Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුදු සසුනේ චිරස්ථිතියට ඉවහල් වන වැඩසටහන් ඉදිරිපත් කර තිබීම ඉතා වැදගත්

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම උදෙසා ඉදිරිපත් කරන ලද විසි වැදෑරුම් වැඩපිළිවෙළ යටතේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා බෙහෙවින් ඉවහල් වන වැඩසටහන් දෙකක් ඉදිරිපත් කර තිබීම ඉතා වැදගත්. බුද්ධ ශාසන පනත් කෙටුම්පත හා නිකාය කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්මත කරවා ගැනීම කඩිනම් කරවා ගැනීමත් බෞද්ධයන් වෙනත් ලබ්ධිවලට හරවා ගැනීමේ ක්‍රියාදාමය වළකාලීම සඳහා නෛතික ආවරණ තහවුරු කිරීමත් මේ වැඩපිළිවෙළ අතර වැදගත් වේ.

විශේෂයෙන්ම 2002 වසරේ බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නංවා ගැනීම මෙහි අරමුණයි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විද්වත් කමිටුවක් හා එක්ව බුද්ධ ශාසන පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර එය නීතිඥ උපදෙස් ලබාගෙන සකස් කර තිබීමද මෙහිදී විශේෂයෙන් පැවසිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමේ රජයේ වගකීම යටතේ මෙම අදිටන මුදුන්පත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ යටතේ සියලුම භික්ෂූන් වහන්සේ නිවැරැදි ලෙසින් ලියාපදිංචි කිරීමට මෙහිදී පියවර ගනු ලැබේ. එසේම ගිහි බෞද්ධ අධ්‍යාපනය ක්‍රමවත් කිරීමත් පාසල් බෞද්ධ විෂයමාලා ක්‍රමානුකූලව සකස් කර බෞද්ධ ආගමික පරිසරයක් නිර්මාණය කිරීමටත් පියවර ගැනීමට අපේක්ෂිතය. එසේම බෞද්ධ අධ්‍යාපන සභාවක් පත් කිරීමක් වැනි කාර්යයක් සම්බුද්ධත්ව ජයන්ති කමිටුව විසින් යෝජනා කර ඇත.

මීට අමතරව විහාර දේපල සම්බන්ධව කටයුතු කරන ආකාරයත්, බෞද්ධ ප්‍රජා සංවර්ධනයත්, දසසිල් මාතාවන්ගේ් අධ්‍යාපනික කටයුතුවැඩි දියුණු කර ඔවුන්ගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීමත් අපේක්ෂා කෙරේ. මේ සඳහා අදාළ වැඩසටහන් අඩංගු කළ බුද්ධ ශාසන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව මෙම පනතින් බලාපොරොත්තු වන තවත් වැදගත්ම කරුණක් වන්නේ භික්ෂූ වෙස්ගත් ඇතැම් පිරිස් විසින් කරනු ලබන විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී සංඝ සමාජයටම ගැටලු මතුවන කරුණු කෙරෙහි අවධානය යොමුකර තිබීමයි.

විශේෂයෙන්ම සමාජයේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇති භික්ෂූන් වහන්සේ සුළු පිරිසක් විසින් කරනු ලබන විවිධ නොමනා ක්‍රියාකාරකම් සංඝ සමාජයට හානිකර වී ඇති බව කිය යුතුයි. විශේෂයෙන්ම වශී ගුරුකම් වැනි කටයුතු සඳහා භික්ෂූන් වහන්සේ යොමුවීම ශාසනික පරිහානියක් බවට සිවිල් සමාජයේ මතයක් නිර්මාණය වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය ශාසනික ප්‍රතිපදාවන්ටද පටහැනිය.

