහෙරගල කණිෂ්ඨ විද්‍යාලවලත්, මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලයේත් ගුරුවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ උන්වහන්සේ 1992 වර්ෂයේ සිට මොනරාගල විහාරමුල්ල ශ්‍රී සුමන මහ පිරිවෙනෙහි පරිවෙණාධිපති ධූරය හොබවමින් දිස්ත්‍රික්කයේ පිරිවෙන් අධ්‍යාපනය නංවාලීම සඳහා ඉමහත් සේවයක් ඉටු කරමින් උගත් බුද්ධිමත් ගිහි පැවිදි ශිෂ්‍යයින් රැසක් දැයට දායක කරමින් උන්වහන්සේ ඉටු කරන උදාර ශාසනික හා අධ්‍යාපන මෙහෙය අති මහත් ය.

උන්වහන්සේ ලැබූ නව පදවිය තම කාර්යයන් තවදුරටත් ශක්තිමත්ව කරගෙනයාමට තවත් රුකුලක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ගෞරවාර්හ කොටියාගල චන්දානන්ද ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගීතාවයත්, චිර ජීවනයත් මෙත්සිත පෙරටුව ප්‍රාර්ථනා කරමි.


මෙහෙවර අපමණය

සුපටිපන්න උජුපටිපන්නාදී සංඝ ශෝභන ගුණයන්ගෙන් ශෝභිත වූ මොනරාගල විහාරමුල්ල මුප්පනේ් රාජමහා විහාරය ඇතුළු ඓතිහාසික විහාරස්ථාන අටක ආධිපත්‍යය හා භාරකාරත්වය දරණ මොනරාගල සිරිසුමන මහා පිරිවෙනේ් පරිවේණාධිපති කොටියාගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිත, කය, වචනය හික්මවූ සත්‍ය ධර්මය ද සංවරය ද ඉන්ද්‍රිය දමනය ද මැනවින් පුහුණු කළා වූ ධර්මධර, විනයධර, සුපේශල ශික්ෂාකාමී ආදර්ශමත් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. ශිෂ්‍ය හා දායක කාරකාදීන්ගේ ලෙන්ගතුකම දිනාගත් උන්වහන්සේගේ ලෝක සාසනික සේවාව අගය කළ මහාවිභාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්භ මහානායක මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ ප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව විසින් ‘සද්ධර්ම කිර්ති ශ්‍රී‍්‍ර සරණංකර’ යන ගෞරව නාම සම්මුති සහිතව ‘ඌව බින්තැන්න, මඩකලපුව යන තෙපළාතේ ප්‍රධාන සංඝනායක’ පදවියෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් එවීමට ලැබීම මාගේ බලවත් පී‍්‍රති ප්‍රමෝදයට හේතුවන්නකි. කොටියාගල චන්දානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා දායක කාරකාදීන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සාමාජික, ශාස්ත්‍රීය මෙහෙවර අපමණය. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විහාරස්ථාන අටක ආධිපත්‍යය හා භාරකාරත්වය දරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තිස් නමකට වැඩි පිරිසක් පැවිදි උපසම්පදාවට පත්කොට මහත් සාසනික සේවාවක් ඉටුකොට ඇත. දුෂ්කර ප්‍රදේශයක් වූ මොනරාගල ප්‍රදේශයට මහඟු සමාජ මෙහෙවරක් ඉටුකරනු ලබන අප නාහිමිපාණන් වහන්සේ උතුම් සාසනික පදවියකින් පිදුම් ලැබීම, උන්වහන්සේගේ් ශාසනික සමාජ මෙහෙවර තව තවත් ඉටු කිරීමට ලැබුනා වූ බලවත් ශක්තියක් වෙතැයි විශ්වාස කරමි.


ශාස්ත්‍රීය සේවාවෙහි නිරත වෙති

කොටියාගල චන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උදාර සේවාවන් රාශියක් සිදු කරන ස්වාමීන් වහන්සේ නමකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත් කොටියාගල චන්දානන්ද ස්වාමීන් වහන්සේ රජයේ විද්‍යාල ගණනාවකම විදුහල්පති තනතුර දක්වා සේවය කළ අතර අනතුරුව ස්වකීය විහාරස්ථානයේ ආරම්භ කළ සිරිසුමන පිරිවෙණෙහි පරිවේණාධිපති ධූරය දරමින් ශාස්ත්‍රීය සේවාවෙහි නිරත වෙති. කොටියාගල චන්දානන්ද ස්වාමීන් වහන්සේ රාජ මහා විහාරස්ථාන ඇතුළු විහාරස්ථාන අටක අධිපතිත්වය හා භාරකාරත්වය දරමින් එම විහාරස්ථානයන්හි සංවර්ධනය හා බෞද්ධ ජනතාවගේ ආගමික කටයුතු ඉෂ්ට සිද්ධ කරමින් සිදුකරන සේවාව ප්‍රශංසනීයය . විශේෂයෙන් මුප්පනේ රාජ මහා විහාරස්ථ සිරිසුමන පිරිවෙන ආරම්භ කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා ධර්ම අධ්‍යාපනය ලබා දෙමින් කරන්නාවූ සේවය අගය කළ යුතුය. විශ්වවිද්‍යාල උපාධිධාරින් ඇතුලු විසිනමකට අධික දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් බිහි කිරීමද අප නාහිමිපාණන් වහන්සේගේ සුවිශේෂී සේවාවන් අතරට එක්වෙයි. ඉතා අඩු පහසුකම් වලින් යුත් ප්‍රදේශයක වැඩ සිටිමින් කරන්නා වූ උදාර මෙහෙවර නිසාම උන්වහන්සේ ප්‍රධාන සංඝ නායක පදවියකින් පිදුම් ලැබීම සැමගේ සතුටට කරුණකි.


