UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කර්මය හා අටලෝ දහම

“ මා කළ කර්මය මටම අයත්ය. මම කර්මයට උරුමකම් ඇත්තෙක් වෙමි. මම කර්මයෙන් උපන් කෙනෙක්මි. කර්මය ඥාතිකොට ඇත්තෙක් වෙමි. කර්මය පිළිසරණ කොට ඇත්තෙක් වෙමි. යම් යහපත් හෝ අයහපත් කර්මයක් කරන්නෙම් ද ඊට හිමිකරුවා වෙමි. යනුවෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියල්ලන් විසින් නිතර සිහි පත් කළ යුතුය .”

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ගෙන් “කර්ම සංකල්පයට” ලැබෙන්නේද සෙසු බෞද්ධ සංකල්පනාවන්ට දෙවැනි නොවන්නා වූ ප්‍රමුඛස්ථානයකි. චේතනා පූර්වංගමව සත්වයා කයින් වචනයෙන් හෝ මනසින් සිදුකෙරෙන ක්‍රියා කර්ම නමින් කෙටියෙන් හඳුන්වා දිය හැකිය. අකුසල ක්‍රියා සඳහා ලෝභ ,ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ මූලයන් ද කුසල ක්‍රියා සඳහා අලෝභ, අදෝස,අමෝහ යන ත්‍රිවිධ මූලයන් ද හේතුවේ. කුසල ක්‍රියා වලින් සැප විපාකත් අකුසල ක්‍රියා වලින් දුක් විපාකත් ලැබේ.

සත්වයාගේ ප්‍රතිසන්ධිය ඇතිවීම කෙරෙහි අනිවාර්යෙනුත් ප්‍රවෘත්ති විපාක කෙරෙහි වෛකල්පිත වශයෙනුත් කර්මයේ බලපෑම සිදුවන බව (කම්මනා වත්තතෙ ලොකො කම්මනා වත්තතෙ පජා) බෞද්ධ මතයයි. කෙසේ නමුත් බීජ,ඍතු, චිත්ත, ධම්ම යන වෙනත් නියාමයන්ට වඩා සුවිසල් බලපෑමක් පුද්ගල ජීවිතය කෙරෙහි කර්මයෙන් ලැබෙන බව අවධාරණය කළ යුත්තකි.

ගිහි පැවිදි උභය පක්‍ෂයටම බුදුරදුන් දෙන උපදේශයක් නම් නිරන්තරයෙන් කර්මය පිළිබඳව මෙනෙහි කළ යුතු බවයි.

“ කම්මස්සකොම්හි කම්මදායාදා කම්මායොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි කල්‍යාණංවා පාපකංවා තස්සදායාදො භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙනවා “

“ මා කළ කර්මය මටම අයත්ය. මම කර්මයට උරුමකම් ඇත්තෙක් වෙමි. මම කර්මයෙන් උපන් කෙනෙක්මි. කර්මය ඥාතිකොට ඇත්තෙක් වෙමි. කර්මය පිළිසරණ කොට ඇත්තෙක් වෙමි. යම් යහපත් හෝ අයහපත් කර්මයක් කරන්නෙම් ද ඊට හිමිකරුවා වෙමි. යනුවෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියල්ලන් විසින් නිතර සිහි පත් කළ යුතුය .”

පුද්ගල ජීවිතයට කර්මය කොතරම් ප්‍රබල අන්දමට බලපාන්නේ දැයි මෙයින් අවධාරණය කොට ඇත. කර්මය තම ජීවිතය කෙරෙහි කරනු ලබන බලපෑම මෙනෙහි කරන තැනැත්තා එක් අතකින් කළ අකුසල කර්ම හේතුවෙන් තමන් දුක් විපාක ලබන බව සිතා පසුතැවිල්ලට පත්වෙයි.

ඉධ සොචති පෙච්ච සොචති
පාපකාරී උභයත්ථ සොචති
සො සොචති සො විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනො

ශෝකයට දුකට හේතුවන පාපකර්මවලින් වැළකී සිටීමට එම මෙනෙහි කිරීම ඔහුට අනුබලයක් වෙයි. මතු එබඳු පාපකර්ම නොකිරීමට ඔහු අදිටන් කරගනී.

එසේම පින් කළ තැනැත්තා තමන් ලබන පුණ්‍ය ඵලයන් ගැන සිතමින් සතුටට පත්වෙයි.

ඉධ මෝදති පෙච්ච මෝදති
කත පුඤොඤා උභයත්ථ මෝදති
සො මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධි මත්තනො

පවින් වැළකී පින් කිරීමෙන් තමන් සැපතට පත් වූ බව මෙනෙහි කොට තවතවත් එබඳු පින්කම් කිරීමට අදිටන් කරගනී.