මේ නිසා බෞද්ධ විහාර ගම්දේපළ පනත් සංශෝධනය කර ඉදිරිපත් කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ සම්මත කර බලාත්මක කිරීම අපේක්ෂාවයි. භික්ෂූන් වහන්සේ ලෙස පෙනී සිටිමින් ඇතැම් පිරිස් සංඝ සමාජයටම ඉන් ඇවැඩක් ඇති කරන හෙයින් බෞද්ධ විහාරගම් දේවාල පනතට කතිකාවන් මඟින් හෝ සංශෝධන ඉදිරිපත් කර ඒ සඳහා නීතිමය ආවරණ ලැබෙන සේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම මෙයින් අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම නිකාය මූලස්ථාන හෝ පාර්ශ්ව මඟින් ගනු ලබන විනය තීරණ ක්‍රියාත්මක කිරීමට ඇති බාධා ඉවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. අද මෙරට නීතියට අනුව වැරැදි කරන භික්ෂුවකට එරෙහිව ධර්ම විනායානුකූල ක්‍රියා මාර්ගයක් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ.

උදාහරණයක් ලෙසින් යම්කිසි භික්ෂුවක් විනය විරෝධී කටයුත්තක නියැලී සිටියදී එම භික්ෂුවගේ භික්ෂූත්වය තහනම් කළත් සිවුරේ රැඳී සිටීමට ඔහුට බාධාවක් නැහැ. සිවුරු හැරවීමේ බලයක් මහනාහිමිවරුන්ටවත් නැහැ. මේ නිසා කතිකාවක් බලාත්මක කිරීම මඟින් ඒ සඳහා නෛකිත බලයක් ලබාදීමට බලාපොරොතු වෙනවා.

මේ යටතේ් ශ්‍රී ලංකාවේ ථෙරවාදී භික්ෂූ නිකායන් වෙනුවෙන් කතිකාවන් ලියාපදංචි කිරීම සඳහා ඊට සම්බන්ධ විධිවිධාන පනත බලාත්මක කිරීමෙන් මෙරට පැහැදිලි සංඝ සංශෝධනයක් ඇති කළ හැකිය.

තුන් නිකායන්ටම හැකියාව ලැබෙනවා තම භික්ෂූන් වහන්සේ විනයානුකූලව පාලනය කිරීම සඳහා නීතිමය අධිකරණ බලතල ලැබෙන අයුරින් කතිකාවන් සකස් කිරීමට. එම කතිකාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් බලාත්මක කර ගන්න අවස්ථාව ලැබෙනවා.

මේ සඳහා අදාළ නීතිරීති සකස් කෙරෙන්නේ සංඝ සභාවක් මගින්. එමගින් ගනු ලබන තීරණය අධිකරණයේ අභියෝගයකට ලක්කළ නොහැකියි.

උදාහරණයක් ලෙසින් යම් භික්ෂූවකගේ භික්ෂුත්වය තහනම් කළහොත් අදාල නිකාය පාර්ශ්වය මඟින් ඒ සම්බන්ධව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම් දෙනු ලබනවා. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ඒ සම්බන්ධව පෙත්සමක් මඟින් අධිකරණයට දැනුම් දෙනවා. අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් විනයානුකූලව තීරණයක් මත භික්ෂූත්වයෙන් ඉවත් කළ හිමිනමක් සිටින බවත් එය ක්‍රියාවට නැංවීමට කළයුතු බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අධිකරණයට දන්වනු ලබනවා.

එවිට එම තැනැත්තා භික්ෂූත්වයෙන් ඉවත්ව සිවුරු ඉවත්කර අධිකරණයේ පෙනී සිටිය යුතුය.