ඉමහත් සතුටක්

ඓතිහාසික මුප්පනේ රාජමහා විහාරය, වත්තේගම රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති විහාරමුල්ල ශ්‍රී සුමන පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රවේදී කොටියාගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර ගෞරව නාමය සහිතව ඌව බින්තැන්න මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇති බව දැන ගැනීමෙන් මම ඉමහත් සතුටට පත්වීමි. 40 වසරක පැවිදි දිවි පෙවෙත තුළ ප්‍රදේශයේ ආගමික හා අධ්‍යාපනික සේවාවන් නංවාලීම සඳහා උන්වහන්සේ සිදුකරන සේවය අතිමහත්ය. මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් කීපයක ගුරුවරයෙකු ලෙස සේවය කළ උන්වහන්සේ 1992 වර්ෂයේ සිට මේ දක්වා මොනරාගල විහාරමුල්ල ශ්‍රී සුමන පිරිවෙනේ පරිවෙණාධිපති ධුරය හොබවමින් එම පිරිවෙන ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීමට සමත් වී තිබේ. ප්‍රදේශයේ ජනතාවගේ ආගමික, සමාජීය හා ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා මුළු ජීවිතයම කැප කරමින් කටයුතු කරන අභිනව නායක ස්වාමීන් වහන්සේට එම සේවාවන් සාර්ථකව ඉටුකිරීම සඳහා ශක්තිය, ධෛර්ය සමගින් නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


කොටියාගල චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ

සද්ධර්ම කීර්ති ශ්‍රී‍්‍ර සරණංකර යන ගෞරව නාම සම්මුතිය සමග ඌව බින්තැන්න මඩකලපුව යන තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන කොටියාගල චන්දානන්ද හිමිපාණන් වහන්සේට ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම 2011 සැප්තැම්බර් මස 27 වෙනි දින ප.ව. 2.30 ට මහනුවර මල්වතු මහා විහාරයේදී සිදු කෙරේ.

උපන් බිමේ නිදහස වෙනුවෙන් ඌව වෙල්ලස්සේ ආදි මුතුන් මිත්තන් 1818 වර්ෂයේ දී දියත් කළ විමුක්ති සටනට ධෛර්යය හා ශක්තිය ලබාදුන්නේ වෙල්ලස්සේ වෙහෙර විහාරස්ථානවල වැඩවිසූ මහා සංඝරත්නයයි. දේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කිරීම අපරාධයක් ලෙස සැලකූ සුදු අධිරාජ්‍යවාදීහු වෙල්ලස්සේ වැව් අමුණු සරුසාර කෙත්වතු වෙහෙර විහාරස්ථාන විනාශ කළහ. අසරණ වූ ජනතාව ධෛර්යයමත් කොට වෙල්ලස්ස යළි ගොඩනගන්නට එදා පෙරමුණ ගත්තේ වෙල්ලස්සේ සඟ පරපුරයි. එම සඟ පරපුරෙන් පැවැත එන උගත් බුද්ධිමත් පඬිරුවනකි. අභිනව ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන කොටියාගල චන්දානන්ද ස්වාමීන් වහන්සේ.

උන් වහන්සේ මොනරාගල මුප්පනේ රාජමහා විහාරය, වත්තේගම රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක අධිපතිත්වය හා භාරකාරත්වය දරති.

මොනරාගල විහාරමුල්ල ශ්‍රී සුමන පිරිවෙනේ පරිවේණාධිපති ධූරය හොබවති. මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවියකින් පිදුම් ලැබූ උන් වහන්සේ ගෞරව සම්මාන රැසකට හිමිකම් කියති.

මොනරාගල කොටියාගල ගම්මානයේ වෙසෙන දිසානායක මුදියන්සේලාගේ මුදලිහාමි හා රත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකා යන දම්පතීන්ට දාව උපන් දරුවන් දහ දෙනෙකුගෙන් යුත් පවුලේ හතරවෙනියා ලෙස 1957 සැප්තැම්බර් මස 25 වෙනි දින උපත ලද ඩී.එම්. චන්ද්‍රරත්න යන කුමරු කොටියාගල කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටිය දී කොටියාගල වත්තේගම රාජමහා විහාරය, මොනරාගල මුප්පනේ රාජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති තලවත්තේ ශ්‍රී සරණංකර නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1970 ජූලි 10 වෙනි දින කොටියාගල චන්දානන්ද නමින් සම්බුද්ධ ශාසනයට ඇතුළත් විය.