සත්වයා කෙරෙහි පොදුවේ බලපාන ලොකස්වභාවයන් අටක් ගැන බුදුදහමේ ඉගැන්වේ.

“ ලාභෝ අලාභෝ අයසෝ යසෝච
නින්දා පසංසාච සුඛංච දුක්ඛං”

ලාභ, යස, ප්‍රශංසා, සැප යන සුඛාස්වාද ජනක අනුභූතීන්ට පමණක් සීමා වීමට කිසිදු සත්වයෙකුට ඉඩ නොලැබේ. අලාභ, අයස, නින්දා හා දුක් යන දුඞඛානුභූතීන්ටද , ඒකාන්තවම මුහුණ දීමට සිදුවේ. තුන් ලෝකාග්‍ර බුදුරදුන්ට පවා අෂ්ටලෝක ධර්මයන්ට මුහුණදීමට සිදුවිය. සත්වයා ලෝකධර්මයන් හා ගැටීම නිසා චෛතසික විෂමතාවන්ට ගොදුරු වීමෙන් අගතියට ගොස් පාප ක්‍රියාවලට නැඹුරුවනු දකින්නට ලැබේ. ඉවසීම හා උපේක්‍ෂාව නොමැතිවීමෙන් එසේ වන බව පෙනේ. එහෙත් මේ ආනන්දනීය හා ඛේදනීය ලෝක ධර්මතාවන්ට මුහුණ පෑමට සිදුවන්නේ මක් නිසා දැයි නුවණින් සිතීමට උත්සාහ කළ යුතුය. සත්ව ලෝකයෙහි උත්පත්තිය ලැබූ පුද්ගලයෙක් මරණය දක්වාම ලබන්නේ සසරදී රැස් කළ කුසලා කුසල කර්මවල විපාකයන්ය.

යම් කිසිවකුට යමක් ලැබීමට පූර්වකෘත කුසල විපාකයක් තිබිය යුතුවාසේම නොලැබීයාමට මෙන්ම හිමිව තිබූ සම්පතක් අහිමිවීමට ද කර්ම විපාකය හේතුවිය හැකිය. කර්මානුරූපව ලැබුණු විපාකය උද්දාමයට පත්වීමට හෝ කනස්සල්ලක් ඇති කරගැනීමට කරුණක් නොවේ. විශේෂයෙන්ම යම් අලාභ, අයස නින්දා හෝ දුක් යන ප්‍රතිවිපාක ලැබුණු අවස්ථාවල එම ආදීනවයට හේතු කාරක වූ අරමුණ සමඟ ගැටීම් ඇතිකර නොගත යුතුය. එහිදී තමන් වෙත මේ ඛේදජනක දුර්විපාකය පැමිණියේ තමන්ගේම අකුසල කර්මයක විපාක හේතුවෙන් යයි කියා ඉවසීම හා උපේක්‍ෂාව පුහුණු කළ යුතුය.

නිදසුනක් ලෙස සහේතුකව හෝ අහේතුකව කිසිවෙකුගේ ගැරහීමට හෝ නින්දාවකට භාජනය වන්නට වී නම් එම නින්දා කළ තැනැත්තාට පෙරළා නින්දා කිරීමෙන් සිදුවන්නේ තව තවත් සසරදී එවැනි ප්‍රතිවිපාක ලැබෙන පවු රැස්වීමයි. තමන් එසේ නින්දාවකට භාජනය වූයේ අතීතභාවයක කළ අකුසල කර්මයක විපාක හේතුවෙන් යයි සිතා ඉවසීමෙන් යුක්තව නිහඬවීම සුදුසුය. බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවකයන් වහන්සේලා එබඳු අවස්ථාවල නිහඬ වුණු බව ප්‍රසිද්ධ කරුණකි.

කර්මය හා විපාකය පිළිබඳව ඉගැන්වෙන බොහෝ බෞද්ධ කථාවල එම විපාක පූර්වකර්ම හා සම්බන්ධ කර තිබේ. ධම්ම පදට්ඨකතාවේ එන කාල උපාසකතුමාගේ කථාව එබඳු වූවකි. රාත්‍රිභාගයේ විහාරයේ ගත කළ මහාකාල උපාසකතුමා විහාරයෙන් පිටව යන අතරේ ජේතවනාරාමය අසල තිබුණු පොකුණකින් මුහුණ සෝදා ගැනීමට යයි. මේ අතර නිවෙසක් බිඳ සොරා ගත් බඩුත් සමඟ පැනයමින් සිටින සොරු කණ්ඩායමක් ගම් වැසියන් විසින් ලුහුබඳීනු ලබති. හොරු තමන් ගෙන ආ භාණ්ඩ මහා කාල උපාසකතුමා ළඟ දමා පැන යති. ලුහුබඳිමින් පැමිණි ගම්වැසියෝ මහා කාල උපාසකතුමා කෙරෙහි සැක උපදවා ඔහුට දැඩිසේ පහරදී ඔහු මරා දමති. භික්‍ෂූන් වහන්සේලා විසින් බුදුරදුන්ට මේ බව පැවසීමෙන් පසු බුදුපියාණන් වහන්සේ අතීතයේ ඔහු කළ පාපකර්මයේ විපාක වශයෙන් එබඳු අකල් මරණයකට භාජනය වීම නොසිදුවිය යුත්තක් නොවන බව පහදා දෙති.