1931 විහාරගම් දේවාල පනතටයි සංශෝධන ලෙසින් මේ කරුණු අඩංගු කර ඇත්තේ. මෙම සංශෝධන අඩංගු පනත් පසුගිය අගෝස්තු 15 වැනිදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් විසින් ජනාධිපතිතුමාට බාර දුන්නා. මෙම කරුණට අමතරව සංඝ සමාජයේ අපට දක්නට ලැබෙන තවත් අප්‍රසන්න දසුනක් වන්නේ විවිධ දේපළ ගැටලු උදෙසා භික්ෂූන් වහන්සේ අධිකරණයට යාමය. විහාර දේපළ ආරක්ෂා කර ගැනීමට නැතිනම් හිමිකාරිත්වය පිළිබඳව ගැටලු සඳහා මෙසේ භික්ෂූන් වහන්සේ අධිකරණයට යාමෙන් භික්ෂුත්වය හෑල්ලුවට ලක් වෙනවා. එම නිසා ඉදිරියේදී අධිකරණ කටයුතු කිරීමේ බලය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පැවරෙන ආකාරයට නීති සංශෝධනය කෙරෙනවා. එවිට විහාර දේපළ සම්බන්ධව අධිකරණ හා අනෙකුත් නීති ගැටලු සම්බන්ධව කටයුතු කරනු ලබන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යි.

කතිකාවන් ඉදිරිපත් කර බලාත්මක කිරීම තුළින් යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවල යෙදීම තහනමට ලක් කිරීමක් කෙරෙන්නේ නැහැ. එවැනි ශාසනික බාහිර කටයුතු කරන්නේ නම් දේශපාලන අපේක්ෂකයකු ලෙස කටයුතු කරන්නේ නම් එම භික්ෂුව අදාළ නිකාය පාර්ශ්වයෙන් ඒ සඳහා විශේෂ අවසර ලබා ගැනීම මෙයින් අදහස් කෙරෙනවා. මීට අමතරව බෞද්ධයන් අන්‍ය ආගමිකයන් බවට හැරවීම සම්බන්ධව කටයුතු කිරීමත් අපේක්ෂා කරනු ලබනවා. මෙම ගැටලුව කලක සිටම උග්‍ර ලෙසින් පවතින්නක්. මෙය බෞද්ධයන්ට පමණක් නොවේ සෙසු ආගම්වලටත් විශාල තර්ජනයක් වෙලා. මේ සම්බන්ධව පනත් ‍ෙකටුම්පත් තුනක් වරින්වර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පළමුවැන්න ඩග්ලස් දේවානන්ද මැතිතුමන් විසින් ඉදිරිපත් කළා. යාපනයේ හින්දු භක්තිකයන් 7000 ක් වෙනත් ආගම්වලට හැරවීමට කටයුතු යෙදීමෙන් පසු ඔහු ඒ සම්බන්ධව සලකා බලා මේ පනත ඉදිරිපත් කළා. දෙවෙනිවර හිටපු අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් ඉදිරිපත් කළා. තුන්වැන්න ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කළා. නමුත් මේ සම්බන්ධව තවමත් නිසි ආකාරයක අවධානයක් යොමු වී නැහැ. බලහත්කාරයෙන් ආගම්වලින් තවත් ආගමකට හරවන අයටය මේ ගැටලුව මතුව තිබෙන්නේ. තමන්ගේ අවබෝධයෙන් ආගම මාරුකර වෙනත් ආගමකට යොමුවීමත් යම්යම් සන්තෝෂම් පෙන්වා ආගම් මාරුකරවීමත් යනු කරුණු දෙකක්. කෙසේ හෝ ප්‍රශ්නය තවම එතනමයි. මේ අගම් වලට බලෙන් හැරවීම යටත් විජිත යුගයේ සිටම ක්‍රියාත්මක වූවක්.