මොනරාගල, විහාරමුල්ල , මුප්පනේ රාජමහා විහාරස්ථ ශ්‍රී සුමන පිරිවෙනෙන් මුලික අධ්‍යාපනය ලැබූ කොටියාගල චන්දානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා පැපිලියාන සුනේත්‍රා දේවි මහ පිරිවෙනට ඇතුළත්ව ඉතා උසස් ලෙස විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබීය.

පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටිය දී මල්වතු විහාරයීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබාගත් උන්වහන්සේ දඹගල්ල, තැරෑල ශ්‍රී විජයවර්ධන පිරිවෙනට වැඩම කැර සිය ගුරු ජීවිතය ආරම්භ කළහ. අනතුරුව රජයේ ගුරු පත්වීමක් ලැබූ චන්දානන්ද ස්වාමීන් වහන්සේ වෙහෙරගල හා කොටියාගල කණිෂ්ඨ විද්‍යාලවලත්, මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලයෙත් ගුරුවරයෙක් ලෙසත් දීර්ඝ කාලයක් සේවය කළහ.

වයෝවෘද්ධ රෝගී තත්ත්වයෙන් පසු වූ තම ගුරු දේවයාණන් වහන්සේට ඇප උපස්ථාන කිරීම සඳහා විහාරමුල්ල ශ්‍රී සුමන පිරිවෙනේ ඉගැන්වීම සඳහා මාරුවීමක් ලබා ගෙන පැමිණි උන්වහන්සේ 1992 දී ශ්‍රී සුමන පිරිවෙනේ පරිවේණාධිපති ධූරයට පත් වූහ.

තම ගුරු දේවයාණන් වහන්සේගේ අපවත්වීමත් සමග කොටියාගල වත්තේගම රාජමහා විහාරය, මොනරාගල විහාරමුල්ල, මුප්පනේ රජමහා විහාරය, කව්ඩාව පුරාණ විහාරය, නක්කල බෝධි රුක්ඛාරාමය, බෝහිටිය පුෂ්පාරාමය, විලඔය බෝධිරාජාරාමය, ගලබැද්ද සිරිපාන පුරාණ විහාරය, වෙහෙරගල පුරාණ විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති හා භාරකාර ධූරයන්ට උන්වහන්සේ පත් වූහ.

වත්තේගම රාජමහා විහාරය නගා සිටුවීමට දැඩි පරිශ්‍රමයක් දැරූ උන්වහන්සේ දායක දායිකාවන්ගේ උදව් උපකාර ඇතිව එම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළහ. තම අධිපතිත්වය යටතේ පැවති අනෙකුත් විහාරස්ථානවල භාරකත්වය තම සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පැවරූ උන්වහන්සේ ඒවා නගා සිටුවීමට අවශ්‍ය උපදෙස් හා අනුශාසනා දෙමින් විහාරමුල්ල මුප්පනේ රජමහා විහාරස්ථානයේ වැඩ වසමින් එම විහාරස්ථානයත් ඊට අනුබද්ධව පවත්වාගෙන යන ශ්‍රී සුමන පිරිවෙනත් නගා සිටුවීමට කටයුතු ආරම්භ කළහ.

මොනරාගල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ විවිධ තනතුරු හොබවමින් ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීමටත්, විහාරස්ථාන අතර අන්න්‍යොන්‍ය සුහදතාවයක් ඇති කොට සියලුම විහාරස්ථාන නගා සිටුවීමටත් පියවර ගත් උන්වහන්සේ මොනරාගල ශ්‍රී සුමන පිරිවෙන මොනරාගල දිස්ත්‍රික්කයේ උසස් මට්ටමේ පිරිවෙනක් බවට පත් කිරීමට සමත් විය. මොනරාගල දිස්ත්‍රික්කයේ පිරිවෙන් පරිවේණාධිපති සංගමයේ භාණ්ඩාගාරික ලෙස අනූපමේය සේවයක් ඉටු කරන චන්දානන්ද නායක හාමුදුරුවෝ දිස්ත්‍රික්කය තුළ නව පිරිවෙන් ආරම්භ කිරීමට පුරෝගාමී වූහ.

උගත් බුද්ධිමත් ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් දැයට දායාද කළ අපනායක ස්වාමින් වහන්සේ විහාරමුල්ල ශ්‍රී සුමන පිරිවෙන් අධිපති ධූරය දරමින් අදටත් එම කාර්යයේ නියැළී සිටිති.

ශීලයෙන් හා ගුණයෙන් හෙබි ලක් සසුන් කෙත සාරවත් කරමින් උදාර ශාසනික සහ සමාජ මෙහෙවරක නිරතව සිටින උන්වහන්සේගේ සේවය අගය කරමින් මහනුවර මල්වතු මහා විහාරයීය අතිගරු මහානායක සානුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සංඝ සභාව මගින් ඌව බින්තැන්න මඩකලපුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරි නමා ඇත.

සම්බුද්ධ ශාසනයත්, ප්‍රදේශයටත් වඩ වඩාත් සේවය කිරීමට ශක්තිය ධෛර්ය හා නිදුක් නිරෝගි සුවය සමගින් අප නායක ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි පතමි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.