අතීතයේ බරණැස් රජු පිටිසර ප්‍රදේශයක මහමඟ ගමන් කරන්නවුන්ට හොරහතුරන්ගෙන් උවදුරු පැමිණෙන බැව් අසා රාජභටයෙකු සේවාවෙහි යෙදවීය. ඔහු මඟින් උවදුරු සහිත මාර්ගයෙන් ඔබ්බට ගෙනගොස් ඇරලවීමේ රාජකාර්යයෙහි නිරත වූයේය. එක් දිනක රූමත් තරුණ බිරියක් කැටුව ආ තැනැත්තෙක් තමන් වනයෙන් ඔබ්බට ඇරලවන ලෙස ඉල්ලා සිටියේය. තරුණ කාන්තාව පිළිබඳ සිතක් ඇතිකරගත් රාජ පුරුෂයා මඟියා අකමැති වද්දීම එම යුවල පසුදා ගෙනගොස් ඇරලවන බවට පොරොන්දු දී තම නිවසේ රඳවා ගත්තේය. රාජ පුරුෂයා තමා සතුව තිබුණු මැණිකක් තරුණ යුවල පැමිණි යානාවෙහි සඟවා තබා පසුදින ඔවුන් පිටත්ව ගිය පසු අතරමඟදි පරීක්‍ෂාවට භාජනය කරවීය. ඔහුගේ යානාවේ සඟවා තිබුණු මැණික සොයාගෙන ඔහු සොරකු බවට චෝදනා කොට පහර දී තම මිනිසුන් ලවා මරණයට පත් කරවීය . එම පාප කර්මය හේතුවෙන් අවීචි මහ නරකයෙහි ඉපිද බොහෝ කලක් දුක් විඳ මනුලොව උපන් පසුත් ඔහු තමා කළ පාපකර්මයෙහි විපාක වශයෙන් සොරුන් අතින් මරණයට පත්විය.

‘අප කිසිවකුට කරදර කරන්නේ නැතිව අපේ පාඩුවේ ඉන්දැද්දී අපට කරදර කරන්නේ ඇයි? “ දැයි සමහරු ප්‍රශ්න කරති. ඇතැම්විට එසේ කරදර කරන්නන් හා ද්වේෂයෙන් බැඳී ඔවුන්ට කරදරගෙන දීමට ප්‍රයත්න දරති. එසේ කිරීමෙන් පවුරැස් කරති. තමන් සතු බලය, ධනය හා ශ්‍රමය යොදවාගෙන කරදරකාරයින්ට දඬුවම් දීමට වෙර දරති. එසේ වන්නේ අටලෝ දහමෙහි කම්පාවීම නිසාය. අටලෝ දහම තමන්ම පෙර කළ කර්මවල ප්‍රතිවිපාක වශයෙන් පැමිණෙන බව නොසිතීම නිසාය.

එහෙත් කළයුත්තේ සමාජයෙන් හෝ පුද්ගලයන්ගෙන් හෝ භෞතික පරිසරයෙන් පැමිණෙන කරදර හිරිහැර හා ගැටීම නොවේ. මේ හැම දෙයක්ම පෙර කළ කර්ම වල විපාක යැයි උදාසීන සිතුවිල්ලක් ඇතිකරගෙන සිටීමද නොවේ. ආස්වාදනීය ලෝක ධර්මතාවයන්හිදී උද්දාමයට පත් නොවීම හා ඛෙදනීය ලෝක ධර්මතාවයන්ගෙන් වැළකී සිටීමට රැකවරණ සලසා ගැනීමය. එසේ රැකවරණය සලසා ගැනීමෙන් කර්ම විපාකය පාලනය කරගැනීමය.

එබැවින් අෂ්ට ලෝක ධර්ම හා කර්ම විපාක අතර ඇති සබඳතාවය වටහාගෙන තමන්ගේ ජීවිතය පවට විවෘත වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම සැබෑ බෞද්ධයාගේ ස්වරූපය බව සිතට ගත යුතුය.

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]