මේ වනවිට ලෝකයේ පුරාම ආගමික ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වනවා. මූලධර්මවාදීන්, රාජ්‍ය නොවන සංවිධානවල ස්වරූපයෙන් ඇතැම්විට මෙම ව්‍යුහයන් ක්‍රියාත්මක වෙනවා.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් විවිධ මුහුණුවරින් ආගමික ත්‍රස්තවාදයන් ක්‍රියාත්මක වෙනවා. අපේ රට සාමකාමී රටක් බෞද්ධයන් බහුතරයක් සිටියත් අනෙක් ආගම් අදහන්නන් සමඟ බොහොම සාමකාමීව ඉන්නවා. ආගම් හා ජාතීන් අතර ගැටුම් නිර්මාණය කිරීමටයි ඇතැම් විදෙස් බලවේගයන් හි අරමුණ වී තිබෙන්නේ. මේ සඳහා අවශ්‍ය පරිදි ආධාර සැපයීමටද පිරිස් සිටිනවා. එසේ හෙයින් බලහත්කාරයෙන් ආගම්වලට හැරවීම තහනම් කිරීමේ පනතක් බලාත්මක කළ යුතු වෙනවා.

එමෙන්ම මෙරට සාමකාමී යහගුණ පිරි සමාජයක් බිහිකිරීමට නම් මධ්‍යසාර හා දුම්වැටි පනතත් සංශෝධන විය යුතුය. තුන් නිකායටම අයත් පොදු පනතක් ලෙසින් විහාර හා දේවල පනත සංශෝධනය වන්නාසේම එක් එක් නිකායයන් සඳහා වෙන්වෙන් වශයෙන් කතිකාවන් ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුවහොත් එක පාර්ශ්වයක් ප්‍රතික්ෂේප කරනු ලබන කරුණ තවත් පාර්ශ්වයක් අනුමත කිරීමෙන් ගැටලු මතුවිය හැකිය. උදාහරණයක් ලෙසින් එක් නිකායක් භික්ෂූන් වහන්සේ දේශපාලන අපේක්ෂකයෙක් ලෙස ඉල්ලීම නුසුදුසු ලෙස සලකද්දී තවත් නිකායක් එය අනුමත කළහොත් නිකාය අතරද ගැටුම් ඬර්මාණය වී අවසානයේ කතිකාවතක් නිසා ගැටලු මතුවිය හැකියි. මේ නිසා සැමට පොදු ලෙසින් විහාරගම් දේවාල පනත සංශෝධනය කෙරෙන අතර නිකාය කතිකාවන් වෙන් වශයෙන් සම්මත කර ගත යුතුයි. පොදු කතිකාවක් සම්මත කිරීමට සම්බන්ධව 1976 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ කටයුතු යෙදුනත් කතිකාවත මුද්‍රණය කිරීමේදී එහි යම් යම් කොටස් ඉවත් වී තිබුණා. ඒ අනුව ගැටලු සහිතව බුදු සසුනේ සංශෝධනයන් කළ නොහැකියි. මේ නිසා ගැටලු මතු නොවන ආකාරයට කතිකාවන් සම්මත කළ යුතු වෙනවා. මෙය දුර දිග බලා කළ යුතු කටයුත්තක්.

එසේම අපගේ බුදු දහමට විකෘති අදහස් ඇතිවීම වැළැක්වීම සඳහා මේ වනවිට කටයුතු කරමින් තිබීම වැදගත් වෙනවා. අනෙකුත් ආගම්වල තමන්ට අවශ්‍ය පරිදි කෘතින් ලියා පලකළ නොහැකියි. එහෙත් බුදුදහම විකෘති වන සේ ඇතැම් පිරිස් තමන් සෝවාන් ඵලයට පත්වූ බව කියමින් රහත් බවට පත්වූ බව කියමින් ජනතාව මුළා කරනවා. මේ තත්ත්වය වැළැක්වීම සඳහා ඉදිරියේදී බෞද්ධ ප්‍රකාශන නියාමන සභාවක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද මතුකර තිබෙනවා. එසේ නොවුවහොත් ඉදිරියේදී බුදුහිමියන්ගේ ධර්මයත් වෙනස් කිරීමට පවා මිථ්‍යාදෘෂ්ටික පිරිස් පෙළඹීමට පුළුවන්. ඒ සඳහා අදම පියවර ගත යුතුය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.